භාණ්ඩාගාර පිං පෙට්ටිය සහ ශාසනයේ මල්වට්ටිය?
මේ සතිය ආරම්භ වූයේ ද අතිශය සමාජ – දේශපාලන හා සංස්කෘතික අර්බුදයකට නිමිති වූ සංවාද දෙකක් සමගය. පළමු වැන්න ආණ්ඩුවට දසතින්ම චෝදනා එල්ලවන භාණ්ඩාගාරයේ බරපතළ බිඳ වැටීමක් සම්බන්ධ සිද්ධියකි. අනෙක ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවා මැදිහත් වී සිටින භික්ෂු සංස්ථාවේ විනය විරෝධී ප්‍රතිචාරයකි. මේ මූලික සිදුවීම් දෙක තුළින්ම ප්‍රබුද්ධ පුරවැසියන්ට කෙරෙන අනතුරු ඇඟවීම් ආර්ථික හා සමාජ නාය යෑම් බරපතළය. භාණ්ඩාගාරයට චෝදනා එල්ල වී තිබෙන ඩොලර් මිලියන 2.5 ක මහා පරිමාණ මුදල් වංචාව දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රවල දැඩි කතාබහට ලක් වූවකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාරට ඍජුව කෙරෙන විවේචනද ඇත. රාජ්‍ය නායකයා ලෙස මෙන්ම මුදල් ඇමතිවරයා වශයෙන් වූ ඔහුගේ භූමිකාව මෙහිදී විවේචනයට හා චෝදනාවලට ලක්වීම නොවැළැක්විය හැකිය. භාණ්ඩාගාරයේ ලේකම්වරයා මෙන්ම අදාළ කාර්යමණ්ඩලය ක්‍රියාකරන්නේ ද මුදල් ඇමතිවරයාගේ උපදෙස් අනුවය.
තවමත් භාණ්ඩාගාරයේ ලේකම් ලෙස සිටින ආචාර්ය හර්ෂණ නානායක්කාර යනු ජනාධිපති අනුරගේ නිර්දේශය මත එම ධූරයට පත්වූ අයෙකි. මාලිමාවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ හර්ෂණ පසුව මන්ත්‍රීධූරය අත්හැර ආණ්ඩුවේ භාණ්ඩාගාර ලේකම් ධුරයට පත්විය. දැන් ඔහුගේ අසමත්කම් දේශපාලන බැඳීම් ආදිය ගැන විවිධ විවේචන ඇසුනත් මෙතෙක් විපක්ෂ ඇතුළු සියලුම සිවිල් සමාජ ක්‍රියාකාරීහුද එදා ඒ පත්වීමට අභියෝග නොකළහ. භාණ්ඩාගාර ලේකම් ලෙස සිදුවූ පළමු දේශපාලන පත්වීම මෙය බවද දැන් කියනු ඇසෙයි. මුදල් සම්බන්ධ වගකිව යුතු ඉහළම රාජ්‍ය නිලධාරියෙකු පත්කර ගැනීමේදී දේශපාලන විශ්වාසය එක සුදුසුකමක් විය හැකිය. එහෙත් පරිපාලන හා මූල්‍ය ක්ෂේත්‍රවල අත්දැකීම් නැති අයෙක් එම ධූරය හෙබවීම කෙතරම් බරපතළ කරුණක්ද යන්න දැන් තහවුරු වී තිබේ.
මහා භාණ්ඩාගාරය සතු ඩොලර් ලක්ෂ 25ක මුදලක් කවර හෝ වංචනික පාර්ශ්වයක් අතට පත්වීම පළමුව එහි ලේකම්වරයාගේ වගකීම පැහැර හැරීමක් බවට කෙරෙන විවේචනයට පදනමක් ඇති බව අපගේද අදහසය. මේ සම්බන්ධයෙන් තිබෙන දේශපාලන විවේචනවලට සාධනීය කරුණු අඩුවිය හැකිය. එහෙත් එනිසා වංචාවේ වරද සම්බන්ධයෙන් මුදල් ලේකම් ඇතුළු නිලධාරීන්ට ගැලවීමක් නැත. මේ මූල්‍ය අපරාධය සිදුවන තෙක් ලේකම්වරයා ඇතුළු නිලධාරීහු නිද්‍රෝපගතව සිටියාහුද? යන ප්‍රශ්නය අපට පමණක් නොව දේශපාලන උනන්දුවක් සහිත ජනතාවටද තිබේ. මේ වනවිට ජනතාව අතර තිබෙන විවේචනය වන්නේ, ඒ ගොල්ල මහ බැංකුව සුද්ද කළා. මේ ගොල්ල භාණ්ඩාගාරය මංකොල්ල කෑව යන්නයි. “උනුත් එකයි – මුනුත් එකයි” නොකීවත් මේ චෞර දේශපාලන ක්‍රමය කිසිවකුට වෙනස් කළ නොහැකි යැයි පවසන අයද සිටිති. මේවායින් රටට ලැබෙන සංඥාව එයද? කුමක් වුවත් මේ වංචනික ක්‍රියාදාමයට වගකිව යුතු පළමු පුද්ගලයා භාණ්ඩාගාර ලේකම් බවට තිබෙන විවේචනය ප්‍රතික්ෂේප කළ නොහැකි බව ඉහතදීත් සඳහන් කර ඇත.
