පෞද්ගලික මුදලින් ලක්‍ෂ 15ක් වන්දි ගෙන්නැයි නියෝග
2022 වසරේ දී වාහනයකින් ගමන් කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකුට පහර දීමෙන් පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු උපපොලිස් පරීක්ෂකවරයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
එම තීන්දුව ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වග උත්තරකාර පොලිස් පරීක්ෂකවරුන් තිදෙනාට නියෝග කළේ, ඒ වෙනුවෙන් ප්‍රහාරයට ලක්වූ නිලධාරියාට රුපියල් ලක්ෂ 15ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බවට ය.
ඒ අනුව, මාරවිල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ මෙත්සිරි ප්‍රනාන්දු ගජනායක, පොලිස් මූලස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂක කුලතුංග හෙට්ටිආරච්චිගේ සමන්ත සහ අල්ලස් කොමිසමට අනුයුක්තව සිටි පොලිස් පරීක්ෂක නලින් ප්‍රසංග යන අය විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂ 05 බැගින් පෙත්සම්කරුට ගෙවිය යුතු බව ද තීන්දුවේ සඳහන් විය.
මෙම පහර දීමේ සිද්ධියෙන් පසුව පෙත්සම්කාර උපපොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට එවකට ගම්පහ සහකාර පොලිස් අධිකාරී එච්. ඩී. එස්. තුසිත කුමාර විසින් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත්, ඒ තුළින් ඔහු පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පෙත්සම්කරුට රුපියල් 50,000ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවනු ලැබිය යුතු බවට ද නියෝග කළේ ය.
ප්‍රහාරයට ලක්වූ ගම්පහ පොලිසියේ සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයකු වන ටී.එච්. චතුරංග දිසානායක ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026