ඉතිහාසය, අර්ථය සහ අද යථාර්ථය…
මැයි 1 දිනය ලෝකය පුරා “කම්කරුවන්ගේ දිනය” ලෙස සැමරෙන්නේ සරල උත්සවයක් ලෙස නොව, දිගු කාලයක් පුරා සිදු වූ කම්කරු අරගලයක ජයග්‍රහණයක් ලෙසය.
සංගීත, රැලි සහ පෙරහැරවලින් පිරුණු මෙම දිනයේ සැබෑ අර්ථය වන්නේ රුධිරයෙන් ලියූ ඉතිහාසයක් මත ගොඩනඟාගත් සමාජ සාධාරණය පිළිබඳ මතකයකි.
එහෙත් අද අපට පෙනෙන්නේ, එම ගැඹුරු අර්ථය ක්‍රමයෙන් මැකී ගොස්, දේශපාලන බල ප්‍රදර්ශනයක් බවට පත්ව ඇති මැයි දිනයකි.
මැයි දිනය ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශ කරන ලද්දේ 1889 වසරේදීය. එය සිදුවූයේ ප්‍රංශයේ පැරිස් නගරයේ පැවති ජාත්‍යන්තර සමාජවාදී කම්කරු සම්මේලනයකදීය.
එහිදී ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලයක් ලෙස, මැයි 1 දිනය ලෝක කම්කරුවන්ගේ දිනය ලෙස ප්‍රකාශ විය.
මෙම තීරණය ගත් පසු, මැයි දිනය නව අර්ථයක් ලබා ගත්තේය. එය බලයට හිස නමා සිටින දිනයක් නොව, බලයට ප්‍රශ්න කරන දිනයක් බවට පත්වීමෙනි.
1886 වසරේ ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ සිදු වූ කම්කරු අරගල සහ හේමර්කට් චතුරස්‍රයේ සිද්ධීන් මෙහි මුල් ආරම්භයයි.
“පැය 8 වැඩ දිනය” සඳහා වූ අරගලය ලෝක කම්කරු ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් විය.
19 වන සියවසේ කාර්මික විප්ලවය සමයේ ලෝකය වේගයෙන් කාර්මීකරණය වෙමින් තිබුණි. නව කර්මාන්ත ශාලා, යන්ත්‍රෝපකරණ සහ නගර ජීවිතය වර්ධනය වුවත්, එහි බර ඉසුලුවේ සාමාන්‍ය කම්කරුවාය.
ඔහුට පැය 12-16 දක්වා දිගු වැඩ පැය, අඩු වැටුප්, සේවා ආරක්ෂාව නොමැති වීම සහ ළමා කම්කරු සේවය වැනි අසාධාරණතා යටතේ ජීවත්වීමට සිදු විය.
එම යුගයේ කම්කරුවා බොහෝවිට මනුෂ්‍යයකු ලෙස නොව, “වැඩ කරන යන්ත්‍රයක්” ලෙස සැලකුණි.
මෙවැනි අසාධාරණ තත්ත්වයන්ට එරෙහිව කම්කරුවන් එකමුතු වීම ආරම්භ කළ අරගලය. “පැය 8 වැඩ, පැය 8 විවේක, පැය 8 නිදාගැනීම” යන සටන් පාඨ මූලික විය.
1886 වසරේ ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ සිදු වූ කම්කරු අරගලයකම්කරුවන්ට
මෙම අරගලය ලෝක කම්කරු ව්‍යාපාරයට නව ශක්තියක් ලබාදුන් අතර, 1889 තීරණය ඒ අරගලවල සෘජු ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සමරා ඇත්තේ 1927 වසරේ දී ය.
කම්කරු ඉතිහාසයේ සඳහන්ව ඇති පරිදි මෙරට පළමු මැයි රැලිය ඒ. ඊ. ගුණසිංහ විසින් 1933 වසරේ දී පවත්වා ඇති අතර එහි පා ගමන කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටිය දක්වා ගොස් ඇත.
කම්කරුවන් එකමුතු කරමින් මෙරට කම්කරු ව්‍යාපාරයට නව ආරම්භයක් එහිදී ලබා දෙන ලදී.
1930-1970 කාලය තුළ වාමවාදී දේශපාලන ව්‍යාපාර සහ වෘත්තීය සමිති කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දැඩි අරගල සිදු කළහ.