මේ මහා වංචාව වසන් කිරීමට ආණ්ඩුවට වුවමනාවක් තිබුණු බවට කෙරෙන චෝදනා තහවුරු කිරීමට දැක්වූ ඇතැම් කරුණු පිළිගත හැකිය. ඒවා යළිත් මෙහි දැක්වීම අනවශ්‍ය වුවද මේ අපරාධය රටට හෙළි කළ “ෆ්‍රී ලෝයර්ස්” සංවිධානය විසින් ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කරුණු 22 කින් සමන්විත විවෘත ලිපිය නොතකා හැරීමට ආණ්ඩුවට නොහැකිය. මෙම සිද්ධිය පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීම වංක ක්‍රියාවක් ලෙසද එහි දැක්වේ. මෙම පරිගණක අපරාධය පිළිබඳ සාධාරණ විමර්ශනයක් කිරීමට එම ධූරය හොබවන චූදිත ලේකම්වරයා එහි රඳවා තබාගෙන කළ හැකිද යන ප්‍රශ්නයද නීතීඥ සංගමය ලිඛිතව මෙන්ම වාචිකවද නඟා තිබෙන්නකි. මේ ප්‍රශ්නාවලියට ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පිළිතුරු දිය යුතු බව අපගේද අදහසය. මේ සම්බන්ධයෙන් ‘දිවයින’ ඍජුවම අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද ප්‍රශ්න කර තිබුණි. එදා ‘දිවයින’ යොමුකළ ප්‍රශ්න අබියස ලේකම්වරයා නිරුත්තර වූ බවද අපි වාර්තා කළෙමු.
ඇත්ත වශයෙන්ම මේ වංචාවට වගකිව යුතු අය මෙන්ම, ඒ ක්‍රියාදාමයට අනුබල – අනුග්‍රහ ලබාදීමේ කාර්යය සම්බන්ධයෙන් ද සත්‍යය රටට හෙළිකිරීම ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ වගකීමය. මෙයට පෙර ගල් අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව නාගත් ආකාරයටම යළිත් නාගත යුතු නැත. තම පාක්ෂිකයා, හිතවතා සුරැකීමට වඩා රටත් ජනතාවත් වෙනුවෙන් ඍජුව ක්‍රියාකිරීම ආණ්ඩුවේ වගකීමය. භගවත් ගීතාවේ සඳහන් වන පරිදිම යුක්තියේ අසිපතට කැපී වැටෙන්නේ තම නෑයාද මිත්‍රයාද අනුගාමිකයාද යන්න නොබලා කටයුතු කිරීම පාලකයකුගේ යුතුකම හා වගකීම බව අවධාරණය කරමු. මෙරටේ පවතින ගර්හිත දේශපාලන ක්‍රමය තුළ තම පක්ෂයට එක හැන්දකුත් විරුද්ධ පක්ෂවලට තවත් හැන්දකුත් තිබෙන බව ඇත්තය. කෙබඳු චෝදනා එල්ල වුවත් තමන්ගේ එකා රැකගැනීම හැම ආණ්ඩුවකම පිළිවෙත විය. එහෙත් ඒ බලය ගිලිහී ගියපසු අදාළ පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාකිරීමට නොහැකි බව ඉතිහාසය තහවුරු කර ඇත. විශ්වාස භංගයෙන් රැකගත් ඇමති කෙහෙළිය එයට එක් නිදසුනකි. මේ ආණ්ඩුව රැකගත් ජයකොඩි ඇමතිවරයාගේ සිද්ධියේදීත් වූයේ ඔහු ඉල්ලා අස්වීමය.
