බොදු පදනම මත ගොඩනැගෙන ලෝක සාම දර්ශනය
ලෝක ඉතිහාසය පුරාවටම මානව වර්ගයා මුහුණ දුන් දැවැන්තම සහ අතිශය සංකීර්ණතම අභියෝගය වී ඇත්තේ තිරසර සාමයක් ගොඩනැගීම සහ එම සාමකාමී සහජීවනය අඛණ්ඩව පවත්වාගෙන යෑමයි. සාමාන්‍ය ලෝක ව්‍යවහාරයට අනුව සාමය යනු හුදෙක් යුද්ධයක් හෝ සන්නද්ධ ගැටුමක් නොමැති වීම පමණක් ලෙස නිර්වචනය වුවද, ආධ්‍යාත්මික දෘෂ්ටිකෝණයකින් බලන කල එය ඊට වඩා බෙහෙවින් ගැඹුරු වූ සමාජීය සහ මානසික සහජීවනයකි. එය පුද්ගල ආධ්‍යාත්මයේ මෙන්ම සමස්ත සමාජයේ සියලුදෙනාගේම සිත් සතන්වල උත්තරීතර අපේක්ෂාව විය යුතුය.
බුදු දහම යනු සමස්ත ලෝකයටම අතිශය ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවිඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ විසින් දේශනා කොට වදාළ සමස්ත ධර්මස්කන්ධයම ගොඩනැගී ඇත්තේ අවිහිංසාව, මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන උත්තරීතර සතර බ්‍රහ්ම විහරණයන් මූලික කරගනිමිනි. බාහිර ලෝකයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ප්‍රථමයෙන් පුද්ගලයාගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික සාමය තහවුරු විය යුතු බව බුදු දහම දැඩිව අවධාරණය කරයි. යුද්ධය සහ ගැටුම් නිර්මාණය වන්නේ යුධ පිටියේදී නොව, මිනිසාගේ මනස තුළ බව ධර්මය පෙන්වා දෙයි. ලෝභය, ද්වේෂය සහ මෝහය යන ප්‍රබල අකුසල මූලයන්ගෙන් දැවෙන මනසක් ඇති තාක් කල්, බාහිර ලෝකයේ කිසිදා සැබෑ සාමයක් ස්ථාපිත කළ නොහැකිය. එබැවින් මෙම අකුසල මූලයන්ගෙන් මිදුණු, සංසුන් සහ අවබෝධයෙන් යුත් මනසක් තුළින් පමණක් සැබෑ ලෝක සාමයක් උදෙසා දායක විය හැකි බව බෞද්ධ දර්ශනය පෙන්වා දෙයි. වර්තමාන ලෝකය තුළ පවතින අතිශය සංකීර්ණ දේශපාලනික බල අරගල, ආර්ථික සම්පත් උදෙසා කෙරෙන තරඟකාරීත්වයන් සහ සමාජීය අර්බුද හමුවේ, බුදු දහමේ එන මෙම අභ්‍යන්තරික සාමකාමී ප්‍රවේශය වෙන කවරදාටත් වඩා අදට අදාළ වන බව පසක් කොට ගත යුතුය.
වර්තමාන ලෝකය දෙස බලන විට අපට පෙනෙන්නේ යුද්ධය, වෛරය සහ අසහනයෙන් පිරී ගිය අඳුරු තත්ත්වයකි. මිනිසා ස්වකීය ආත්මාර්ථකාමය සහ මෝඩකම නිසා අනෙකාගේ ජීවිතය විනාශ කිරීමට පවා පසුබට නොවේ. එහෙත්, බුදුන් වහන්සේ අපට උගන්වා ඇත්තේ නූතන යුද්ධවලට වඩා හාත්පසින්ම වෙනස් වූ අතිශය වැදගත් සටනක් ගැනය. එනම් කෝපය, ඊර්ෂ්‍යාව, ද්වේෂය, මෝහය සහ ලෝභය වැනි දුෂ්චරිතයන්ට විරුද්ධව අප විසින්ම කරගත යුතු අභ්‍යන්තර සටනයි. නූතන ලෝකය යුද්ධය සඳහා විනාශකාරී ආයුධ යොදා ගන්නා විට, බුදුන් වහන්සේ අපට හඳුන්වා දුන්නේ ප්‍රඥාව, කරුණාව, මෛත්‍රිය, ඉවසීම සහ අධිෂ්ඨානය වැනි ආධ්‍යාත්මික අවි පද්ධතියකි. මෙම සටන අපේ අභ්‍යන්තරය ජයග්‍රහණය කිරීමට කරන සටනකි. ගෝලීය සාමය පවත්වා ගන්නවාද නැද්ද තීරණය කිරීමේ වගකීමද මෙම සටන හා බැඳෙන බව බුදුදහම පසක් කරයි. සාමය හෝ යුද්ධය රඳා පවතින්නේ අපේම තීරණ මතය. බුදුදහමේ මූලික අරමුණ සාමයයි. එය අප ජීවත් වන මිහිතලයට පමණක් නොව, සමස්ත විශ්වයටම අදාළ වන්නකි.
