ලාංකිය සිනමාව
අපි හරියට නොකළොත් තාත්තා රඟපාලා පෙන්නුවා ජයන්ත දාස් පෙරේරා
by
mavan
April 30, 2026
April 30, 2026 2:11 pm
0 comment
Share
0
Facebook
Twitter
Tumblr
VK
Whatsapp
Email
21
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටයට දෙබස් රචකයා ලෙස සම්බන්ධ වූ කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ ප්‍රවීණතම දෙබස් රචකයෙකු ලෙස හැඳීන්විය හැකිය. සැබෑ දේශීය සිනමාවේ ආරම්භය ලෙස සැලකිය හැකි රේඛාව වැනි චිත්‍රපටයක දෙබස් රචකයා වීම ඔහු ලැබූ භාග්‍යයකි. ඉන්පසු ඔහු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස්ගේම සන්දේශය චිත්‍රපටයේද දෙබස් රචකයා වූයේ කේ. ඒ. ඩබ්ලිව් පෙරේරාය. 1966 නිර්මාණය වූ “සැනසුම කොතැනද” චිත්‍රපටයගේ ඔහු ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය විය. ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව විසි හයකි. ඔහු විශිෂ්ට ගණයේ තිරරචකයෙකුද වූයේය. පිරිමියෙක් නිසා, සුහද සොහොයුරෝ, සැනසුම කොතැනද, කපටිකම, බයිසිකල් හොරා, කතුරු මුවත්, සීයේ නෝට්ටුව, ලොකුම හිනාව, ඉහත ආත්මය, ළසඳා, වාසනා, නෑදෑයෝ, ජනක සහ මංජු, හඟන කොල්ලා, ආදර රත්නෙ, බංගලි වළලු, රේල් පාර , දුර්ගා, ධවල පුෂ්පය, මධුරි, උණ්ඩය සහ සුමේධා ඔහු අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණ විය. මේ අතරින් එවකට අතිශය ජනප්‍රිය වූ සහ සිනමා ලෝලීන් අතර වැඩි කතා බහකට ලක්වූ චිත්‍රපටයක් ලෙස ජනක සහ මංජු හඳුන්වාදිය හැකිය. එය කේ.ඒ. ඩබ්ලිව් පෙරේරාට විශේෂ චිත්‍රපටයක් වන්නටද හේතුවක් තිබුණි. තම බාල පුතු වන ජයන්ත දාස් පෙරේරාට සිනමා නළුවෙකු ලෙස අත්පොත් තබන්නට රුකුලක් සැපවූයේ ඔහුය.
එදා නවක නළුවෙකු ලෙස සිනමාවට පය තැබූ තම බාල පුතුට ලැබුණු ප්‍රේක්ෂක ආදරය දැක ඔහු කෙතරම් නම් සතුටට පත්වන්නට ඇත්ද. ඔහුගේ ජීවිතය රසකතා ගොන්නකින් සමන්විත විය. ඒ රස මතක මෙසේ සරසවිය හමුවේ දිග හැරියේ ඔහුගේ බාලපුත් රංගන ශිල්පී ජයන්ත දාස් පෙරේරාය.
මම මුලින්ම කියන්නම් මෙහෙම දෙයක්. මගේ තාත්තා ගැන ලොකු ආඩම්බරයක් මගේ හිතේ තියෙනවා. අද ඔහු ජීවත්ව සිටියා නම් අවුරුදු සියයක්. තාත්තා මුලින් රේඩියෝ සිලෝන් එකේ වැඩ කරන කාලේ ඉඳන් තාත්තා කරපු වැඩ මට මතකයි. රේඩියෝ සිලෝන් එකේ වැඩසටහන් සම්පාදකවරයෙක් විදිහට තමයි තාත්තා වැඩ කළේ. මගේ අම්මා හෙදියක්. අපි ඉගෙන ගන්න කාලයේ තමයි තාත්තා චිත්‍රපට කරන්න පටන් ගත්තේ.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයෙන් තමයි තාත්තා මුලින්ම සිනමාවට ආවේ. එහි දෙබස් රචනා කරමින්. අපේ ළමා වියේදී තාත්තා එක්ක ගතකළ කාලය බොහෝම අඩුයි. ඔහු වැඩියෙන්ම කාලය යෙදෙව්වේ කලාව සහ සිනමාව වෙනුවෙන්. ඒත් අයියා, නංගී, මම අම්මා, වෙනුවෙන් තාත්තාගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස මඟ හැරියේ නැහැ.
