සිරිසුමන ගොඩගේ මහතා මට මුල්වරට මුණගැසුණේ වසර 25 කට පෙර දිනක ‘දිවයින ඉරිදා සංග්‍රහය’ වෙනුවෙන් පැවති සම්මුඛ සාකච්ඡාවකදීය. අප යන විට බොහෝ පිරිසක් ඔහු හමුවීමට තම වාරය පැමිණෙන තෙක් බලා සිටියහ. විවිධ තරාතිරම්වල පුද්ගලයෝ ඒ අතර වූහ. ඒ සෑම කෙනෙකුගේම අතෙහි මුද්‍රණය කරගැනීමට ලියාගෙන ආ පොතක් විය. ගොඩගේ මහතා අප සමග කතා කරන්නේ ඒ අත්පිටපත් පෙරළා බලමිනි. ඇතැම් අත්පිටපතක ඇති අඩුපාඩු පෙන්වා ඒවා සකස් කර නැවත රැගෙන එන ලෙස පවසමින් ඔහු එහි සිය අත්සන තබයි. පොතක් ලියාගෙන ගොඩගේ මහතා වෙත පැමිණි ඒ සියලු දෙනා ආපසු ගියේ සතුටිනි.
ආධුනික, ප්‍රවීණ ලෙස ලේඛකයන් වර්ග නොකළ ගොඩගේ මහතා තමා හමුවට පැමිණි කිසිවකු අසතුටින් ආපසු යනු දැකීමට කැමති නොවීය.
“මම මාතර පාලටුවේ දුප්පත් පවුලක ඉපදිලා හුඟක් දුක්විඳලා මෙතෙන්ට ආපු කෙනෙක්.”
ව්‍යාපාරික ලෝකයේ ඉහළම පුටුවක හිඳගෙන ඔහු සිය ළමා කාලය සිහිපත් කළේය.
මාතර අකුරැස්ස පාරෙ නූපේ හන්දිය, හිත්තැටිය, ගොඩගම හන්දිය පසුකරනවාත් සමගම හමුවන්නේ පාලටුව වෙල්යායයි. මේ වෙල්යාය පසුකරනවාත් සමගම ගම්සභා පාරේ කෙළවර ඇත්තේ සිරිසුමන ගොඩගේ මහතා ඉපදුන, හැදුනු වැඩුණු ගෙදරයි. ඔහු උපන්නේ 1936 මැයි 18 වැනිදාය. ඔහුගේ ඉස්කෝලෙට දී තිබුණු නම සිරිසුමන වුවත් ගෙදරට කීවේ හින්නි පුතා කියාය. සිරිසුමන ගියේ පාලටුවේ රජයේ පාසලට ය. අද එය පාලටුවේ ගුණරත්න මධ්‍ය මහා විද්‍යාලය වී ඇත. දෙමාපියන් ඔහු බාලාංශ පන්තියට ඇතුළු කරනු ලැබුවේ 1942 දීය.
ගණිතයට විශේෂ හැකියාවක් සිරිසුමනට තිබුණේය. සිරිසුමන පාසල් යන්නටත් පන්සලේ සිටින්නටත් දැක්වූයේ දැඩි ඇල්මකි. ඔහුට මහණවෙන්නට වුවමනාවක් තිබුණ ද කිහිප වතාවක්ම වලිප්පුව හැදුනු නිසා ඒ අදහස මගහැරුණි. සිරිසුමනගේ පියා ගමේ විසූ අඳ ගොවියෙකි.