මේ සිද්ධියට අදාළ දේශපාලන පක්ෂවල ප්‍රතිචාරද ජනතාව දුටුවේය. එජාපය පැවසුවේ තම නායක රනිල් කී ආකාරයටම එල්බෝඩ් කාරයන්ට ආණ්ඩුව භාරදීම නිසා මෙය සිදුවූ බවකි. පොදු පෙරමුණ කීවේ අපට හොර චෝදනා නැඟූ මාලිමාව ඉතිහාසයේ ප්‍රථම වරට භාණ්ඩාගාරයත් මංකොල්ල කෑමේ චූදිතයන් බවට පත්ව සිටින බවය. හිටපු ඇමතිවරයකු වූ පාඨලී චම්පික පැවසුවේ රටේ ආර්ථික කැණිමඩලට හෙණ ගසා තිබෙන බවය. දේශපාලන විවේචන, චෝදනාවල බරපතළකම ආදිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පසු පෙළින් මේ වනවිටත් ප්‍රතිචාර ලැබෙන බවද පෙනේ. එහෙත් මේ බරපතළ මූල්‍ය අපරාධය වසන් කළ හැකිද? තම පක්ෂයේ දේශපාලන සුජාත භාවය ගැන ඔවුන්ට අභිමානයක් ද ඇත. එහෙත් උපාසක වෙසින් වුවද යමෙක් තක්කඩිකම් කරත් නම් එයට සමාවක් නැත. හොරුන් ගැන මොරදෙන ඇතැම් අයගේ දේශපාලන හැසිරීම් ජනතාවද දනිති. නීතිය නැවූ හැටි, බලය යෙදූ හැටි, මුදල් ගසාකෑ හැටි ඔප්පුකර ගත නොහැකිවීම නිසා සමහරුන්ට නිදහසේ ජීවත්වීමේ වරම් හිමි වුවද ඔවුන් සම්බන්ධ චෝදනා විවේචන වා ගැබද දූෂණය කරමින් ඇදීයන බව රටම දනී.
හැම ආණ්ඩුවක්ම අනුගමනය කළ තමන්ගේ හොරා රැකීමේ අශිෂ්ට ක්‍රමය තවදුරටත් රැකගත යුතුද? මෙරටේ පවතින විධායක ක්‍රමය විසින් බලගන්වන ලද ජනාධිපතිවරයකුට තිබෙන නිදහස ජනතාවද දනී. ඒ ක්‍රමය හදන්ට දුන් ජයවර්ධන, ජනාධිපති තුමාණන් වෙද්දී ඔහුගේ බලය පිළිබඳ ඔහු උදන් ඇනුවේ තමන්ට නොකළ හැක්කක් නොමැති බව කියමින්ය. ගැහැනියකු පිරිමියකු කිරීම හා පිරිමියකු ගැහැනියකු කිරීම හැර මේ මිහිමත (ලංකාවේ) තමන්ට කළ නොහැකි දෙයක් නැතැයි ජයවර්ධන උතුමන් වහසිබස් දෙඩූහ.
අද ඒ විධායකයේ තටු කීපයක් සිඳ දමා තිබුණත් ඔහුගේ බලය ව්‍යවස්ථාදායක – අධිකරණ වැනි ක්‍ෂේත්‍රවලටද සීමා සහිතව හෝ පැතිර ඇත. ඒ බලය භාවිත කරමින් හැම ජනාධිපතිවරයකුම ක්‍රියාකළ බවද නොරහසකි. ජනාධිපති අනුර කුමාරද ඒ බලය යොදා ගැනීමට පසුබට නොවේ. එහි යම් සීමා තිබේ. එහෙත් ඔහුගේ විධායකයේ සෙවණැල්ල බොහෝ තැන්වලදී දැකගත හැකිය. භාණ්ඩාගාරයේ මහලේකම් වැනි ප්‍රබල තනතුරක් පත් කිරීමට විධායක ජනාධිපතිවරයාට හැකිය. ඉහළම රාජ්‍ය නිලබල පත්වීම්ද ඔහුගේ අභිමතය අනුව සිදුවේ. රටේ ආර්ථිකයේ යතුර තම මිතුරෙකු අතට වුවද දීමට ජනාධිපතිවරයාට බලය ඇත. ඔහු හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට ගෙනාවේය. ඊළඟට ඔහුට මහා භාණ්ඩාගාරය භාර කළේය. එයට ඉවහල්වූ කරුණු ජනතාව හෝ විපක්ෂවල අයද නොදනිති. අද කෙරෙන විවේචනවලින් එය හැඟේ.