රේඛාව චිත්‍රපටයේ දෙබස් රචකයා ලෙස කටයුතු කිරීමෙන් පසුව තාත්තා ගොඩක් කාර්‍යබහුල වුණා. ඊට හේතුව වුණේ තාත්තා චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වූ නිසයි. ඔහු මුලින්ම අධ්‍යක්ෂණය කළේ ” සැනසුම කොතැනද ” චිත්‍රපටය. ඒ කාලේ මට හොඳට මතකයි . ගාමිණී , ජෝ අබේව්ක්‍රම , ජීවරාණී , සන්ධ්‍යා කුමාරි වගේ අය නිතරම අපේ ගෙදරට ආව ගියා. ඒ චිත්‍රපටය නිර්මාණය වෙන හැටි මම දැක්කා. ” සැනසුම කොතැනද” තිරගත වීමෙන් පසු කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා කියන නම කා අතරත් ජනප්‍රිය වුණා. දරුවෝ හැටියට අපිටත් ඒක ලොකු ආඩම්බරයක්. කේ.ඒ.ඩබ්ලිව් පෙරේරාගේ පුතා කිව්වහම අපිටත් හොඳ සැලකිල්ලක් , පිළිගැනීමක් ඇතිවුණා. ” සැනසුම කොතැනද” චිත්‍රපටයෙන් පස්සේ තාත්තා චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළා. තිරරචනය කළා . දෙබස් ලිව්වා. තාත්තා හොඳටම දෙබස් ලියපු චිත්‍රපටයක් තමයි සාරවිට චිත්‍රපටය. රේඛාව චිත්‍රපටය කරන කාලේ නම් මට මතක නැහැ. ” සැනසුම කොතැනද” චිත්‍රපටය කරන කොට අපිත් සිනමා ලෝකයට සම්බන්ධ වුණා. තාත්තා ඉන්පසුව කළේ කපටිකම, බයිසිකල් හොරා. කපටිකම චිත්‍රපටයේ සින්දුවකට තාත්තා මාව ගත්තා. කුරුලු රෑන් රෑන් සිංදුවේ මම පෙනී සිටියා. ඒ චිත්‍රපටයෙන් මගේ හිතේ සිනමාව ගැන හැඟීමක් ඇතිවුණා. අපරාධය සහ දඬුවම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරද්දී තාත්තා මාව ශ්‍රියාණි අමරසේන රංගන ශිල්පිනියගේ මල්ලිගේ චරිතයට ගත්තා.
තාත්තා චිත්‍රපට කළේ බාධක රාශියක් මැද්දේ තාත්තා චිත්‍රපට කළේ ගුවන් විදුලියේ වැඩ කරන ගමන්. ඒ අතරේ ගුවන් විදුලියෙන් නීතියක් දැම්මා. ගුවන් විදුලියේ වැඩ කරන අයට බාහිර වැඩ සහ සිනමාවට සම්බන්ධ වැඩ කරන්න තහනම් කියන නීතිය. ඉන්පසුව තාත්තා එක්ක වැඩකළ පී.වැලිකල , කරුණාරත්න අබේසේකර වැනි අයත් ගුවන් විදුලියෙන් අයින් වුණා.
තාත්තා කරපු සෑම චිත්‍රපටයකටම වගේ රෝහලක් සම්බන්ධ කර ගත්තා. ඒකට හේතුවක් තිබුණා. ඒ තමයි අපේ අම්මා. අම්මා හෙද සේවයේ හිටියේ. තාත්තා කොළඹ ආනන්දයට යන කාලේ ඒ යන පාරේ කානතා බෝඩිමක් තිබිලා තියෙනවා. තාත්තා බයිසිකලෙන් යනකොට ලස්සන ගැහැනු ළමයෙක් දැකලා තියෙනවා. ඒ ගැහැනු ළමයා හැමදාම බැල්කනියට වෙලා ඉන්නවලු. ඒත් දවසක් ඒ ගැහැනු ළමයා ඉඳලා නැහැ. තාත්තා බයිසිකලේ බෙල් එක කීපවතාවක් ගහලා. ඊට පස්සේ ඒ ළමයා බැල්කනියට ඇවිත්. තාත්තා එතනින් යනකොට ඒ ගැහැනු ළමයා තාත්තා එක්ක හිනා වෙනවලු. අන්න ඒ ගැහැනු ළමයා තමයි තාත්තගේ බිරිඳ වෙලා තියෙන්නේ. ඔය සිදුවීම තමයි තාත්තා අධ්‍යක්ෂණය කළ “ප්‍රමාද වැඩියි” ටෙලිනාට්‍යයට කළේ. ඒ කාලේ “ප්‍රමාද වැඩියි” ටෙලිනාට්‍යය අතිශය ජනප්‍රිය වුණා.
එහි තියෙන ආදර සීනුව ගීතය නිර්මාණය වුණේ අම්මාව හමුවූ සිදුවීම මුල්කරගෙන. තාත්තගේ චිත්‍රපට බොහෝමයක කුමක් හෝ සිදුවීමක් පාදක කරගෙන තමයි නිර්මාණය වුණේ. තාත්තා ගුවන් විදුලියේ වැඩ කරන කාලේ තාතතලට එක මනුස්සයෙක් හැමදාම බත් අරගෙන එනවලු. ඒක ඒ මනුස්සයගේ රස්සාව. ඉතින් ඒ මනුස්සයට කියලා තාත්තා වැඩත් කරගන්නවලු. ඒ චරිතය අරගෙන තාත්තා “බයිසිකල් හොරා චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නේ. සැනසුම කොතනද චිත්‍රපටයේ කතාවට සම්බන්ධ වෙලත් තියෙන්නේ අම්මව.
චිත්‍රපට කරන්න ගිහින් තාත්තා බොහෝ විවේචන වලට ලක්වෙලා තියෙනවා. ඒකට විශේෂ හේතුව වුණේ තාත්තා ලියූ දෙබස්. තාත්තා ලියපු දෙබස් ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම ඒවා දැඩි විවේචන වලටත් ලක්වුණා. එක චිත්‍රපටයක දෙබසක් තිබිලා තියෙනවා ” කජු පුහුලමේ විතරක් ඇයි ඇටේ එළියේ තියෙන්නේ කියලා. හියුගෝ මාස්ටර්, දොන් සිරිසේන, බී.එස්. පෙරේරා වැනි රංගන ශිල්පීන් වාට්ටුවක ඉඳන් කියන කතාවක් ඒක.ප්‍රේක්ෂකාගාරය නම් හූ කිය කියා චිත්‍රපටය බලලා තියෙනවා. නමුත් ඒගැන ලොකු විවේචනයක් ගොඩනැගිලා. ඒ ගැන විශේෂ සංවාදයකුත් තිබුණා කොළඹ විශ්වවිද්‍යාලයේ. මමත් ගියා ඒකට. තාත්තවත් සම්බන්ධ කරගෙන තිබුණා ඒ සංවාදයට. එක එක්කෙනා කතා පැවැත්වුවා. ඒ හැම කතාවකින්ම කියවුණේ තාත්තා ලියන දෙබස් ගැන. අන්තිමට තාත්තා කතා කළා. කතා කරලා මෙහෙම කිව්වා. මේ කරපු කතා ඔක්කොම මම අහගෙන හිටියා. ඒත් ඒ හැම කතාවකදීම කියවුණු ඇටේ ගැන නෙවෙයි මම කිව්වේ. මම ඒ දෙබස ලිව්වේ කජු පුහුලමේ ඇටේ ගැනයි. මේකේ කිසිම කුණුහරපයක් නැහැ. ඉතින් ඇටේට ඇටේ නොකියා මොනවා කියන්නද. ඒ කතාව දුරදිග ගිහින් අන්තිමට මිනිස්සු පුටු වලින් ගහ ගත්තා. ඇතැම් උදවිය ගුජුප්සාජනක දෙබස් ලියන්නා කියලා තාත්තාව හඳුන්වන්න ගත්තා.
තවත් සිදුවීමක් තිබුණා. තාත්තා ලියපු දෙබසක. ” චන්දේ දිපු එකා ඇඳ යට. නොදිපු එකා ඇඳ උඩ. ඔය දෙබස නිසා ඩඩ්ලි සේනානයක ඇවිත් ඒ රීල් එක බලලා තියෙනවා.
තාත්තා චිත්‍රපටවලට යොදා ගත් සමහර දර්ශන වලටත් විවේචන තිබුණා. ” කපටිකම” චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම පස්සේ පොලීසියෙන් පන්නන කොට එයා මිනී පෙට්ටියක් ඇතුළට රිංගනවා. ඒක අරගෙන යනකොට මිනී කාර් එකේ ඩ්‍රයිවර් ඉදිරි කණ්නාඩියෙන් දැකලා තියෙනවා මිනී පෙට්ටියෙන් මිනිහෙක් ඔළුව දානවා. ඩ්‍රයිවර් බය වෙනවා. ඒ නිසා මිනී පෙට්ටිය පාරට තල්ලු කරනවා. තල්ලු කරපු නිසා පාරේ බයිසිකලයක් පැදගෙන යන නෝනා කෙනෙක්ගේ බයිසිකලේ හැප්පෙනවා. ජරමර ගොඩයි. ඔය දර්ශනය නිසා ජයවිලාල් විලේගොඩ මෙහෙම ලියලා තිබුණා.
” පූජනීය මිනී පෙට්ටියට කේ.ඒ .ඩබ්ලිව් අපහාස කරයි”
ඔහු කොහොම විවේචනය කළත් ජයවිලාල් මාමායි, අපේ තාත්තායි ගජ යාලුවෝ. දවසක් තාත්තා බොරැල්ලේ අවමංගල්‍යයකට සහභාගී වෙන්න ගියා. එදා මමත් ගියා. ඒක ඉවර වෙලා අපි ඇවිදගෙන යනකොට ජයවිලාල් මාමා ඉස්සරහින් යනවා. බානි රේමන්ඩ් එක පාරේ. තාත්තා දුවගෙන ගිගින් ජයවිලාල් මාමාට මෙහෙම කිව්වා. වැඳපන් මේක පූජනීය ස්ථානයක්. තාත්තා එහෙම කිව්වේ බානි රේමන්ඩ් එක ගාවදි. ඔය විදිහට ඒ දෙන්නා දෙබස් වලින් වාද විවාද කළා.
මාව සිනමා නළුවෙක් කළේ තාත්තා. ඔහු ජනක සහ මංජු ච්ත්‍රපටයට අලුත්ම මුහුණු දෙකක් හොයමින් සිටියේ. ප්‍රධාන නිළියට ගෝතමී පතිරාජව තෝරගෙන තිබුණා. ඒත් තාත්තාට හිතට අල්ලන නළුවෙක් හොයා ගන්න බැරිවෙලා. දවසක් ඒ ගැන කෑම මේසයේදී කතාවුණා. ඒ වෙලාවේ අම්මා කිව්වා මේ පොඩි පුතාව ගන්නකෝ කියලා. ඊට පස්සේ තාත්තා මට දෙබසක් දුන්නා. කියලා පෙන්වන්න කියලා. මම කිව්වා. මට ගෙදරින්ම නළුවාව හම්බවුණා කියලා තාත්තා කිව්වා. ඔය විදිහට තමයි මම නළුවෙක් වුණේ. සමහර නළුවෝ කියනවා මාර කට්ටක් කාලයි නළුවෙක් වුණේ කියලා . ඒත් මට නම් ඒ අවස්ථාව ලැබුණේ කෑම මේසයේ ඉඳන් කෑම කනකොට. ජනක සහ මංජු චිත්‍රපටයේ රඟපෑමෙන් පසු තරුණියෝ මාව සොයාගෙන ගෙදරට එන්න පටන් ගත්තා. ඒ නිසා අම්මා මාව කාමරේකට දාල දොර වැහුවා.
ජනක සහ මංජු රූගත කිරීම් අතරේ සිදුවුණු රස කතාත් තියෙනවා. එක් දර්ශනයක් තිබුණා මට ගෝතමීව ඉඹින්න තියෙන දර්ශනයක්. ඒත් තාත්තා ඉන්න නිසා මට ලැජ්ජා හිතුණා. කීපවතවක්ම ගෝතමීව ඉම්ඹත් ඒකෙන් තාත්තා සෑහීමකට පත්වුණේ නැහැ. එක පාරටම තාත්තා ඇවිත් ” අයියෝ උඹ කෙල්ලෙකුට කිස් එකක්වත් දෙන්න දන්නේ නැහැනේ. මෙන්න මෙහෙමයි කෙල්ලව ඉඹින්නේ කියලා තාත්තා ගෝතමීව ඉම්ඹා. ඒ චිත්‍රපටයේම තවත් දර්ශනයක් තිබුණා සෝනියා දිසා මට කම්මුලට ගහන. සෝනියා මට කීපසැරයක් ගැහුවත් හරියට ඒ දර්ශනය එන්නේ නැහැ කියලා තාත්තා කිව්වා. ඒ වෙලාවෙත් තාත්තා ඇවිත් මට තදින් කම්මුලට ගහල සෝනියාට කිව්වා මෙන්න මෙහෙම ගහන්න කියලා. සෝනියා මට හරියට ගැහුවේ නැත්තේ මම අධ්‍යක්ෂවරයාගේ පුතා නිසා. තාත්තගේ චිත්‍රපටවල නැටුම් අධ්‍යක්ෂවරු හිටියේ නැහැ. ඒක චිත්‍රපටයක දර්ශනයක් තිබුණා නිළිය පඩිපෙළ දිගේ නටාගෙන එන ජවනිකාවක්. ඒ නිළියට ඒක කරන්න බැරුව තාත්තාගෙන් ඇහුවා කොහොමද කරන්නේ කියලා. තාත්තා කිව්වා ඔයා පඩි පෙළින් බැහැලා ඇවිත් බලාගෙන ඉන්න කියලා. තාත්තා පඩිපෙළ දිගේ නටාගෙන ආවා. මෙන්න මේ විදිහටයි නටාගෙන එන්න ඕනේ කියලා. තාත්තා ඒ නිළියට උපදෙස් දුන්නා. තාත්තා පිළිවෙළකට, වෙලාවට වැඩකළ කෙනෙක්. දවසක් ෂූටිං තිබුණා කුරුණෑගල . එදා ෂූටිං තිබුණේ මාලිනි ෆොන්සේකාට. මඟදී මාලිනි අක්කා ආපු වාහනේ කැඩිලා. ඒත් තාත්තා ෂූටිං නැවැත්තුවේ නැහැ.
සිනමාව තමයි තාත්තගේ ජීවිතය වුණේ. ඔහුගේ පෞද්ගලික වැඩවලට මැති ඇමතිවරු හමු වෙන්න ගියේ නැහැ. ඒත් සිනමාව සම්බන්ධ ඒවට ගියා. එවකට ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවන්න මුල් වූ කීපදෙනා අතර තාත්තත් හිටියා. එවකට සිරිමාවෝ මැතිනියගේ චන්ද ව්‍යාපාර වලදී තාත්තා එතුමිය වෙනුවෙන් වේදිකාවට නැග්ගේ නැහැ. ඒත් උදව්කළා. තාත්තා, එල්සන් දිවිතුරුගම, ඩී. ආර් නානයක්කාර, අනුලා කරුණාතිලක, හර්බට් අමරවික්‍රම, එල්. එම් පෙරේරා මේ කට්ටිය සේරම රට වටේ ගියා චිත්‍රපට සංස්ථාව බිහිකරන්න. සිරිමාවෝ මැතිනිය දිනුවට පසුව එල්. එම්. පෙරේරා එක්ක ගියා එතුමිය මුණගැහෙන්න. ඒ වෙලාවේ එතුමිය අහල තියෙනවා කාටද මම චිත්‍රපට සංස්ථාව බාර දෙන්නේ කියලා. ඒ වෙලාවේ එල්.එම්.පෙරේරා කියල තියෙනවා පගා ගහන්නේ නැති කෙනෙකුට සංස්ථාව භාර දෙන්න කියලා. එහෙනම් ඒක මගේ භාරයට ගන්නම් කියලා සිරිමාවෝ මැතිනිය කියල තියෙනවා. එදා සිට චිත්‍රපට සංස්ථාව තිබුණේ අගමැතිනිය හෝ ජනාධිපතිතුමා යටතේ. චන්ද්‍රිකා මැතිනියගේ කාලේ එය සංස්කෘතික අමාත්‍යාංශය යටතට පැවරුණා. ඒ වගේ සේවයක් කරන්න අපේ තාත්තා දායක වුණා.
තාත්තා හොඳ කලාකරුවෙකු වගේම අපිට ආදරණීය තාත්තා කෙනෙක්. අම්මට සෙනෙහෙවන්ත ස්වාමිපුරුෂයයෙකු වුණා. අපිට හරිම ආඩම්බරයක් හිතේ තියෙනවා තාත්තා ගැන. මම හරි ආඩම්බරයෙන් කියනවා තාත්තා වගේ රසබර දෙබස් ලියපු කෙනෙක් අදටත් සිංහල සිනමාවේ බිහිවෙලා නැහැ. ඔහු ලියපු දෙබස් වලට කිට්ටු කරන්න අදටත් බැහැ. ඒ දෙබස් ඒ තරමටම ප්‍රබලයි.. ගුවන් විදුලියේ හඳමාමා සහ ගුවන් විදුලි නාට්‍යවලට තාත්තා දෙබස් ලිව්වා. ඒ දෙබස් හරිම රසවත්. තාත්තා දෙබස් විදිහට ගත්තේ එයාගේ සාමාන්‍ය ජීවිතයේ දෙබස්. ඔහු දෙබස් රචනය සඳහා අති දක්ෂයෙක්. ඒ නිසාම වෙන්න ඇති ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් එතුමාගේ” සන්දේශය” චිත්‍රපටයේ දෙබස් ලියන්න කේ.ඒ . ඩබ්ලිව් පෙරේරා තෝරා ගන්නට ඇත්තේ.
තාත්තා හිටියා නම් දැන් අවුරුදු සියයක්. තාත්තා ජීවත්ව සිටි කාලයේ වැදගත් විදිහට සමාජයේ ජීවත් වූ පුද්ගලයෙක්. හොඳ නමක් දිනාගෙන සිනමාවේ අමතක නොවන රසබර දෙබස් සමඟින් චිත්‍රපට රැසක් දායාද කළ විශිෂ්ට කලාකරුවෙක්.
නයනාංජලි දෙහිපිටිය
Share
0
Facebook
Twitter
Tumblr
VK
Whatsapp
Email
previous post
කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට
next post
ස්වර්ණමය යුගයක පරපුරක් හැදූ ම්.ඒ.එ
You may also like
මාව සිනමාවට හඳුන්වාදුන් ගුරුවරයා ප්‍රවීණ සිනමාවේදි තිස්ස ලියනසූරිය
April 30, 2026
ගෞරවනීය අධ්‍යක්ෂවරයෙක් සහාය අධ්‍යක්ෂ -එස්. ඒ. අලගේෂන්
April 30, 2026
සිංහල සිනමාවේ ජනකතාකරු කේ. ඒ. ඩබ්ලිව්.පෙරේරා
April 30, 2026
ඔහුගේ රසාලිප්ත සමාන්තර සිනමාව
April 30, 2026
ස්වර්ණමය යුගයක පරපුරක් හැදූ ම්.ඒ.එ
April 30, 2026
කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට
April 30, 2026
ඇය ඔබට බාරයි නිපදවූයේ අම්මා වෙනුවෙන්
April 30, 2026
රවීන්ද්‍ර සහ මයිකල් එකිනෙකට හාත්පසින්ම වෙනස් ප්‍රවීණ රංගනවේදී ශ්‍යාම් ප්‍රනාන්දු
April 23, 2026
රිවර්ස්ටන් විශේෂ දැක්ම
April 23, 2026
OIC ගඩාෆි විශේෂ දර්ශනය දා
April 23, 2026
ප්‍රේක්ෂකයන් ඉල්ලන දේ දෙනවා නිෂ්පාදක රාජ් රණසිංහ
April 23, 2026
පවන් රොදේ හමා ආ ආදරේ ‘කල්පනා’
April 23, 2026
චිත්‍රපට නිෂ්පාදකවරියක් වූ හැටි
April 9, 2026
ලාංකේය සිනමාවේ සදාතනික මුද්‍රාව : ලෙස්ටර් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 107 වැනි ජන්ම...
April 9, 2026
Leave a Comment
Cancel Reply
Save my name, email, and website in this browser for the next time I comment.
අපි හරියට නොකළොත් තාත්තා රඟපාලා පෙන්නුවා ජයන්ත දාස් පෙරේරා