සාමයට හේතුව වශයෙන් පවතින්නේ කුමක්දැයි තේරුම් ගැනීම සාම මාවතේ මුල්ම පියවරයි. මඩ සහිත ජල කඳක් ව්‍යාකූල කරමින් එය පිරිසිදු කිරීමට උත්සාහ කිරීම මගින් ජලය වඩාත් බොර වී යයි. එහෙත් එම ජල කඳ නොසෙල්වා නිශ්චලව තැබූ විට, මඩ ස්වභාවිකවම යටපත් වී ජලය පැහැදිලි වන්නා සේ, වෛරී සිතුවිලි සන්සුන් කළ විට සාමය ස්වභාවිකවම මතු වේ. රෝහිණී නදියේ ජලය බෙදාගැනීම සම්බන්ධයෙන් ශාක්‍ය හා කෝලීය ඥාතීන් අතර ඇති වූ යුද්ධයේදී බුදුන් වහන්සේ මැදිහත් වී, “මිනිස් ජීවිත සමඟ සසඳන විට ජලය කෙතරම් වටීද?…”යැයි විමසූහ. ජීවිතයේ වටිනාකම අමතක කොට වටිනාකමින් අඩු ජලය නිසා සටන් වැදීම වැරදි බව පෙන්වා දෙමින්, එම ඥාතිවරුන් යුද්ධයෙන් වළක්වා මනුෂ්‍යය ජීවිත සිය ගණනක් බේරාගැනීමට බුදුන් වහන්සේ සමත් වූහ.
අද වන විට අපිද නොවටිනා දේ පදනම් කරගෙන මිහිමත මුළු මානව සංහතියම විනාශ කර දමන්නට තර්ජනය කරන ගෝලීය යුද්ධයක ඇරඹීමේ අවදානමේ සිටිමු. කෝපය, ද්වේෂය සහ කුරිරු අහංකාරය නිසා සිත් තුළ ඇති වන කලකිරීම් මගින්, අන් අය කෙරෙහි ඇති කරුණාව යටපත් වී ඇත. බුදුන් වහන්සේ යුද්ධය දුටුයේද කර්මය මත පදනම් වූවක් ලෙසිනි.
යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං
පවුත්‌තං තාත තේ බීජං ඵලං පච්‌චනුභොස්‌සසීති
ඔබ යුද්ධය නමැති බීජ වපුළහොත් යුද්ධයක්ද, සාමයේ බීජ වපුළහොත් සාමයේද අස්වනු ලෙස ලැබෙනු ඇත. සාම බීජ අංකුරව වැඩෙන්නට මෛත්‍රිය නමැති ජලය අත්‍යවශ්‍ය වන අතර, ශික්ෂාවෙන් හෙවත් හික්මීමෙන් තොරව මෛත්‍රිය වියළී යනු ඇත. බෞද්ධ ඉගැන්වීමේ මූලිකම සදාචාරාත්මක ශික්ෂාව නම් ප්‍රාණයට ගරු කිරීම සහ ජීවිත හානියට විරුද්ධ වීමයි. සියලු සත්වයෝ සැප විඳීමට කැමති බවත්, තම සැප උදෙසා අන් සතුන්ට දඬු මුගුරුවලින් හිංසා කිරීමෙන් පරලොවදී සැපක් නොලැබෙන බවත් බුද්ධ දේශනාව අවධාරණය කරයි.
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයේ
සියල්ලෝ දඬුවමට තැති ගනිති සියල්ලෝම මරණයට බිය වෙති. අනුනුත් තමා මෙන් සලකා හිංසා නොකළ යුතුය. කිසිවකු ලවා හිංසා නොකරවිය යුතුය.
