මුළු ලොව පුබුදු කරවන වෙසක් පුනු පොහොය සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ උත්තරීතර ආගමික දිනය වන අතර ලංකාවාසී සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම ජාතික දිනය ද වන්නේ ය. මේ මාසයට පොහොය දෙකක් යෙදී තිබෙන අතර වෙසක් මහෝත්සවය මහත් බැතියෙන් සමරනු ලබන්නේ ලබන තිස් වැනිදාට ය. මැයි මස 01 දින වෙසක් පුන් පොහෝ දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබුණු නමුත් එම දිනයේ දී විසා නැකැත නොයෙදෙන බැවින් වෙසක් පුන් පොහෝ දිනය ලෙස මැයි 30 යොදා ගැනීම සුදුසු බව ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා රජයට මීට පෙර දන්වා තිබිණි. එහෙත් සැබෑව නම් අදත් වෙසක් පොහෝ දිනයකි. ලෝකවාසී බෞද්ධ ජනතාව මේ වසරේ සමරනු ලබන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුණ්‍ය මහෝත්සවයයි. බුද්ධ කාලයටත් පෙර සිට (කාලය මැණීම සඳහා) පොහොය දිනය භාවිත කර තිබේ. එනම්, ස්වාභාවික කාලය මැන ගැනීමට භාවිතා කර ඇත්තේ පොහොයයි. සඳ ක්‍රම ක්‍රමයෙන් විශාල වී සම්පූර්ණ වී ඊට පසුව නැවත ක්‍රම ක්‍රමයෙන් කුඩා වී අන්තිමට ම සඳ නොපෙනී යයි. ඒ සඳ ගමන් කරන එක් රවුමකි. වටයකි. එවිට එම වටයේදී සඳ සම්පූර්ණයෙන් පෙනෙන දිනය හඳුනා ගැනීමට සතුන්ට ද හැකියාව ලැබේ. ඕනෑම ආගමක එම ආගමට විශේෂිත සිද්ධි සිදු වූ විශේෂ දින ඇත. බෞද්ධයා, බෝසත් උපතේ සිට මහාභිනික්මන, බුද්ධත්වය, පරිනිර්වාණය ආදී බුද්ධ චරිතයට අදාළ ඓතිහාසික සිදුවීම් ද මහින්දාගමනය, සංඝමිත්තා ගමනය ආදී ඓතිහාසික සිදුවීම් ද අනුස්මරණය කරයි. පොහොය ආගමික දින වශයෙන් කොතරම් දුරට තහවුරු වූවා දැයි කිවහොත් ශක්‍ර ආදී දෙවියන් පවා මනුෂ්‍යයන් පින් කරන හැටි බලන්නට පොහොය දිනයන්හි මිනිස් ලොවට පැමිණෙන සැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. දිනයෙන් පිරිසිදු වන සිල් බුද්ධාගමේ නැත. දිනයෙන් උසස් වන පින්කම් බුද්ධාගමයෙහි නැත. එහෙයින් පොහොය නො වන දිනයන්හි ද පන්සල් යෑමට, බණ ඇසීමට, සිල් සමාදන් වීමට කිසිදු බාධාවක් නැත. අවුරුදු දෙදහස් ගණනකට අධික කාලයක් මුළුල්ලෙහි ශ්‍රේෂ්ඨ බුද්ධධර්මය ආරක්ෂා කර ගත් උදාර ජාතියක් වශයෙන් මුළු ලෝකයෙන් ම සිංහලයාට අයත් වනුයේ විශාල ගෞරවයකි.