භාණ්ඩාගාර ලේකම්වරයා ඉවත්කළ යුතු බවට සඳුදා (27) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්ද තිබුණි. මහ බැංකුව ඉදිරියේත් තවත් විරෝධතාවක් විය. මේවා දේශපාලන පක්ෂවල ප්‍රතිචාර ලෙස හැඳින්විය හැකි වුවද ඔවුන් විසින් මතු කරනු ලබන ප්‍රශ්න ජනතාව අතරටද ගලා එයි. ශාන්තුවරයන් ලෙස ඒවාට දායක වන සමහරුන්ටද දූෂිතයන් බවට චෝදනා තිබේ. එහෙත් ඒ දේශපාලන විවේචන ආණ්ඩුවේ ප්‍රතිරූපයට හානිකරය. භාණ්ඩාගාර හොරුන් ගැන කතා කරන විවේචකයන් අතර මහ බැංකු හොරකම්වලට ඉඩදී අහක බලාගත් අයද සිටිති. ඒ මේ රටේ දේශපාලනයේ ස්වභාවය බව ඉහතදීත් දැක්විණි.
ආණ්ඩුවට තිබෙන විවේචන හා චෝදනාවලට දැක්විය හැකි බුද්ධිමය ප්‍රතිචාරයක් ලෙස භාණ්ඩාගාර ලේකම් ඉවත් කිරීම සඳහන් කළ හැකිය. එහෙත් එය සිල්ලර දේශපාලනය අනුව පසුබැසීමකැයි අන්තගාමී පාක්ෂිකයෝ කල්පනා කරති. බලශක්ති ඇමති හා ලේකම් ඉල්ලා අස්වීම විපක්ෂයේ ජයක් ලෙස කියනු අපටද ඇසුණි. මෙහිදී එබඳු පියවරක් ගැනීම ආණ්ඩුවට දේශපාලනිකව අසීරු විය හැකිය. එසේ වුවද රටේම අවධානය යොමුව තිබෙන ප්‍රබල වංචාවක් පිළිබඳ සිද්ධියකදී තම පාක්ෂිකයා, තම සගයා රැකගැනීමට වඩා ආණ්ඩුවේ අවධානය යොමු විය යුත්තේ රටේත් ආර්ථිකයේත් අභිවෘද්ධිය වෙනුවෙන් බවද අපගේ අදහසය. පක්ෂයට වඩා රට යහපාලනයක ලක්ෂණයකි.
අද මෙරටේ සමාජ, ආර්ථික, සංස්කෘතික මෙන්ම දේශපාලන වශයෙන්ද උද්ගතවී තිබෙන්නේ අතිශය විවාදාත්මක තත්ත්යක් බව පැහැදිලිය. ඒ සියල්ල සමස්තයක් ලෙස දේශපාලනය සමග සම්බන්ධ වන බවද කව්රුත් දනිති. ඒ දේශපාලනයේදී ආණ්ඩුවක් විසින් දක්වනු ලබන විචක්ෂණ භාවය අනුව එම ක්‍ෂේත්‍රවල අර්බුද හා ගැටලු විසඳාගත හැකි බවද කිව යුතුය. එහෙත් ඒ දේශපාලනයේදී ආණ්ඩුවත්, විපක්ෂයත් අතර තිබෙන බල අරගලය පමණක් නොව ඇතැම් වෛරී ප්‍රතිචාරද අපට දැකගත හැකිය. එය මෙරටේ දේශපාලනයෙහි නිබඳව දැකගත හැකි නිදන්ගත රෝගයක් වැන්න. ආණ්ඩුවක් බොහෝ විට විපක්ෂ සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ‘දෙඤ්ඤම් බැටේ ප්‍රතිචාරය මෙන්ම විපක්ෂයද එබඳුම ප්‍රහාරාත්මක ස්වරූපයකින් ක්‍රියාකිරීම ද අප දැක තිබේ. එහෙත් ඒවායේ විපාක පක්ෂවලට කතිරය ගැසූ අයටත් නොගැසූ අයටත් අමතරව අනාගත පරම්පරාවලටද වන්දි ගෙවීමට සිදුවිය හැකි විනාශයක් බවද කිව යුතුය.
