වෛද්‍යවරයෙකු නොමැති වීම හේතුවෙන් අනුරාධපුර ගම්බිරිගස්වැව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය වැසී යාමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

වාට්ටු දෙකකින් සහ වෛද්‍ය නිල නිවසක් ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත මෙම රෝහලට වෛද්‍යවරයෙකු නොමැති නිසා ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

මේ හේතුවෙන් ගම්බිරිගස්වැව, පලුගොල්ලෑව, අලුත්ගම, ඇතුළු ගම්මාන රැසක දහස් ගණනක් ජනතාව පීඩාවට පත්ව සිටින අතර දැනට එම රෝහලේ එක් සේවිකාවක් පමණක් සේවය කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

රෝහලේ සේවය කළ එකම වෛද්‍යවරියද මීට මසකට පමණ පෙර රෝහලෙන් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කිලෝමීටර් 28ක් පමණ දුර ගෙවා අනුරාධපුර ශික්ෂණ රෝහලට යාමට සිදුවන බවත් පවතින වන අලි තර්ජනය නිසා රාත්‍රී කාලයේ ගමන් කිරීම දැඩි අවදානම් බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

එබැවින් සායන ඇතුළු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම රෝහල වෙත වෛද්‍යවරයෙක් ලබාදෙන ලෙස‍යි ප්‍රදේශවාසීන් බළධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.