කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි අයකු පෙරේදා මරණයට පත්වී තිබේ. ඒ පිළිබඳව තොරතුරු සොයා ගෙන යෑමේදී මෙම මරණය සිදුව ඇත්තේ පහරදීමකින් බව අනාවරණය කර ගත හැකිය. පහරදීම සිදු කළ බව කියන ජේලර් සහ නියාමකවරයකු මේ වන විට සිටින්නේ අත්අඩංගුවේය. මිය ගිය තැනැත්තාගේ ඥාතීන් කියන පරිදි මෙම මරණයට හේතු වී ඇත්තේ දැඩි ලෙස පහරදීමයි. ඔහුට මාංචු දමා දණගස්වා පොලුවලින් පහරදුන් බවද කියති. ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රඳවා සිටි 37 හැවිරිදි නවගම්පුර, කොළඹ 14 පදිංචිකරුවෙකි. ඔහු සමග සිටි තවත් රැඳවියකුට ද මීට පොඩ්ඩක් අඩුවෙන් පහරදීම නිසා ඔහු මේ වන විට සිටින්නේ රෝහලේය. බන්ධනාගාර රෝහලට යැවූ ඔහු මේ වන විට සිටින්නේ ජාතික රෝහලේ බව ආරංචිය. කෙසේ වුවත් අප මෙම සිද්ධිය පිළිබඳව දකින්නේ යමෙකුගෙන් අසා දැන ගත් පරිදි බැවින් සිද්ධිය පිළිබඳව මීට වැඩි යමක් කියන්නට හදිස්සි වන්නේ නැත.
එහෙත් බන්ධනාගාර පිළිබඳව අපේ රටේ ඇසෙන්නේම ජුගුප්සාජනක කතාය. ගහ මරා ගැනීම් එහි නිරන්තරයෙන් සිදුවේ. ඇතුලේ සිට ගජරාමෙට ගේම් දෙන සිරකරුවන් එමටය. එවැන්නන්ගේ ආරක්ෂිත නිවස්නය වී ඇත්තේ ද අප මේ කියන බන්ධනාගාරයය. ඒවා තුළ දෛනිකව කුමක් හෝ නොහොබිනාකම් අඩු වැඩි වශයෙන් සිදුවේ. කුඩු බිස්නස්, මිනී මැරුම්වලට අණ ලැබෙන්නේ මේවායෙහි රඳවා සිටින අයියලාගෙනි. මේවාට උඩ ගෙඩි දෙන ජේලර්ලා ද සිටී. බහුතරය එවැනි දූෂිත නොවූවද ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ පැටිකිරිය අජූව ය. ඔවුහු ඇතුලේ බීඩියක්, සිගරට්ටුවක්, දුංකොළයක් දහස් ගණනකට විකුණන බව අප කොතෙකුත් අසා ඇත්තෙමු. බන්ධනාගාර ගත වන ඇතැම් රැඳවියන් සමහරෙක් තම ගුද මාර්ගයේ පවා ඉහත කී දේවල් සඟවා ගෙන යන බැවින් ඒවා පරීක්ෂා කිරීමට ද සිදුවී තිබේ.
ඒ කෙසේවෙතත් අපේ බන්ධනාගාර මේ වන විට රැඳවියන්ගෙන් පිරී පවතී. රැඳවියන් දසදහසක් දමන්නට හැකි තැන්හි මේ වන විට හතලිස් දහසකට මදක් වැඩි මිස අඩුවෙන් නම් රඳවා නැත. ඒ නිසා රැඳවියන්ට කෑම, නෑම හෝ නිදා ගැනීමට හෝ වැසිකිළි යෑමට සිදු වන්නේ ද අධික තදබදයක් යටතේය. එසේ හදිසියේ වැසිකිළියට යන රැඳවියකුගේ ඇඟෙහි තවත් රැඳවියකු ගැටීමේ හැකියාව හොඳටම තිබේ. ඇතැම්විට රැඳවියකු ජේලර්වරයකුගේ ඇඟෙහි හැපීමේ ද වැඩි සම්භාවිතාවක් තිබේ. එසේ හැපීමෙන් සිදුවන්නේ ඉතා නරක දෙයක්ය. ඇත්තටම වැසිකිළියට හදිසියේම යන රැඳවියකු ජේලර්වරයකුගේ ඇඟෙහි හැප්පෙන්නට ගියේ නම් අනිවාර්යයෙන්ම කුණුහරුපයක් අහගන්නට වෙනවාමය. ඉන් නොනැවතී අත පය විසිවී, පොලු මුගුරු ගෙන පහර පිට පහර දෙන්න ද හැකියාවක් තිබේ යැයි අප සිතමු.
