සිරිලක පෝෂණය කිරීම උදෙසා මෙරට ගිහි පැවිදි උගතුන්, වියතුන් රැසක් දැයට දායාද කළ ප්‍රකට විද්‍යස්ථානයක් වූයේ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනය. එම විද්‍යස්ථානය ආරම්භ කරමින් රටට දැයට උදාරතර සේවාවක් ඉටුකළ මහා පඬිවරයකු වූයේ එදත්, අදත්, හෙටත් පූජනීයත්වයෙන් කවුරුත් සළකන පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ ය.
වර්තමානයේ සංචාරක පාරාදීසයක් වන දක්ෂිණ පුරවරයේ රජ්ගම කොට්ඨාසයට අයත් හික්කඩුව හෙට්ටිගොඩ ගම්මානයේ විසූ දොන් ජෙහානිස් අබේධීර ගුණවර්ධන මහාලියනාරච්චි රාළහාමි සහ දණ්ඩන්ගොඩ ගමගේ ක්‍රිස්තිනා හාමිනේ යන පින්වත් යුවළට දාව වර්ෂ 1827 ජනවාරි මස 20 වැනිදින පස්වැනි දරුවාද ලැබිණි. ඒ පිරිමි දරුවෙකු ය.
සිංහල බෞද්ධ බලය හීන වෙමින් තිබූ මෙම යුගයේ සිංහල බෞද්ධ දරුවන් පවා භෞතිස්ම කිරීමේ නීතියක් ක්‍රීයාත්මක විය. එයට අවනත වූ මෙම දෙමව්පියෝ ද තම දරුවා භෞතීස්ම කිරීමට කටයුතු කළහ. ඒ අනුව මෙම දරුවාට ලැබූ නම වූයේ “නිකුලස්” ය.
ස්වකීය ග්‍රාමයේ වූ හික්කඩුව තිලකරත්නාරාමයේ හික්කඩුවේ සෝභිත නාහිමියන් ලවා සුබ නැකතින් නිකුලස් දරුවාට අකුරු කියවා වැඩිදුර අධ්‍යාපනය ලබාදීමට එම විහාරස්ථානයටම යැවීමට පියා වූ මහාලියනාරච්චි රාළහාමි කටයුතු කළේය.
අට හැවිරිදි වියට පත් වෙද්දීම අධ්‍යාපනයට දක්ෂයකු වූ නිකුලස් දරුවා දහතුන් වැනි වියට එළැඹෙත්ම මහණ කරවීමට දෙමව්පියෝ තීරණය කළහ. 1840 නොවැම්බර් මස ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක මැලෑගොඩ සිරිනිවාස ගුණරතන මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් “සිරි සුමංගල” නමින් පැවිදි දිවියට ඇතුළත් විය.
වර්ෂ 1841 දී මාබොටුවන රේවත නාහිමියන් සමග මාපලගමට වැඩම කළ හික්කඩුවේ සුමංගල සාමණේරයෝ එහිදී බණ දහම් ඉගෙන ගත්හ. ජෝන් කොර්නේලිස් අභයවර්ධන මහතාගෙන් එහිදී ඉංග්‍රීසි හා ගණිතය යන විෂයන් ඉගෙන ගැනීමට හැකිවිය.
පනම්ගොඩ ජෙගුත්තර හිමියන්ගෙන් සහ වලානේ සිද්ධාර්ථ හිමියන්ගෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබූ සුමංගල හිමියෝ නිසි වයස එළැඹි කළ එනම් වර්ෂ 1848 දී ගල්ගිරියාවේ ශ්‍රී ධර්මරක්ඛිත සුමංගල නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල සහිත උපසම්පදාව ලැබුවේ මහනුවරදීය.
කාශිනාථ විද්‍යාලංකාරනම් බ්‍රාහ්මණ පණ්ඩිතාචාර්යතුමාගෙන් සංස්කෘත භාෂාව ඉගෙන ගනු ලැබුවේ ඉන් පසුවය.
