(අභිරහස් ලෙස මරණයට පත්වූ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂවරයකු වූ රංග රාජපක්‍ෂ මහතාගේ මිතුරකු වන ගාමිණී ඒකනායක මහතා සිය මුහුණු පොතේ තැබූ සටහනකි.)
“රංග මා හඳුනා ගත්තේ වර්ෂ 2000 දී ය. ඔහු නිහඬ ‘ගැමියෙක්ට්’ විය. ගැමියකු කියන්නේ, විවිධ සමාජ, දේශපාලන, ආර්ථික කාරණාවලින් විනාශ නොවුණු ඇගයුම, වටිනාකම රාශියක් ඔහු ආරක්ෂා කළ බැවිනි. විශ්වවිද්‍යාලයෙන් පසු 2007-04-03 වැනිදා සිට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරින් ලෙස අපි දෙදෙනා නැවත හමුවීමු. විශාල බදු ගෙවන්නන්ගේ අංශයේ (Large Tax Payers Unit) හි, දෙදෙනාම එකට සේවය කළෙමු. එහිදීත් ඔහු නිහඬ, වැඩකාරයෙක් විය. ඔහුගේ රාජකාරිය ඉතා පිරිසිදු විය. නිවැරදි විය. ඔහු අපේ සරසවියෙන්ම පැමිණි නවක නිලධාරින්ගෙන් පවා අසා විමසා ඉගෙන ගන්නට පසුබට නොවීය. අනික් අතට බොහෝ ආයතනවලින් පැමිණි බදු ගෙවන්නන්, තමාට අදාළ නිලධාරියා හමුවීමට පෙර රංගගෙන් කරුණු දැනගෙන යෑමට තරම්, කෙටි කාලයක් තුළ ඔහු විශ්වාසය දිනා ගත්තේය.
එයට ඔහුගේ කලබල නැති, නිවැරදි හා කාරුණික පැහැදිලි කිරීම් හා සේවයට කැපවීම හේතු විය.
2008-12-22 දින ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා (Sri Lanka Planning Service) තරග විභාගය සමත්ව, විධායක නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයට යළි එක් වූ රංග, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක ම නොකැළැල් කාර්යක්ෂම හා මහජන ප්‍රසාදය දිනාගත් නිලධාරියකු ලෙස කටයුතු කළේ ය.
කොරියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබ, සිය විද්‍යාපති උපාධිය ආර්ථික විද්‍යා විෂයෙන් සම්පූර්ණ කළ රංග මුදල් අමාත්‍යාංශයට එක් වී, පසුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (External Resources Department – ERD) අධ්‍යක්ෂවරයකු ලෙස උසස්වීම් ලැබුවේ වසර ගණනාවකට පෙර ය. ප්‍රස්තුත සිද්ධිය වූයේ කෙසේදැයි අපි නොදනිමු. හැක් කළේ ලංකාවේ පද්ධතියක්ද?, ඔස්ටේ්‍රලියානු සමාගමේ පද්ධතියදැයි අපි නොදනිමු. රංග හෝ වැඩ තහනමට ලක් වූ ඉතිරි නිලධාරීන් තුන්දෙනාගේ තනි මතයට මේ ගෙවීම් කළාය යන විහිළුව විශ්වාස කළ හැකිද? ලංකාවේ විදේශ ණය කළමනාකරණය කිරීමේ සංකීර්ණතාව ගැන අවම අවබෝධයක් හෝ තිබෙන කෙනෙක් මෙය විශ්වාස නොකරති.
සිදුව ඇත්තේ ආයතනික වරදකි. එයට නිලධාරින් කිහිපදෙනකු බිල්ලට දී තමන්ට ගැලවිය හැකි යැයි ඉහළ නිලධාරින් සිතුවා නම් එය වරදකි. ආයතනික සුබ සිද්ධිය හා පරීක්ෂණ වඩා විනිවිදභාවයකින් සිදු කිරීම සඳහා සියලු දෙනාගේ එකඟතාවයෙන්, වැඩ තහනම් කළ සිව්දෙනා සමග සාකච්ඡාවෙන් ගත් ක්‍රියාමාර්ගයක් වූයේ නම්, එයට එකඟව සමාව දිය හැකිව තිබුණි. එහෙත්, පෙනෙන්නට ඇති පරිදි, මේ සිව්දෙනා බිල්ලට දී බේරෙන්නට හැකි යැයි ඉහළ නිලධාරින් සිතුවා නම් එයට රංග ඉඩ තබා නැත.
ඔහු, මේ සිදුවීම පැමිණිලි කළේ ය. සිව් වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සාක්ෂි ලබා දුන්නේය. මැකුවා යැයි කියන තොරතුරු මකා දැමීමට ඔහුට ප්‍රවේශයන් නැත. එහෙත්, රංග සීඅයිඩි යට ගියේ නැත. තොරතුරු මකා දැමීමාය පුන පුනා කියමින් ඔප්පු කරගන්නට හදන්නේ මොනවාද?
රංග හොරකු හෝ කුමන්ත්‍රණකාරයකු නොවන බවට අංශුමාත්‍ර සැකයක් නැත. ආයතනික ක්‍රියාපටිපාටියේ වරදකට, ඔහු බිලි දුන්නාය කියන එක ගැනද බැලූ බැල්මට ම සත්‍යයකි. ඩොලර් මිලියන 2.5 ගැන කීමට යමක් නැත. එහෙත් රංගට යුක්තිය ඉටු විය යුතුය. එය රාජ්‍ය සේවයේ සුදුසුකම් සහිත, අවංක හා දක්ෂ නිලධාරීන් සියලු දෙනාට යුක්තිය ලැබීමකි.
ගාමිණී ඒකනායක
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
රංගට යුක්තිය ඉටුවිය යුතුය