එලෙස පහර කෑ රැඳවියා ද ජේලර් වෙත පෙරළා ප්‍රතිචාර දක්වන්නට ගියහොත් නම් තත්ත්වය අවුල් ජාලාවක් වන්නට පිළිවන. රැඳවියා පාලනය කිරීමට යැයි කියා වෙනත් ජේලර්වරුන් ගැටුමට සම්බන්ධවීමට පුළුවන, පසුව රැඳවියාට මාංචු වැටෙන්නට පුළුවන. ඊටත් පසුව ජේලර් රංචුවක් විසින් රැඳවියාගේ ඉළඇට කුඩු පට්ටම් වන ලෙස ගුටි පූජාවක් දී ඔහුට එලොවද අච්චු කරවන්නට ද සලස්වන්නට පුළුවන. මේ පෙරේදා සිදු වූයේ එවැනි අච්චු කිරිල්ලක්දැයි කියන්නට අප දන්නේ නැත. අඩුම තරමේ එහෙම සිදුවූවා යැයි කියා කියන්නටවත් අප යන්නේ නැත. කෙසේවෙතත් දැන් මත්කුඩු චෝදනාවකට ලක්ව සිටියකු ඝාතනය වී තිබේ. ඔහු වැරැදිකරුවකු නොව චෝදනා ලැබූ තැනැත්තකු පමණි.
සිරගෙදරක සිටියද එවැන්නන්ද මනුෂ්‍යයන්මය. ඔවුනගේ මූලික මිනිස් අයිතීන් රැකීම නීතියෙනුත්, බුදුදහමෙනුත්, ජාත්‍යන්තර සම්මුතීන්වලිනුත් පිළිගන්නා ලද සත්‍යයකි. නීතිය අනුව සිරකරුවකුටත් තියෙන මූලික මිනිස් අයිතිවාසිකම් රැසකි. ප්‍රථමයෙන් ඔහුට හෝ ඇයට ජීවත්වීමේ අයිතිය පවතී. ඔහුගේ ජීවිතය රැකීම රජයේ වගකීමකි. වධහිංසාවලට ලක්වීම, පහරකෑමට ලක්වීම, නිරාහාරව සිටීම, මානසික වධය ආදී කරුණු ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනි පමණක් නොව ඒවා ජාත්‍යන්තර වැරදි ගණයට වැටේ. රැඳවියකු යම් වරදක් සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ වැරදිකරු වුවද ඔහුට එය අභියාචනයක් ඉල්ලීමේ අයිතියක් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
හිරගෙදර හිටිය ද ඔහුට සෞඛ්‍ය පහසුකම් ලබා දිය යුතුය. පවුලේ අය හමුවීමට ඉඩ දිය යුතුය. යම් අයෙකු සම්පූර්ණයෙන් සමාජයෙන් වෙන් කළහොත් ඔහු පුනරුත්ථාපනය වීමට හැකියාවක් නැති බව පිළිගත් මතයයි. සරලවම කියන්නේ නම් හොරෙක්, මිනීමරුවෙක් වුවද, ඔහුද මනුස්සයෙකි. යම් වරදකට දඬුවමට ලක්කළහොත් එම දඬුවම අතරතුර ඔහු නැවතත් යහපත් මිනිහෙක් බවට පත් කිරීම රජයේ වගකීමකි. එබැවින් ඔහුට ජීවත් වීමට, නීතියෙන් ලැබෙන ආරක්ෂාව සැපයීම රජයේ වගකීමය. ඒ සඳහා දැන්වත් නිසි පියවර ගැනීම වත්මන් පුනරුද රජයේ අත්හළ නොහැකි වගකීමකි.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
ලෝකාන්තයට කෙටි පාරක්
April 23, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026