එනමුත් තාක්ෂණික වශයෙන් ලෝකය කෙතරම් දියුණු වී තිබුණද, මානව දයාව සහ සාමය අතින් ලෝකය වේගයෙන් ආපස්සට ගමන් කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. බලය මත පදනම් වූ දේශපාලන ක්‍රමවේදයන් සහ නවීනතම අවි ආයුධ නිපදවීමේ තරඟය මගින් කිසිදු තිරසර විසඳුමක් ලෝකයට ලබා දිය නොහැකි බව ඉතා පැහැදිලිය. ගෝලීය දේශපාලන නායකයින්, ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් කඩිනමින් තේරුම් ගත යුතු ප්‍රධානතම කරුණ වන්නේ, වර්තමාන අර්බුද ජය ගැනීම සඳහා බෞද්ධ දර්ශනයෙන් උගන්වන සහනශීලී, මධ්‍යස්ථ සහ අවිහිංසාවාදී ප්‍රවේශයක ඇති අත්‍යවශ්‍යතාවයයි. සෑම මනුෂ්‍යයෙකුගේම සහ සත්වයෙකුගේම ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම සහ කිසිදු ජාති, ආගම් හෝ දේශපාලනික භේදයකින් තොරව මානව දයාව පෙරදැරිව කටයුතු කිරීම ලෝක සාමය ස්ථාපිත කිරීමේ මූලිකම සහ එකම පදනම වේ.
මේ පදනම බුදු දහමේ හරයෙන් පෝෂණය වූ ජාතියක් ලෙස අප එදා සිටම අනුගමනය කරන්නකි. බුදු දහමේ අසීමිත මෛත්‍රියෙන් සහ අන්‍යයන්ගේ දුක තම දුක ලෙස දකින කරුණාවෙන් පෝෂණය වූ ශ්‍රී ලාංකීය දර්ශනය, ලෝක දේශපාලනයේ රළු ස්වභාවය මැද පවා මානුෂීය අගයන් සුරැකීමට බැඳී සිටී. වසර 2500 කට පමණ පෙර දුටුගැමුණු රජු තම ප්‍රතිවාදියා වූ එළාර රජු කෙරෙහි දැක් වූ ගෞරවයද 1951 සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේදී “නහි වේරේන වේරානි – සම්මන්තීධ කුදාචනං” යන බුදු වදනින් ලොව අමතමින් වෛරය මෛත්‍රියෙන් ජය ගත යුතු බව ලොවට හඬගා කියමින් පරාජිත ජාතියක් වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකාවද පසුගිය දිනක ඉන්දියන් සාගරයේ ඇති වූ යුධමය අර්බුදයේදී භූ-දේශපාලනික බලපෑම් නොතකා මරණය සමග පොර බදිමින් ජීවිතය යදිමින් සිටි දෙසීයකට අධික නාවිකයින් සංඛ්‍යාවක් මරණයේ දොරකඩින් මුදාගත් අවස්ථාව තුළද නියෝජනය කරන්නේද එකම දහමකි; එනම්, සතුරා මිතුරා ලෙස දකින, ජීවිතයක වටිනාකම ජාති ආගම්වලට වඩා ඉහළින් තබන බෞද්ධ මානුෂීයත්වයේ උත්තරීතර ගුණයයි. පසුගිය දිනකදී කොළඹ ගංගාරාම විහාරස්ථ ඓතිහාසික බේරේ වැව සීමා මාලකයේදී ශ්‍රී ලංකාවේ අතිගරු ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ලෝක බලවතුන් උදෙසා “ඒකාබද්ධ සාම ප්‍රකාශනයක්” ඉදිරිපත් කිරීමද, ගෝලීය සාමය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමේ ඉතිහාසය යළිත් වරක් සිහිපත් කර දෙන්නක් විය. බාහිර ලෝකයේ කෙතරම් බල අරගල පැවතියද, ශ්‍රී ලංකාව තම ස්වාධීනත්වය සහ කරුණාවන්ත හදවත පෙරදැරි කරගෙන ලෝකය තුළ සැබෑ සාමයේ සහ ආරක්ෂාවේ නියෝජිතයා ලෙස අදටත් නොසැලී සිටින්නේ, අවි ආයුධවලට වඩා මානව දයාව බලවත් බව ලොවට යළි යළිත් සිහිපත් කර දෙමිනි.
