අවසන් කටයුතු අනිද්දා බොරැල්ල කනත්තේදී
මෙරට ග්‍රන්ථ කලාවේ ප්‍රගමනයට මහත් මෙහෙවරක් ඉටු කළ රාජ්‍ය සම්මානලාභී ගොඩගේ ප්‍රකාශන ආයතන, නිර්මාතෘවරයා වූ දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතා ඊයේ (29දා) අභාවප්‍රාප්ත විය.
1936 වසරේ මාතර, පාලටුව ගම්මානයේ දී උපත ලැබූ ඒ මහතා, මියයන විට 90 හැවිරිදි වියෙහි පසුවිය.
සොයුරු, සොයුරියන් නවදෙනකුගෙන් යුත් පවුලේ හයවැනියා වූ ගොඩගේ මහතා, පාලටුව ගුණරත්න මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබීය.
මුල් අවධියේ පොත් බඳින්නකු ලෙස සේවය කළ ඒ මහතා, 1957 දී තවත් අයකු සමග එක්ව හවුල් ව්‍යාපාරයක් ඇරඹීය. එවකදීම, මාලිගාකන්ද විfiා්දය පිරිවෙනට ගොස් පොත් රැගෙන විත් පොත් බැඳීමේ යෙදෙමින්, මාලිගාකන්ද නායක ස්වාමීන්වහන්සේ සහ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ ඇසුර ලබමින් බුදුදහම වෙත වඩාත් නැඹුරුව කටයුතු කළේය. නන්දා ගොඩගේ මහත්මිය ඒ මහතාගේ බිරිඳයි.
සිය පොත් බැඳීමේ ව්‍යාපාරය සාර්ථක වීමත් සමග පොත් විකිණීමත් පුස්තකාල වෙත පොත් සැපයීමටත් සිදුකළ ගොඩගේ මහතා 1970 වර්ෂයේදී කොළඹ, මරදාන ප්‍රදේශයට පැමිණ ‘ගොඩගේ පොත් මැඳුර’ අරඹමින් පොත් ප්‍රකාශන ය ද ආරම්භ කළේය.
මුල් අවධියේදී ළමා පොත් මුද්‍රණය කළ ඒ මහතා, පසුව විවිධ ලේඛකයන්ගේ අත්පිටපත් ලබාගනිමින් මුද්‍රණය ඇරඹීය. අද වනවිට එම සමාගම විශාල පොත් ප්‍රමාණයක් මුද්‍රණය කරමින්, මෙරට මුද්‍රණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක පසුවෙයි.
මෙරට රාජ්‍ය සම්මාන ඉතිහාසයේ වාර්තා තබා ඇති ගොඩගේ ආයතනය, ප්‍රකාශන ආයතනයක් ලෙස වසර 38 ක් පුරා අඛණ්ඩවම සම්මානයට පාත්‍ර වී තිබේ.
දෙමළ සහ ඉංග්‍රීසි බසින් ද මුද්‍රිත කෘති සඳහා රාජ්‍ය සම්මාන හිමිකර ගැනීමට සමත් වූ ගොඩගේ ආයතනය, 2022 වර්ෂයේ පැවැති රාජ්‍ය සම්මාන උත්සවයේදී ද සම්මාන පහකින් පිදුම් ලැබීය. භාෂා ත්‍රිත්වයෙන්ම කෘති ප්‍රකාශයට පත් කරන ආයතනයක් ලෙස ඉදිරියෙන්ම පසුවේ.
අභාවප්‍රාප්ත දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතාගේ දේහය මේ වනවිට කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු ලබන සෙනසුරාදා (02දා) බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026