ගොවිතැන් පාළු වී බෝග ගංවතුරට හසුවී අස්වැන්න නැත්තටම නැති වී ගිය අවස්ථා එමටය. සිරිසුමන තීරණය කළේ ගෙදරින් පිටවී රස්සාවක් කරන්නටයි. ඒ වෙද්දී ඔහුට වයස අවුරුදු 15 කි. කළුතර කටුකුරුන්දේ හිත්තැටිය මුදලාලිගේ තේ කඩේ වැඩට ඔහු ආවේය. ගණන් හදන්නට කොලුවා තුළ තිබූ සමත්කම මුදලාලි හොඳට දැන සිටියේය. එහෙත් වැඩිකල් යන්නට මත්තෙන් තේ කඩේ රස්සාව එපා විය. වේලක් ඇර වේලක් කෑවත් ගෙදර හිඳීම ඔහුට සතුටක් බව දැනිණ. ඔහු ආපසු ගමට ගියේය. එහෙත් යළිත් වරක් ආර්ථික දුෂ්කරතා පෙනෙද්දී රස්සාවට කොළඹ එනවා යැයි සිතුවේය. වන්දනා නඩයක් එන වාහනයක නැගී තවත් මිතුරන් දෙදෙනකු සමග කොළඹ ආවේය. ඒ වෙද්දී ඔහුගේ වයස අවුරුදු 17 කි. රත්මලානේ චකින්දාරාමය පාරේ පිහිටි කිරි පට්ටියක රස්සාවකට ගියේය. එතැන සුරතල් සතුන් ද ඇතිකරන තැනකි. ඔහුට පළමුව පැවරුණේ සුරතල් මාළුන් ඇතිකරන ස්ථානයේ වැඩකටයුතු ය. එහෙත් ඔහුගේ දෛවය එතනදී විසඳුණේ නැත. ඔහු වරායේ වැඩකරන ඥාතියෙක් සොයාගෙන ගියේය. ඥාතියා කළුබෝවිල පදිංචි වී සිටි අතර සිරිසුමනට ඔහුගේ ගෙදර නවාතැන් ලැබිණි. මේ අතරවාරයේ දවසක සිරිසුමන තරුණයා අත්කරත්තයක දර පටවාගෙන යමින් සිටි අයෙකු දුටුවේය. ඔහු තමාගේ තාත්තාගේ හැඩරුව ඇති තැනැත්තෙකි. මේ නම් තමා නුදුටු බාප්පාම යැයි ඔහුට සිතුණි. හැඩරුව ඒවගේමය. ඔහු තම තාත්තාගේ විස්තර කී පසුව එය සැබෑවක්ම විය. එතැන් පටන් සිරිසුමන බාප්පාගේ ගෙදර පදිංචි විය. කරත්තයේ පොල් පටවාගෙන ගොස් අලෙවි කිරීම ඔහුගෙත් බාප්පාගේත් රාජකාරිය විය. මේ කාලයේ බාප්පාට පුතාට අලුත් වැඩක් සොයා දුන්නේය. ඒ විජේසේකර මුද්‍රණාලය අයිතිකරු පොත් අච්චු ගැසීම සඳහා අකුරු මිලයට ගන්නා දෙමටගොඩ පිහිටි එන්. ජේ. කුරේ සමාගමේ අකුරු හැදීමේ වැඩට යොමු කිරීමයි. එහි වැඩට ගිය පසු ඔහුට අභිධර්මය ඉගෙන ගන්නත් වියත් භික්ෂූන් වහන්සේලාගේ ඇසුර ලබන්නටත් මග පෑදිණි. මේ කාලයේ වැසී තිබුණු ශාස්ත්‍ර ඥානය යළි එළිපෙහෙලි වන බව ඔහුට පසක් විය.