එම අරගලවල ප්‍රතිඵලයක් ලෙස වැටුප් වැඩිවීම්, සේවා ආරක්ෂාව සහ කම්කරු නීති වැනි යම් ජයග්‍රහණ ලබා ගැනීමට වැඩ කරන ජනතාවට හැකි විය.
ඒ සමය තුළ මැයි දිනය සැබවින්ම වැඩ කරන ජනතාවගේ හඬ ප්‍රකාශ කරන වේදිකාවක් විය.
නමුත් නිදහසෙන් පසුව කම්කරු ව්‍යාපාරයේ ස්වභාවය ක්‍රමයෙන් වෙනස් විය. වෘත්තීය සමිති දේශපාලන පක්ෂවලට බැඳී ගිය අතර, කම්කරුවන්ගේ අරගල බොහෝවිට දේශපාලන අරමුණු සඳහා භාවිතා වීමට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස මැයි දිනය ක්‍රමයෙන් අයිතිවාසිකම් වෙනුවෙන් වූ දිනයක් වීමෙන් ඉවත්ව, බලය ප්‍රදර්ශනය කරන වේදිකාවක් බවට පත්විය.
අද ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව මුහුණ දෙන තත්ත්වය ඉතා සංකීර්ණ සහ දුෂ්කර එකකි. මැයි දිනයේ රැලි, කොඩි සහ වේදිකා තිබුණද, සැබෑ කම්කරුවා බොහෝවිට එහි පසුපස පමණක් සිටින අතර කම්කරු නායකයන් එය ඔවුන්ගේ කර ගෙන ඇත.
ආර්ථික පීඩනය කම්කරුවාගේ ජීවිතයේ ප්‍රධාන අභියෝගය වී ඇත. ආහාර, නිවාස, ප්‍රවාහන සහ සෞඛ්‍ය වියදම් ඉහළ යන අතර, වැටුප් වැඩිවීම් ඒ හා සමානව නොයෙදේ. එබැවින් කම්කරුවා වැඩ කරමින් සිටියද, ඔහුගේ ජීවන තත්ත්වය ස්ථිරව ඉදිරියට ගමන් කරන්නේ නැත. ඔවුන් දරිද්‍රතාවයෙන් සහ සමාජ පීඩනයෙන් දැඩි පීඩාවකට යටත්ව ඇත.
තවත් වැදගත් ගැටලුවක් වන්නේ අස්ථිර රැකියා ව්‍යුහයයි. කොන්ත්‍රාත් සේවා, දිනපතා වැටුප් රැකියා සහ ආර්ථිකය තුළ සේවා ආරක්ෂාවක් නොමැති වීම, විශ්‍රාම ආරක්ෂාවක් හෝ අනාගත ස්ථිරභාවයක් නොමැති බව තිව්‍ර වී ඇත.
මේ නිසා කම්කරුවාගේ ජීවිතය තවත් අවිනිශ්චිත වී ඇත.
වෘත්තීය සමිතිද බොහෝවිට දුර්වල වී ඇති අතර, සමහර අවස්ථාවලදී ඒවා දේශපාලන බලවේගවලට යටවී ඇත.
එමගින් කම්කරුවාට ස්වාධීන නියෝජනයක් අහිමි වී ඇත.
තරුණ පරපුරද මේ තත්ත්වයෙන් බරපතළ ලෙස බලපෑමට ලක්ව ඇත. ස්ථිර රැකියා අවස්ථා අඩුවීම, විදේශගත වීමට ඇති බලපෑම් සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය ඔවුන්ගේ ජීවිතයේ ප්‍රධාන අභියෝගයන් බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ දේශපාලන පසුබිම තුළ කම්කරුවාගේ භූමිකාව අද වන විට සෘජුවම නොව, සංකීර්ණ ලෙස භාවිතා වන, නියෝජනය වන සහ අවසානයේදී දේශපාලන අවශ්‍යතා අනුව පසෙකට තල්ලු කර දමන තත්ත්වයකට පත්ව ඇත.