පැනසර නොවන නිරිඳුන් ලද රජ සැපත ගොරතර නිරා දුකටත් වැඩියෙන් විපතකැයි සුභාෂිතයේ ද වේ. නිරිඳුන් පමණක් නොව නිලබල උසුලන නිල දරුවන්ට ද තමන්ට තම කාර්යය සඳහා වුවමනා දැනුම, අවබෝධය, අත්දැකීම් නොමැති නම් සිදුවන්නේ ද එම සන්තෑසියමය. මා අත වරද නැත, කළවුන් බලා ගන්නැයි භාණ්ඩාගාර ලේකම්ට, මුදල් ඇමැතිවරයාට මෙන්ම ආණ්ඩවුටද කීමට නොහැකිය. මේ ආණ්ඩුව රඳා පවතින්නේ මුදල් ලේකම්වරයා හෝ පුද්ගලයකු නිසා හෝ නොව ජනතාව විසින් මාලිමාවටත් ජනාධිපති අනුර කුමාරටත් දී තිබෙන විශ්වාසයේ දූෂණ විරෝධයේ රක්ෂණ ලියැවිල්ල මතය. එයට වර්චස් හෙළන්නට යළි කිසිවකුට ඉඩක් නොදීමද ආණ්ඩුවේ වගකීම වේ. ජයග්‍රහණයේදී පියවරු බොහෝ වෙති. එහෙත් පරාජයේදී කිසිවෙක් නොවෙති යන්නද මෙහිදී සිහිපත් කළ යුතුය. උස්තැන් දැක හැකිළීමත් මිටි තැන් දැක පිප්පීමත් අපේ පිළිවෙත නොවේ. මහාචාර්ය සුනිල් ආරියරත්න හා විශාරද නන්දාමාලිනී ‘පවන’ ප්‍රසංගයෙහි රටටම කියන්නාහුද ඒ කතාවමය. ඒ පිළිවෙතමය.
රජෙකුට වුවත් වරදෙහි කෑ මොර ගසනු
මොරදෙන මුවෙහිලන මී පැණි ඉවත ලනු
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු
මේ අතර මහානායක මහ නාහිමිවරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා, බෞද්ධ ජනතාව මෙන්ම බොහෝ සමාජ හා ජනතා ක්‍රියාකාරීන්ගේද ඉමහත් කම්පනයට තුඩුදුන් චීවරධාරීන් 22 දෙනකු චෝදනාවට ලක්ව සිටින කෝටි 110 ට අධික හෑෂ්, කුෂ් මෙරටට රැගෙන ඒමේ සිද්ධිය පිළිබඳවද අවධානය යොමුවිය යුතුය. මේ පිරිස චීවරධාරීන් ලෙස හඳුන්වමින් ඔවුහු උපැවිදි කළයුතු වෙතියි දැනටමත් චෝදනා පත්‍රයක් ඉදිරිපත්ව තිබෙන අතර බුද්ධ චීවරයට කරන ලද ඒ අවමානයට දඬුවම් දියයුතු යන අවධාරණයද කර ඇත. මේ පිරිස අතර උපසම්පදාව ලද අයද සිටිති. ගම්වල බොදු ජනතාවගේ වැඳුම් පිදුම්වලට ලක්වූ පිරිසක් මෙබඳු දුරාචාර, අමන ක්‍රියාවක යෙදීම බරපතළ විෂමාචාරයක් බව නිසැකය. චීවරධාරී යන යෙදුම තුළ ඇත්තේ වංචනික ලෙස බුද්ධ චීවරය යොදා ගත්තෙකි යන අරුතය. වෛද්‍ය, නීතිඥ, මාධ්‍ය ඇතුළු ඕනෑම වෘත්තියක් භාවිත කරමින් අපරාධ සිදුකිරීම මෙරටේ තිබෙන මූග්ධ වංචාවකි. නීතිඥ වෙස්ගෙන, දණ්ඩනීති සංග්‍රහයෙහි පිස්තෝලය සඟරා උසාවියට යෑමට තරම් තක්කඩි ගෑනු හා පිරිමි මෙරටේ වෙති. සිවුර තුළ පිස්තෝලය සඟවා රටේ රාජ්‍ය නායකයාට (එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිට) වෙඩි තැබුවේද දුසිල් මහණෙකි. ශ්‍රමණ වේෂධාරීන්, චීවරධාරීන් මෙන්ම ජනවහරෙහි හොර අඅඅගණයන් හෝ කහකඩයන් ලෙසද මේ වර්ගයේ අය හැඳින්වූහ.