ගංගාරාම විහාරස්ථානයද දශක ගණනාවක් පුරාම ඒ දර්ශනය අනුගමනය කරමින් එයම පෙරට ගෙනයමින් එයම වර්ධනය කරමින් ලෝක සාමය සහ සහජීවනය වෙනුවෙන් කැපවී කටයුතු කර ඇති ආකාරය මෙහිදී සිහපත් කළ යුතුමය. ආගමික භේදයකින් තොරව සැමට දොරගුළු විවර කරමින්, දානය, අධ්‍යාපනය සහ සංස්කෘතික වැඩසටහන් හරහා අප උත්සාහ කරන්නේ මිනිසුන් තුළ ඇති සාමූහික හැඟීම වර්ධනය කොට මනුෂ්‍යත්වය උත්කර්ෂයට නැංවීමටය. ගංගාරාම විහාරස්ථානය බෞද්ධ විහාරස්ථානයක් වුවද, එහි දොරටු සෑම විටම අන්‍යාගමිකයන් උදෙසාද විවෘතව පවතී. අන්‍ය ආගමික නායකයන් සමඟ සමීප සබඳතා පවත්වමින්, අන්තර් ආගමික සංවාදයන් උදෙසා ගංගාරාමය නිරන්තරයෙන් මූලිකත්වය ගනී. ජාති, ආගම් බේදයකින් තොරව අවශ්‍යතා ඇති ජනතාවට අධ්‍යාපනික, වෛද්‍ය සහ ජීවනෝපාය සහන සැලසීම මගින් විහාරස්ථානය ශක්තිමත් සමාජ ඒකාබද්ධතාවයක් ගොඩනගා ඇත. මෙම කටයුතුවලදී අන්‍යාගමිකයන්ගේ දායකත්වය සහ සහයෝගය ලබාගැනීම හරහා අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් වර්ධනය වී තිබේ.
ගංගාරාම විහාරස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘නවම් මහා පෙරහැරද’ හුදෙක් ආගමික උත්සවයක් පමණක් නොව, ජාතික සංහිඳියාව පිළිඹිබු කරන සුවිශේෂී සංකේතයකි. රටේ විවිධ ප්‍රදේශවලින් මෙන්ම විදේශ රටවලින්ද පැමිණෙන විවිධ ජාතීන්ට, විවිධ ආගම්වලට අයත් කලාකරුවන්, නැටුම් කණ්ඩායම් සියලු දෙනා එකම අරමුණක් වෙනුවෙන් එකට එක්වී කටයුතු කිරීම සාමය සහ සහජීවනයේ පණිවිඩය මුළු රටටම කියාපායි. පෙරහැර පැවැත්වෙන කාලය තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කිසිඳු භේදයකින් තොරව සහභාගී වීම කැපී පෙනෙන කරුණකි.
තවද, ගංගාරාමය දියත් කරන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සහ අධ්‍යාපනික වැඩසටහන් හරහා දරිද්‍රතාවයෙන් පෙළෙන සියලුම ජාතීන්ට අයත් තරුණ තරුණියන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදේ. කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවද, සෑම ශිෂ්‍යයෙකුටම සමාන අවස්ථා ලබාදීම මගින්, අනාගත පරපුර අතර සහජීවනය පිළිබඳව ධනාත්මක ආකල්ප ගොඩනැගීමට විහාරස්ථානය කටයුතු කරයි.