බලයට පැමිණීමට පෙර කම්කරුවන්ගේ දුක්, අසාධාරණතා සහ පීඩාවන් ගැන උණුසුම්ව, දැඩිව සහ ජනප්‍රියව කතා කරන දේශපාලන පාර්ශ්ව, බලය ලබාගත් පසු එම සියලු පොරොන්දු ක්‍රමයෙන් නිශ්ශබ්ද කරමින්, ආර්ථික ගණනයන්, බලය රැකගැනීමේ උපාය මාර්ග සහ වෙළෙඳපොළ මූලික තීරණ හමුවේ කම්කරුවාගේ හඬ පසුබැසීමට ඉඩ හැර ඇති බව දැකිය හැක.
මෙය තනි පක්ෂයක ගැටලුවක් නොව, ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාම නැවත නැවතත් පෙනෙන දැඩි සහ කනගාටුදායක සත්‍යයකි.
වත්මන් ආණ්ඩු සම්බන්ධයෙන්ද විවේචන පවතින්නේ, ජනතා අරගල සහ පීඩිත පංතිය නියෝජනය කරමින් බලයට පැමිණි බව කියන පාර්ශ්ව පවා, බලය ලබාගත් පසු ආර්ථික ප්‍රතිපත්ති හා පාලන තීරණ තුළ වෙළෙඳපොළ මූලික සහ ධනවාදී ආකෘති වෙත ක්‍රමයෙන් වැඩි නැඹුරුවක් දක්වමින්, කම්කරුවා සහ පීඩිත පංතිය ප්‍රායෝගික තීරණ ගන්නා මධ්‍යස්ථානයෙන් ඉවතට තල්ලු කර දමන බවටය.
එමගින් කම්කරුවන් බලාපොරොත්තු වූ සමාජ සාධාරණය, ආර්ථික ආරක්ෂාව සහ ජීවන ගෞරවය බොහෝවිට සම්පූර්ණයෙන් නොලැබී යනු ඇත.
ඔවුන්ව නැවතත් පීඩිත තත්ත්වයකම රඳවා තබන දේශපාලන ආකෘතියක් නිර්මාණය වී ඇත.
කම්කරුවා වෙනුවට දේශපාලන වේදිකා, සංකේතාත්මක උත්සව සහ බල ප්‍රදර්ශන නිර්මාණය වී ඇත.
නමුත් එක් දෙයක් සඳහන් කළ යුතුය.
මැයි දිනය අහිමි වී නැත. නමුත් එහි මුල් අර්ථය, එහි රුධිරයෙන් ලියූ සත්‍යය සහ කම්කරුවාගේ මධ්‍යස්ථ භූමිකාව ක්‍රමයෙන් දුර්වල කරමින්, දේශපාලන හා ආර්ථික බලය විසින් පසෙකට තල්ලු කර ඇති යථාර්ථයක් අද අප ඉදිරියේ පවතී.
මැයි දිනයේදී කම්කරුවා කාගේ දිනයද යන්න තවමත් විවෘත ප්‍රශ්නයක් පමණක් නොව, එය ඉතිහාසය තුළ අහිමි වීමට ආසන්න අයිතියක් බවට පත්වෙමින් තිබෙන දැඩි අනතුරු ඇඟවීමකි. එය නැවත අරගලයකින් නොගත්තොත්, කම්කරුවාගේ නාමයෙන් පමණක් ඉතිරිවී යන සංකේතීය දිනයක් බවට පත්වීම අනිවාර්යයකි.
කම්කරුවා නැවතත් සමාජයේ මධ්‍යස්ථ බලය හා තීරණ ගන්නා බලවේගයේ සැබෑ හිමිකාරීත්වයට සහ ආර්ථික ප්‍රතිපත්ති නිර්ණය කරන මූලික ශක්තියට ගෙන එන තුරු, මැයි දිනය සත්‍යයෙන්ම “කම්කරුවන්ගේ දිනය” බවට පත්වන්නේ නැත” එය නැවතත් ජනතාව විසින් නොව, බලය විසින් නොව, කම්කරුවාගේ ජීවිතය විසින්ම නිර්ණය කරන සත්‍ය දිනයක්ම විය යුතු වේ.
තුසිත පෙරේරා
ලේකම් ජාතික සංවිධානය
කැඳවුම් කරු
ඒකාබද්ධ සිවිල් හා වෘත්තී සමිති එකමුතුව
ජාතික සංවිධායක
ලංකා ඉදිකිරීම් සේවක සම්මේලනය
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026