මෙරට සිංහල බෞද්ධයාගේ ආගමික භක්තිය ලොවටම ප්‍රකට වූයේ දින 07 ක් පුරා මෙරටදී පැවැත්වුණු ‘ඒහිපස්සිකෝ’ පා ගමන හරහා ය. වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු ඇමෙරිකානු භික්ෂුන් වහන්සේලා මෙරට පාගමනේ වඩින විට අපේ බෞද්ධයින් දැක්වූ සත්කාරය ඇසට කඳුළු උනන දසුනක් විය. මේ ගැන කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති ජාතික උත්සවයේදී පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ මෙලෙස සඳහන් කර තිබිණි. “අපි වර්ෂාව මැද ඇවිද ගියෙමු, දැඩි හිරු රශ්මිය මැද ඇවිද ගියෙමු, ශරීරයට මෙන්ම මනසට ද අභියෝගයක් වූ රළු තාර පාරවල් මත පාවහන් රහිතව ඇවිද ගියෙමු. එහෙත්, සෑම දුෂ්කරතාවකදීම මේ සුන්දර රටේ ජනතාව අප නොසලකා හැරියේ නැත. ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ දයාවෙනි. අපගේ මාවත සුවපහසු කිරීමටත්, වේදනාව සමනය කිරීමටත් පාරවල් පුරා ජලය ඉස, කෙසෙල් කොළ සහ මල් ඇතිරිලි අතුරා තිබිණි. ඔබ පෙන්වූ ගෞරවය, මුවඟ රැඳි සිනහව සහ විවෘතව ලබාදුන් රැකවරණය සැබෑ ශක්තිය කුමක්දැයි පෙන්වා දෙයි. සාමකාමී ජාතියක් යනු මෙවැන්නකි. මේ වෙනුවෙන් මගේත්, සාම පා ගමන් කණ්ඩායමේත්, මෙම ගමන අත්වින්ද සැමගේත් හෘදයාංගම ස්තුතිය පුද කරමි.” (උපුටනය අවසන්) එයින්ම මෙරට බෞද්ධයින්ගේ ශ්‍රද්ධාව ලොවේ පතල විය.
අපේ බෞද්ධ සභ්‍යත්වයට, බෞද්ධ සංස්කෘතියට, බෞද්ධ ශිෂ්ටාචාරයට, ආගමික ගුණධර්මවලට ජාතික හා ආගමික කලාවන්ට පණ දෙන එක ම දිනය වන්නේ වෙසක් පොහෝ දිනය බව අවිවාදිත ය. බෞද්ධයාගේ ශ්‍රද්ධා භක්තියත් කලාකාරයාගේ නිර්මාණ ශක්තියත් එකට එක් කරන මෙදින ලෝකයා ලබන නිරාමිස ප්‍රීතිය, සැනසිල්ල අන් කිසිදු දිනයක නොලබයි. ජාතියත් ආගමත් දෙක එකට අත්වැල් බැඳගෙන යම් උත්සවයක් ලෝකයේ ජාතීන් විසින් පවත්වනු ලැබේ නම් ඒ එක ම උත්සවය අපේ වැසියන් විසින් පවත්වනු ලබන වෙසක් උත්සවය යි.
මෙසේ අපමණ සැදැහෙන් සිහි කළ හැකි වැදගත්කම් රාශියකින් හෙබි පින්බර වෙසක් පුන්පොහෝ දින දෙවන පෑතිස් රජුගේ සමයේ සිට ම මහත් උත්සවාකාරයෙන් සැමරීම සිදුව ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. දුටුගැමුණු මහරජාණන් වෙසක් උත්සව විසි හතරකුත්, භාතිකාභය රජු වෙසක් උත්සව විසි අටකුත්, වසභ රජු වෙසක් උත්සව හතළිස් හතරකුත් පැවැත්වී ය. වෝහාරතිස්ස රජු, ගෝඨාභය රජු, ජෙට්ඨතිස්ස රජු, දළ මුගලන් රජු, දෙවන සේන රජු, මහ පැරකුම්බා රජු, දෙවන පැරකුම්බා රජු ආදී ශ්‍රද්ධා සම්පන්න රජවරු ද ඉතා මැනවින් වෙසක් උත්සවය සැමරූහ. එය වර්තමානයටත් පොදු ය. වෙසඟ සැමරීම බෞද්ධයාගේ අයිතියකි. එහෙත් එම සැමරුම උදාවන්නේ අද නොව එළැඹෙන පොහෝ දිනට ය. අපි සම්බුදු තෙමඟුලට සූදානම් වෙමු.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
සම්බුදු තෙමඟුලට සැරසෙමු