මෙවන් පසුබිමක් තුළ, පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදුකරන ලද “සාම පා ගමන” (උ්කන දෙර ඡැ්ජැ), ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ අවසානය සනිටුහන් වීමද ගංගාරාම විහාරය සාමය වෙනුවෙන් කරනු ලබන කැප කිරීමට ලැබුණු ඇගයුමක් මෙන්ම ජාතියටම ලැබුණු ආශීර්වාදයකි. “ඒහිපස්සිකෝ” සාම පා ගමන, හුදෙක් භූගෝලීය දුරක් ගෙවා පැමිණි ගමනක් නොව, මිනිස් සිත තුළ සාමය ගොඩනැගීමට ගත් ආධ්‍යාත්මික උත්සාහයකි. සාමයේ සහ මෛත්‍රියේ පණිවිඩය ලෝකයට කියාපාමින් මෙම උදාරතර සාම පා ගමනට නායකත්වය ලබාදෙන පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය, අප සැමට සිහිපත් කරනුයේ බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වා දුන් කරුණාවේ සහ අහිංසාවේ මහා මාවතයි. උන්වහන්සේගේ මෙම පියවර, මිනිස් සිත් තුළ පවතින වෛරී සහගත සිතුවිලි දුරු කර, මෛත්‍රිය නැමැති ජලයෙන් සාම බීජ පෝෂණය කිරීමට දරන උත්සාහයකි. ඝාතනය, බිය සහ වෛරය ජනනය කරන විෂම චක්‍රයෙන් මිදී, සියලු සත්ත්වයන් කෙරෙහි පවතින අසීමිත කරුණාව පෙරදැරි කරගෙන උන්වහන්සේ මේ සිදුකරන කැපවීම, අද දින ලෝකයට අත්‍යවශ්‍යම ධර්ම පණිවුඩයකි.
මෙම ගමනේ වඩාත් සංවේදී සහ ආකර්ෂණීය සිදුවීම නම්, ‘ආලෝකා’ ලෙස නම් ලත් සුනඛයා මේ පා ගමනට එක්වී දහස් ගණන් දුර පයින් ගමන් කිරීමයි. පෙර සඳහන් කළ පරිදි බුදු දහම උගැන්වෙන, සැප විඳීමට කැමති හැම සත්වයෙක්ම දඬුවමට බිය වෙති, සැමටම ජීවිතය ප්‍රියය. ආලෝකා සුනඛයා පා ගමන පුරා උන්වහන්සේලා සමගින් ගමන් කිරීම, මිනිසා සහ සත්ත්ව ලෝකය අතර තිබිය යුතු එම උතුම් සහජීවනයේ සහ අභයදානයේ ජීවමාන සාක්ෂියකි. බුදුරදුන් දේශනා කළ පරිදි තමන්ව උපමාවට ගෙන කිසිවෙකුට හිංසා නොකළ යුතු බවට වන මහා සංකල්පය, මේ සත්ත්වයාගේ නිහඬ ගමන තුළින් අපට මනාව පසක් කර දෙයි. ආලෝකා අපට පෙන්වා දෙන්නේ, සාමය යනු හුදෙක් මිනිසාට පමණක් නොව, කතා කිරීමට නොහැකි අසරණ සත්ත්වයාටද හිමිවිය යුතු පොදු අයිතියක් බවයි.
ජය ලැබීම වෛර ඇති කරන බවත්, පරාජය ඇත්තාට සතුටින් දිවි ගෙවිය නොහැකි බවත් බුද්ධ දේශනාව පෙන්වා දෙයි. ජය ගන්නා තුළ පරාජයේ බීජ රෝපණය වේ. පරදින්නා තුළ ජයග්‍රාහී බීජ ජනිත වේ. එමනිසා ජය පරාජය යන ද්වන්ධ සටනින් ඔබ්බට යා යුතුය. කෝපයට පත්වන පුද්ගලයා හොඳ නරක හෝ යුක්තිය සාධාරණත්වය නොදකියි. එබැවින් වෛරයට වෛරයෙන් පිළිතුරු නොදී මෛත්‍රියෙන් යුතුව ජීවත් වීම සාමයට ඇති එකම මාවතයි. “සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උප සම්පදා – සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධානු ශාසනං” යන බුද්ධ අනුශාසනය අනුව කටයුතු කරමින්, සාම බීජ සිත් තුළ රෝපණය කරමින්, මෛත්‍රිය ප්‍රගුණ කිරීමට කැප වෙමු. සාමයේ පා ගමන වෙත සියල්ලෝම සිය ඇස කන් යොමා ඇති මොහොතක සැමට මතක් කළ යුතු සාමයේ පණිවුඩය එයයි.
දෙවො වස්සතු කාලෙන – සස්ස සම්පත්ති හේතු ච
පීතො භවතු ලොකෝ ච – රාජා භවතු ධම්මිකෝ
ගංගාරාමයේ අස්සජි හාමුදුරුවෝ
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
ලෝකාන්තයට කෙටි පාරක්
April 23, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
“මනුෂ්‍යත්වය පෙරදැරිව ලෝක සාමය ගොඩනඟමු”