එදා බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයෙහිද මහණකම හෙවත් භික්ෂූත්වය අපරාධ වැරදි ක්‍රියා සඳහා යොදාගත් බව ශාසන ඉතිහාසයේ දැක්වේ. එහෙත් භික්‍ෂූත්වයෙහි අභිමානය එදාත් රැකගත් බව එහිම සඳහන් වේ. එනිසා අද ආන්දෝලනයකට තුඩුදී තිබෙන මේ භික්ෂු ප්‍රතිරූපකයන්, චීවරධාරීන්, සොර මහණුන්, දුසිල් මහණුන් යන ඕනෑම පදයකින් හැඳින්වෙන අය නිසා බුදු සසුන විනාශ වේ යැයි කිසිවකුට කිව නොහැක. බුද්ධ චීවරය මෙරටේ බහුතර බෞද්ධ ප්‍රජාවගේ අති උත්තම වස්තුව බවද නිසැකය. ඒ අභිමානය නොදත් නිවටයන් සිවුරු හරවා ගිහියන් බවට පත්කළ හැක්කේද මහ නාහිමිවරුන්ටමය. ඒ සඳහා අවශ්‍ය බෞද්ධ නීති සකසා ගැනීමද උන්වහන්සේලාට භාර වූවකි. එයට දිරිදීම ආණ්ඩුවේ වගකීමකි.
සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේම උත්තම දිනය වන වෙසක් පුර පසළොස්වක උදාවීමට ඇත්තේ ද දින කිහිපයකි. මේ සිවුරු හොරුන් ගැන ඒ බොදු ජනතාවටද අවබෝධයක් ඇත.
එසේම ඒ ජාතික උරුමයන් හා සංස්කෘතික හරපද්ධතීන් නොදත් සුකිරි බටිල්ලන්ගේ බයිලාවලද අඩුවක් නැත. සංස්කෘතිය සුරැකීමට සංස්කෘතික පොලිසියක් හෝ තලේබාන් නීතිය යෝජනා කිරීමට අපි ඉක්මන් නොවෙමු. බොහෝ දේ තමන්ගේ මට්ටමට කපාගෙන කටයුතු කරන අය එදත් වූහ. අදත් සිටිති. සියල්ලටම ආණ්ඩුවට වගකීමටද නොහැක.
කෙසේ හෝ විනයක්, සංවරයක් නැති ඉවුරු බිඳ ගලායන ගඟක් මෙන් සමාජයකට ගමනක්ද නැත. ඒ ගමන, ගමනක අවසානයක් පමණි. එනිසා දේශපාලනය මෙන්ම සංස්කෘතික හා ආගමික චර්යාවන් පිරිපහදු කිරීම නීතියකට කළ නොහැක. ඒ සඳහා සම්මුතියක් එකඟතාවක් වුවමනාය. මහ නාහිමිවරු, බුදු සසුන පැවැත්වීමේ වගකීමට බැඳී සිටිති. දේශපාලනඥයෝ රටේ පවතින ආණ්ඩු මූල්‍ය විනය, දේශපාලන සංගමය සඳහා ජනතාවට වගකිව යුතු වෙති. අද මේ සියලු තුන් දොසින් හා පවින් කිලිටි වී ගොසින්ය. එනිසා භාණ්ඩාගාරය නමැති පිං පෙට්ටිය රැකදීම පාලක වගකීමය. බුදු සසුන හා චීවරයේ ගෞරවය රැකදීම මහානාහිමිවරුන් ප්‍රමුඛ බෞද්ධ කේන්ද්‍රයට අයත් සියල්ලන්ගේ වගකීමය. රටක් ඉදිරියට යෑමට විනය, සංවර්ධනය, අවංකකම, කැපවීම අත්‍යවශ්‍ය වේ. මුලින් ඒවා රැකගනිමු. පසුව දේශපාලන පොරබදමු. මේ මොහොතේ රටට ආදරය කරන සියල්ලන්ම බලා සිටින්නේ ඒ සමාජ, දේශපාලන හා සංස්කෘතික වගකීම ඉටුවන ආකාරය දෙසය.
ගාමිණි සුමනසේකර
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
ලෝකාන්තයට කෙටි පාරක්
April 23, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
ආර්ථික කැණිමඬලට හෙණ ගහලද?