ගෝල්ඩන් ග්ලෝබ් සහ එමී සම්මානලාභී ප්‍රකට හොලිවුඩ් නිළි සහ 'බිම්බෝම්බ උපදේශක කණ්ඩායමේ' තානාපතිවරියක වන රොසමන්ඩ් පයික් (Rosamund Pike) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටිනවා.
පසුගිය වසර 17 තුළ ශ්‍රී ලංකාව තුළ බිම්බෝම්බ මිලියනයක් සාර්ථකව ඉවත් කරනු ලැබ ඇති සන්ධිස්ථානය සනිටුහන් කිරීම ඇයගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
මෙම සංචාරය අතරතුර පයික් මෙනවිය උතුරු පළාතේ මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල බිම්බෝම්බ ඉවත් කරන ප්‍රදේශ වෙත ගොස්, බිම්බෝම්බ නිසා විපතට පත් දෙමළ සහ සිංහල ප්‍රජාවන් මෙන්ම අනතුරුවලින් දිවි ගලවා ගත් අය ද හමුවී තිබුණා.
එපමණක් නොව, පාසල් දරුවන් සඳහා පවත්වනු ලබන බිම්බෝම්බ අවදානම් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයකටද ඇය සහභාගී වී තිබෙනවා.
තවද, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ නිලධාරීන් හමුවී මෙරට මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රගතිය සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිතයි.
මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrick) සඳහන් කළේ, ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්වීමේ මාවතේ ලබා ඇත්තේ විශිෂ්ට ප්‍රගතියක් බවයි.
වසර 17ක් තුළ මෙරට බිම්බෝම්බ මිලියනයක් ඉවත් කර ඇති අතර, වාර්ෂික බිම්බෝම්බ අනතුරු සංඛ්‍යාව 250 සිට 2024 වන විට 3 දක්වා පහත වැටී තිබෙනවා.
මෙම බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් හේතුවෙන් අවතැන් වූවන් මිලියනයකට ආසන්න පිරිසකට යළි තම නිවාස වෙත ගොස් ආරක්ෂිතව ජීවත්වීමටයි අවස්ථාව උදා වී ඇත්තේ.