ක්‍රිස්තියානි බලය මර්දනය කොට යටපත් වී තිබූ බෞද්ධ බලය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන වර්ෂ 1858 දී පමණ ගාල්ල බෝගහවත්තේ විහාරස්ථානයක වැඩවසත්ව “ලංකෝපකාර” නමින් යන්ත්‍රාලයක් පිහිටුවාගෙන ‘ලංකාලෝක’ පුවත්පත මුද්‍රණය කොට බෙදා හැරියේය.
හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමි සමග හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා
බුදුදහම ආරක්ෂා කර ගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මාහිමියන්ගේ පංචමහා වාදවලට උපරිම අයුරින් ශක්තිය ලබා දෙමින් බුදුදහම ආරක්ෂා කර ගැනීමට කටයුතු කළහ. මෙම පංච මහාවාද ගැන පැහැදී මෙරටට පැමිණි කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා සහ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මාහිමියන් ඇතුළු පිරිස බොදු බලය නංවාලීමේ වැඩසටහනේ යෝධ ශක්තියක් වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ බෞද්ධ අධ්‍යාපනයද වර්ධනය කරලීමට කටයුතු කළහ.
වර්ෂ 1867 දී ශ්‍රී පාදස්ථානයේ නායක පදවියට පත් සුමංගල හිමියෝ 1870 දී කොටහේනේ පරමානන්ද විහාරස්ථානයට වැඩම කරනු ලැබුවේ දොන් කරෝලිස් හේවාවිතාරණ, දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි, දොන් අන්දිරිස් ධර්ම ගුණවර්ධන යන ප්‍රභූවරුන්ගේ ආරාධනයෙනි.
වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද නාහිමි ඇතුළු නාහිමිවරුන් මෙන්ම ප්‍රභූ ගිහි පිරිස එකතු වී 1873 දී ආරම්භ කළ විද්‍යෝදය පිරිවෙනේ සම්පූර්ණ වගකීම හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ට පැවරූ අතර උන්වහන්සේ සිය වගකීම මහත් ඉහළින් ඉටුකරමින් මෙරට සම්බුද්ධ ශාසනය, ජාතිය, භාෂාව, සාහිත්‍යය පෝෂණය කළ හැකි උගත් වියත් පිරිසක් දැයට දායාද කළහ.
වර්ෂ 1890 දී කොළඹ නව කෝරළේ නායක පදවිය හා ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය යන ගෞරව නාමය මහනුවර මල්වතු විහාරයේ මහනායක හිමි ප්‍රධාන සංඝ සභාවෙන් පිරිනමන ලදී. අයර්ලන්තය, ඉතාලිය, හංගේරියාව යන විදේශ රටවල්වල පිහිටි මහා පණ්ඩිත සභාවන් “හැලෝ” නම් විශාරද ගනයට සුමංගල නාහිමියෝ ඇතුළත් කර ගත්හ.
සම්බුද්ධ ශාසනය මෙන්ම සාහිත්‍යය පෝෂණය කරලීමට ද උන්වහන්සේ අමතක නොකළහ. වර්ණ නීතිය, මහා වංශ පරිවර්තනය, බ්‍රහ්ම ධර්මය හෙවත් අනුශාසනා සංග්‍රහය, සිදත් සඟරා සන්නය, බාලාවතාර ටිකාව සීමා විභාගය යන ග්‍රන්ථ ලියා පළ කළහ. ශේෂ්ඨ ආචාර්යවරයකු, විචිත්‍ර ධර්ම දේශකයකු, වියත් ලේඛකයකු වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ මීට වසර 115 ට පෙර එනම් 1911 අප්‍රේල් මස 29 වන දින අපවත් වූ සේක.
මෙරෙඤ්ඤ චරිත් ජයරත්න
MSC, U.K. BBA (HRM SPC Ruhuna)
රජ්ගම එ.ජා.ප. ප්‍රධාන සංවිධායක
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
ලෝකාන්තයට කෙටි පාරක්
April 23, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026