එතැනින් බාප්පා ඔහුට තවත් වැඩක් සොයා දුන්නේය. ඒ, ඩී. පී. දොඩන්ගොඩ සමාගමේ පොත් මුද්‍රණාලයේ වැඩයි. දවසකට සත විසිපහක් ඔහුට ලැබුණි. එහෙත් සමාගමේ ඇතිවූ වැඩ වර්ජනයක් සමග ගොඩගේ තරුණයාට එම රස්සාව අහිමි විය. පොත් බැඳීම ගැන ඔහුට හොඳ පුහුණුවක් ලැබී තිබුණි. සිරිසුමන එවර තනියම වැඩ පටන් ගත්තේය. පානදුරේ ගොරකානේ කාමරයක් කුලියට ගෙන එහි පොත් බඳින්නට පටන් ගත්තේය. එයින් ඒ හැටි ආදායමක් නොලැබුණු අතර ඔහු සමරු පොත්, ඇල්බම් ආදිය හදා කොළඹ සාප්පු ගාණේ ඒවා විකුණන්නට ගියේය. ඔය අතරේ මරදානේ ස්ටුඩන්ට් ප්‍රෙස් වෙතින් තවදුරටත් මුද්‍රණ ශිල්පය ප්‍රගුණ කළේය. ශිල්පීය ඥානයෙන් මුවහත් වෙද්දී ඔහු උපයන සෑම සතයක්ම මනාව කළමනාකරණය කළේය. මෙසේ අමාරුවෙන් ඉතුරු කරගත් මුදලෙන් තවත් මිතුරකු සමග හවුලේ පොත් බැඳීමේ ව්‍යාපාරයක් පටන්ගත්තේය. ඒත් ඔහුගෙන් ව්‍යාපාරයේ හවුල හැටියට ලැබුණු මුදල කෑමබීමටවත් ප්‍රමාණවත් නොවීය.
මෙවර ඔහු තනිවම විද්‍යෝදය පිරිවෙනට ගොස් කාමරවල නැවතී ඉගෙනගන්නා ස්වාමීන් වහන්සේලාගේ පොත් බැඳ දුන්නේය. ඔහුගේ ක්‍රියාකලාපයත් සංසුන් ඇවතුම් පැවතුමත් නිසා බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියෝ ඔහුට මගක් පාදා දුන්හ. ඒ විශ්වවිද්‍යාලයේ පොත් බැඳීමේ කටයුතුය. එවර නම් සිරිසුමනට හිතට සහනයක් දැනෙන්නට විය. ඔහු තනිවම ආරම්භ කළත් කලක් යද්දී ගමේ සහෝදරයන් ද එකතු විය. පොත් බැඳීමෙන් ලැබුණු ආදායම රුපියල් හත්අටසීයක් වූ අතර සිරිසුමනගේ ජය මාවත ආරම්භ වූයේ එතැන් සිටය.
ඔහුගේ පොත් බැඳීම දිගටම කළත් බොහෝ ලේඛකයන් කැමති වූයේ නමක් ඇති ප්‍රකාශකයින් ලවා පොත් බඳවාගන්නටයි. මෙහිදීත් ඔහුට කෙනෙක් උදව් කළේය. ඒ ගමේ තම අල්ලපු නිවසේ සිටි ප්‍රභූ පවුලක දරුවෙකි. ඔහු නම් මහින්ද රාජපක්ෂ ය. මහින්ද රාජපක්ෂ එවකට විද්‍යෝදය සරසවියේ පුස්තකාල සහකාර හැටියට සිටියදී පුස්තකාලයේ බැඳීමට ඇති පොත් පෙන්වා “ඔන්න ඔය පොත් පොතේ ලියල අරන් පලයන්” කියා ගොඩගේට කියයි. නිසි අනුමැතිය සහිතව මේවා ලබාගෙන පොත් බැඳදෙන්නට ගොඩගේට හොඳ අවස්ථාවක් ලැබුණි. මුද්‍රණයට ගොඩගේ යොමුවන්නේ මෙයින් පසුවය.
මරදානේ පර්චස් දෙකකින් පොත් මුද්‍රණාලය ඇරඹුණේ හතරදෙනකුගෙනි. එය දිනෙන් දින දියුණුවට පත්වී පොත් මැඳුරක් බවට පත්වන විට පොත් මුද්‍රණාලයේ මුදලාලි පොත් මැඳුරේ අධිපති දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතා බවට පත්විය.
මනුස්සකම, හිතහොඳකම, ළෙන්ගතුකම ආදී ව්‍යාපාරිකයින් බොහෝ දෙනා ළඟ නැති ලක්ෂණ රැසක් ගොඩගේ මහතා තුළ විය.
විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා දැනට අවුරුදු 25 කට පමණ පෙර කළ ජපානයේ නාගසාකි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන සහ කළමනාකාර අධ්‍යයන අංශයේ ශාස්ත්‍රීය සංග්‍රහයට සැපයූ නිබන්ධනය වූයේ ලංකාවේ සිරිසුමන ගොඩගේ මහතාගේ ජීවිත කතාවයි. එහි ලා ලේ රෝයි රොබින්සන් මහාචාර්යවරයා සමග කළ සාකච්ඡාවේ
ගොඩගේ මහතා හැඳින්වූයේ ශ්‍රී ලාංකික හොර්ශලෝ ඇල්ගර් යන පදයෙනි. එය ලෝ පුරා කීර්තිය යසස පැතිරූ කීර්තිමත් චින්තනය ගෙනෙන වහරකි.
මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා පවසන්නේ මේ දේශයේ දිළින්දාගේ දුක ගැන මනාව දන්නා මේ ප්‍රකාශකයා බිහි කර ඇති අපේක්ෂා සංකේතය ගරු සම්මානයට පාත්‍ර වීම සිදුවන්නා වූ මේ අවස්ථාවේ අප බොහෝ දෙනා නොදන්නා කරුණු එළිදරව් කරනු වස් මෙවැනි ජීවිත කතාවක් එළිදැක්වීම ජාතික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් ද වැදගත් වන බවයි.
ලේඛකයින්ගේ පොත් දහස් ගණනක් පළ කළ ගොඩගේ මහතා වෙනුවෙන් ලේඛකයින්ද පොත් ගණනාවක් ලියා පළ කර තිබේ. එය ගොඩගේ මහතා සිදුකළ දැවැන්ත සමාජ ශාස්ත්‍රීය සේවාවට කෘතගුණ සැලකීමකි. නිල්වලා ගඟබඩ කෙම්බිම යන නමින් වයි. ආර්. ද සිල්වා මහතා ලියා ඇති
ගොඩගේ මහතාගේ ජීවිත කතාව පිටු 286 කින් සමන්විතය. එහි පෙරවදනේ මෙසේ සඳහන් කර ඇත. “නිල්වලා ගඟ බඩ කෙම්බිම සම්පාදනය කළෙමි. හොඳකම, මිනිස්කම, සත්පුරුෂබව, තමා ගැන මෙන්ම අන් අය දැකිය හැකි බව, ඔවුන්ගේ දුකට අවංකව පිහිට වීමේ මහඟු ගුණාංගයෙන් පිරි ගොඩගේ මහතා දෙවියකු බඳු මිනිසෙකි. මා එතුමාගේ පොත් මැඳුරෙන් එකදු පොතක් මුද්‍රණය කර හෝ ප්‍රකාශ කර නැත.
අනේකවිධ හිතවතුන් ඥාතීන් මිතුරන් ඇසුරු කර ඇති මා ගොඩගේ පින්වතා දකින්නේ සුවිශේෂ පුද්ගලයකු ලෙසය. එතුමා සැබැවින්ම කෘතපුණ්‍ය වාසනාව ලද්දෙකි. බොහෝදෙනා අනුන්ගේ ගුණ වයන්නේ යම් ලාභ ප්‍රයෝජනයක් ලබාගැනීමටයි. අවශ්‍යතාවයක් ඇතිවූ විටයි. එවැනි ගුණ වැනුම් කොතරම් දුරට අවංක වන්නේදැයි ප්‍රශ්නයකි. එහෙත් එය අවංකව කෙරෙන්නේ නම් ගුණවනන්නාත් ගුණවන්තයාත් ලබන්නේ දිව්‍යමය ප්‍රීතියකි.”
ගොඩගේ පොත් මැඳුරට පැමිණ සිරිසුමන ගොඩගේ මහතා මුණගැසී කතා බහ කළ සෑම කෙනෙකුගේම පොදු අත්දැකීම මෙයයි. පාසල් සිසුන්, පොත් ලියන විවිධ රැකියාවන්හි නියුතු වූවන් මෙන්ම රාජකීය පණ්ඩිත මහනාහිමිවරුන්, මහා සාහිත්‍යධරයන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ ඉහළ දේශපාලනඥයින් ද ඒ පිරිස අතර වූහ.
