මගේ පුතාටත් මාංචු දාලා එල්ලලා ගහලා – තවත් මවක් කියයි
සිරගෙවල් ඇතුළේ මිනී මරනවා නම් මේ රට මොකක්ද? – සහෝදරිය කියයි
රැඳවියන් නිලධාරියකු ඇඟේ හැපිලාද නැත්නම් පැනලා යන්න හදලාද
ජේලර් හා නියාමක 2ක් 6 තෙක් රිමාන්ඩ්
වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළ ඇතිවූ සිදුවීමකින් රැඳවියකු මියගොස් තවත් අයකු බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බොරැල්ල පොලිසිය ජේලර්වරයකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් කීපදෙනකුගෙන් සහ රැඳවියන් පිරිසකගෙන් ද බොරැල්ල පොලිසිය ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන තිබේ.
වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළ පෙරේදා (27දා) උදේ 11.00 ට පමණ ඇතිවූ බව කියන සිද්ධියක් මත එහි උණුසුම් තත්ත්වයක් උද්ගතවී තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇත.
ආරංචි මාර්ග පවසන්නේ රැඳවියන් දෙදෙනකු බන්ධනාගාර නිලධාරියකුගේ ඇඟේ හැපීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය උද්ගත වූ බවයි.
එහෙත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ රැඳවියන් කීපදෙනෙක් බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කිරීමේදී එය වළක්වාලීමට යෑමේදී මෙම උණුසුම් තත්ත්වය ඇතිවූ බවයි.
කෙසේ වෙතත් මෙම සිද්ධියේදී රැඳවියන් කීපදෙනකු පහර කෑමකට ලක්වූ බවට තොරතුරු විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙසේ පහර කෑමට ලක්ව තුවාල ලැබූ රැඳවියා වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළදීම මියගිය අතර අනෙක් රැඳවියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ පහර කෑමට ලක්ව මියගිය 37 හැවිරිදි තරුණයා අවිවාහකයකු වන අතර ඔහු ග්‍රෑන්ඩ්පාස් පදිංචිකරුවෙකි. හෙරොයින් ග්‍රෑම් 13 ක් ළඟ තබාගෙන සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු බන්ධනාගාරගත කර තිබූ අයෙකි.
බරපතළ තුවාල ලැබූ අනෙක් රැඳවියා ද මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත පුද්ගලයෙකි.
මෙහිදී මියගිය තරුණයාගේ මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි. මෙම සිද්ධිය වන අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි ජේලර්වරයා සහ නියාමකවරුන් දෙදෙනකු පෙරේදා රාත්‍රියේම බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සෙසු නියාමකවරුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (28දා) දිනයේ ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ දකුණු කොට්ඨාස අපරාධ ඒකකය සහ බොරැල්ල පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.
මෙහිදී මියගිය තරුණයාගේ ඥාතීහු ද මාධ්‍ය ඉදිරියේදී අදහස් දක්වන්නට වූහ.
මැගසින් බන්ධනාගාරය තුළදී මගේ අයියා මියගියේ බන්ධනාගාර නිලධාරීන් පහරදීමෙන් යැයි මියගිය තුෂාර සම්පත් නොහොත් ‘මංජු’ නමැත්තාගේ සහෝදරිය වන පී.එම්. රත්නාවලී මහත්මිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.
ඇය වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළාය. අපි නවගම්පුර ප්‍රදේශයේ අය. අයිය බන්ධනාගාරගත වූයේ මත්ද්‍රව්‍ය චෝදනාවකට. අයියා විවාහවෙලත් නැහැ. අයියගේ වයස අවුරුදු 38 යි. අයියට ගහල බන්ධනාගාරය ඇතුළේ මැරිල කියලා මට පණිවුඩයක් ලැබුණාම මම බන්ධනාගාරයට ගියා. එතනදි අයිය ගැන ඇහුවම ‘විසිට් චිට් එකක්’ දාන්න. හැඳුනුම්පත නැතිද ඇතුළු විවිධ ප්‍රකාශ කරමින් ප්‍රමාද කිරීම් සිදු කළා.
පස්සේ ලොකු මහත්තයෙක් හමුවෙලා මේ ගැන කිව්වාම ඒ මහත්තයා “මමවත් ඒ වගේ සිද්ධියක් දන්නේ නැහැ. ඔයාල කොහොමද දන්නේ” කියලා ඇහුවා. අපි කිව්වා අපිට ලැබිච්ච තොරතුර හරි, මහත්තය හොයලා බලන්න කියලා. හිරගේ ඇතුළේ මිනී මැරෙනවා නම් රටේ මොකක්ද තත්ත්වය. අපි අහිංසක මිනිස්සු. අපිට සාධාරණයක් ඉටුවෙන්න ඕන. තවත් කෙනකුට නිලධාරීන් ගහල කකුලක් කඩල රෝහල් ගත කරලා ඉන්නවා. නිලධාරීන් විසින් පහරදීම නිසා බන්ධනාගාර රෝහල් ගතව සිටින බව තුවාල ලැබූ රැඳවියාගේ මව මාධ්‍යට ප්‍රකාශ කළාය.
එම මව වැඩිදුරටත් මාධ්‍ය අමතමින් මෙසේද පැවසුවාය. මගේ පුතත් මැරිච්ච එක්කෙනා සමග ඉඳලා තියෙන්නේ. මගේ පුතාටත් මාංචු දාලා එල්ලලා ගහලා. ගහද්දි පුතා කියලා තියෙනවා ගහන්න එපා මැරෙයි කියලා. ‘ගහන්න එපා ගහන්න එපා’ කියද්දිත් එයාට ගහල තියෙනවා.
මගේ පුතා පැපිලියානේ රවිඳු සාරංග. එයත් බන්ධනාගාර ගතවෙලා ඉන්නේ මත්ද්‍රව්‍ය චෝදනාව යටතේ. අපිටත් මේකෙන් සාධාරණයක් ඉටුවෙන්න ඕන කියලා මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම රැඳවියා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ වෙනමම විශේෂ පරීක්ෂණයක් පවත්වාගෙන යයි.
රැඳවියා මිය යෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරීන් පස්දෙනාගෙන් ජේලර් සහ නියාමකයන් දෙදෙනා මැයි 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.
හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, ඒ.ජේ.ඒ. අබේනායක
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
ලෝකාන්තයට කෙටි පාරක්
April 23, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
වැලිකඩ රැඳවියා මියයෑම: අයියාට ගහලා මරලා