දළුපොත පල්ලන්සේන බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම සිද්ධිය අතරතුර බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කර ඇති අතර, බන්ධනාගාරයේ ගොඩනැගිලි හෝ වෙනත් රාජ්‍ය දේපළවලට කිසිදු හානියක් සිදුව නොමැති බවද නිලධාරීන් සඳහන් කළා.
ඊයේ (07) මධ්‍යම රාත්‍රී 12.00 පමණ වන විට බන්ධනාගාර පරිශ්‍රයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබූ අතර, ආරක්ෂක අංශ විසින් තත්ත්වය පාලනය කළ පසු අතිරේක ආරක්ෂක කණ්ඩායම් ඉවත් කරගෙන ගොස් තිබූ බවටයි වාර්තා වෙන්නේ.
එම අවස්ථාවේදී බන්ධනාගාර පරිශ්‍රය සන්සුන් වාතාවරණයක පැවති බව සඳහන්.
අද (08) උදෑසන වන විට රැඳවියන් බැලීම සඳහා ඥාතීන් සාමාන්‍ය පරිදි බන්ධනාගාරය වෙත පැමිණ තිබූ අතර, ඔවුන්ට රැඳවියන් හමුවීම සඳහා අවශ්‍ය පහසුකම් සහ අවසර ලබා දීමට බන්ධනාගාර පරිපාලනය කටයුතු කර තිබුණා.
ඒ අනුව, බන්ධනාගාරයේ දෛනික කටයුතුද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා.
මේ අතර, ආරක්ෂක සහ පරිපාලන හේතු මත රැඳවියන් 78 දෙනෙකු දිවයිනේ වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කරනවා.
එම පිරිසෙන් රැඳවියන් 28 දෙනෙකු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමු කර තිබෙනවා.
සිද්ධියට අදාළ කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විටත් ක්‍රියාත්මක අතර, බන්ධනාගාරයේ ආරක්ෂාව සහ සාමාන්‍ය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.