තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

උතුරු මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සදහා නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලාත්මකයි.

එසේම, උතුරුමැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 40ත් 50ත් පමණ තද සුළං ඇතිවිය හැකියි.

මේ අතර, හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා සහ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60-70 දක්වා තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද එම දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනවා.