ලෝක ඉතිහාසය දෙස හැරී බැලීමේදී පෙනී යන සත්‍යයක් වන්නේ අද අප භුක්ති විඳින සෑම භෞතික සම්පතක්ම සහ පහසුකමක්ම පිටුපස කිසිවෙකුගේ හෝ නොපෙනෙන ලේ, කඳුළු සහ දහදිය සැඟව පවතින බවයි. සෑම වසරකම මැයි මස පළමුවැනිදා උදාවන්නේ එම අසීමිත මිනිස් ශ්‍රමයට උපහාර දැක්වීම සඳහාත්, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ලොවට හඬගා කීම සඳහාත්ය.මැයි දිනය හෙවත් “ජාත්‍යන්තර කම්කරු දිනය“ යනු හුදෙක් දින දර්ශනයක රතු පැහැයෙන් සටහන් වූ නිවාඩු දිනයක් හෝ දේශපාලන පක්ෂවල ශක්තිය පෙන්වන පෙරහැරක් පමණක් නොවේ. එය මානව ශිෂ්ටාචාරය ගොඩනැඟූ ශ්‍රමිකයාගේ අභිමානය සනිටුහන් කරන දිනයයි.
මැයි දින ඉතිහාසයේ මූලාරම්භය දෙස බලන විට අපට පෙනී යන්නේ එය මල් යහනාවක් මතින් ආ ගමනක් නොවන බවයි.19 වැනි සියවසේ කාර්මික විප්ලවයත් සමඟ කම්කරුවන්ට අමානුෂීය ලෙස වැඩ කිරීමට සිදු විය. එකල දිනකට පැය 14ක් හෝ 16ක් වැනි දීර්ඝ කාලයක් සේවය කිරීමට ඔවුන්ට බල කෙරුණු අතර ඒ සඳහා ලැබුණේ ඉතා සොච්චම් වැටුපකි. මෙයට එරෙහිව 1886 වසරේ මැයි මස මුල් සතියේ ඇමරිකාවේ චිකාගෝ නුවරදී දැවැන්ත කම්කරු අරගලයක් ආරම්භ විය.ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ දිනකට පැය 8ක වැඩ මුරයක්, පැය 8ක විනෝදාංශයක් සහ පැය 8ක විවේකයක් ලබා ගැනීමයි. චිකාගෝ නුවර “හේමාර්කට්“ චතුරශ්‍රයේදී පැවැත්වූ මේ උද්ඝෝෂණයට එල්ල වූ දරුණු පොලිස් මර්දනය හමුවේ කම්කරුවන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් මරණ දඬුවමට පවා ලක් විය.එදා ඒ වැගිරූ ලේ බිඳු මතින් ගොඩනැඟුණු අයිතිවාසිකම් අද ලෝකයම පොදුවේ භුක්ති විඳියි.
ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය දෙස බලන විට 1933 වසරේදී ඒ.ඊ. ගුණසිංහ මහතාගේ නායකත්වයෙන් කොළඹ ප්‍රයිස් පිටියේදී මෙරට ප්‍රථම මැයි දින සැමරුම පවත්වා ඇත.එතැන් සිට අද දක්වා ශ්‍රී ලංකේය කම්කරු ජනතාව රටේ දේශපාලන සහ ආර්ථික ගමන් මඟ තීරණය කරන ප්‍රබල සාධකයක් බවට පත්ව සිටිති.කඳුකරයේ තේ දල්ල නෙළන කම්කරුවාගේ සිට මුහුදු රැල්ල සමඟ සටන් කරන ධීවරයා දක්වාත් ගෘහ සේවිකාවගේ සිට මහා පරිමාණ කර්මාන්තශාලාවල සේවය කරන තරුණ තරුණියන් දක්වාත් සියලු දෙනා මේ රටේ ආර්ථිකයේ රුධිර නාලිකා බඳුය.විශේෂයෙන්ම මැදපෙරදිග ඇතුළු විදේශ රටවල සේවය කරමින් මෙරටට විදේශ විනිමය ලබා දෙන ශ්‍රමිකයන් අප රටේ ජීවනාලියයි.
කෙසේ වෙතත් වර්තමාන 21 වැනි සියවසේ මැයි දිනය සමරන විට අප හමුවේ නව මානයන් සහ අභියෝග රැසක් පවතී.අද වන විට තාක්ෂණයේ දියුණුව සහ කෘතිම බුද්ධියේ පැමිණීමත් සමඟ සාම්ප්‍රදායික රැකියා අවස්ථා අභියෝගයට ලක් වෙමින් තිබේ. එසේම රටක් ලෙස අප මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන ජීවන වියදම දරා ගැනීම කම්කරුවාට සැබෑ සටනක් වී ඇත.තමන්ගේ ශ්‍රමයට සරිලන සාධාරණ වැටුපක් ලබා ගැනීම සේවා සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම සහ විශ්‍රාම වැටුප් වැනි වරප්‍රසාද සුරැකීම අද දවසේ ප්‍රමුඛ අවශ්‍යතාවන්ය.තවද ශ්‍රම බලකාය තුළ කාන්තා දායකත්වය අතිවිශාල වුවද ඔවුන්ට හිමිවිය යුතු සමාජ ගෞරවය සහ ආරක්ෂාව පිළිබඳව තවමත් පවතින්නේ ගැටලුකාරී තත්ත්වයකි.
මැයි දිනය යනු වසරකට වරක් වීදි පුරා යන වර්ණවත් පෙරහැරකට හෝ දේශපාලන වේදිකාවල ඇසෙන උදාර ප්‍රකාශවලට පමණක් සීමා නොවිය යුතුය.එහි සැබෑ අර්ථය වන්නේ වැඩකරන ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් විය හැකි ඔවුන්ගේ වෘත්තීය ගෞරවය රැකෙන සහ ඔවුන්ගේ දහදියට නිසි වටිනාකමක් ලැබෙන පරිසරයක් නිර්මාණය කිරීමයි.රටක සංවර්ධනයේ සැබෑ හිමිකරුවන් වන්නේ වායුසමනය කළ මැදිරිවල සිට තීරණ ගන්නන් නොව අව්ව වැස්ස නොතකා මහපොළොවේ දහදිය හෙළන මිනිසුන්ය.
මැයි දිනය යනු මානව අයිතිවාසිකම් සහ සාධාරණත්වය උදෙසා කෙරෙන සදාකාලික සිහිගැන්වීමකි.දහදිය සුවඳින් ලොව දිනවන ලෝකය ලස්සන කරන ඒ අභිමානවත් මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැඟීමත්, ඔවුන්ට හිමි ගෞරවය ලබා දීමත් ශිෂ්ට සම්පන්න සමාජයක වගකීමයි.හෙට දවසේ වඩාත් යහපත් වැඩබිමක් සහ සාධාරණ ලෝකයක් උදෙසා මේ දහදිය හෙළන මිනිසුන්ගේ හඬට සවන් දීම සැමගේ යුතුකමකි.
ඩබ්ලිව්. ඩී. එස්. ආර්. සෙනෙවිරත්න
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
දහදිය සුවඳින් ලොව දිනවන මිනිසුන්ගේ සැමරුම