වර්තමාන ගොඩගේ පොත් මැඳුර මේ සෑම කෙනෙකු අතින්ම ලියැවුණු පොතපතින් පිරී තිබේ. සියගණනක් වන ශබ්දකෝෂ, විශ්වකෝෂ, ශාස්ත්‍රීය ග්‍රන්ථවලින් සහ බෞද්ධ හා අන්‍යාගමික පත පොතින් පිරුණු පොත් මැඳුර ධර්ම භාණ්ඩාගාරයක් බඳුය. ග්‍රන්ථ ප්‍රකාශනයෙන් නොනැවතුණු ගොඩගේ මහතා අපේ රටේ සිංහල දෙමළ ජාතීන් අතර සමගිය ගොඩනැගීම වෙනුවෙන් ද විශාල කාර්යභාරයක් ඉටු කළේය.
අපේ රටේ පොත් ප්‍රකාශන ව්‍යාපාරයේ මුදුනටම නැගුණු ගොඩගේ මහතා පොත් ප්‍රකාශන ව්‍යාපාරයෙන් ලැබූ ආදායමෙන් කිසිදු භෞතික සැප සම්පතක් ළඟා කර ගත්තේ නැත. ඔහුගේ එකම අපේක්ෂාව වූයේ ජනතාවට කියවීමට හොඳ පොතක් ලබාදීමය.
ග්‍රන්ථ ප්‍රකාශනයෙහි මෙන්ම ධර්ම ග්‍රන්ථ සම්පාදනයෙහි ද නියැලුණු ගොඩගේ මහතා සිය ජීවිතය පිළිබඳ තබා ඇති කෙටි සටහනකි මේ.
“මගේ ජීවිතයේ සාහිත්‍ය සේවාවකට වඩා යමක් මට කළ නොහැක. මගේ ජීවිතයේ මා කළ හැම දෙයකටම අපේ රටින්ද, ජාත්‍යන්තරව ද ලැබී ඇති ගරු බුහුමන් මා සිතුවාටත් වැඩිය. මේ හැම දෙයම ගැන මට ඇත්තේ සතුටකි. ජීවිතය ගඟක් මෙන් හෙමින් ගලන්නේය. ලැබෙන ජීවිතයට ගෞරව කරමින්, එයට පිටුනොපා ඉදිරියටම ඒමේ ප්‍රතිඵලය දෙස බලා, මා අද සතුටු වන්නේ, අනික් මිනිසුන් බොහෝ දෙනෙකුට ද මා ලබන්නා වූ මේ සතුට මට හැකි ප්‍රමාණයෙන් ලබාදීමට ද මේ නිසාම මට පුළුවන් වූ නිසාය.
මා හෙට හෝ කවර දිනකදී හෝ මියෙනු ඇත. එහෙත් මටත් නොදැනී මා ගොඩනගා ඇති පොත් මැඳුරෙත්, හැම තැනම දකින පොත් පත් හා උගතුන් ලේඛකයින්, විද්වතුන් නිසා ලොවට ලැබෙන ශාන්තිය, සතුට සහනය මුසුවූ ආනන්දජනක ප්‍රඥාවෙනුත් මෝහන්ධකාරය නමැති ඝන තිමිර පටලය දුරුවන්නේ නම්, එවන් පින්කමකට මා ද හවුල්කරුවකු යැයි සිතිම මොනතරම් සුවයක්ද?”
ලොව උතුම්ම දානය ලෙස බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ධර්ම දානය ඉහළින්ම සපුරාගෙන සුපේෂල ශික්ෂාකාමී උදාර ජීවිතයක් ගතකළ සිරිසුමන ගොඩගේ මහතා අවසන් ගමනට සූදානම් වූයේ ද සිය දියණිය විසින් නවීකරණයෙන් හා නව තාක්ෂණයෙන් අලංකෘත කළ තුන් මහලෙන් සැදි ගොඩගේ පොත් මැඳුර දෙස බලා උපදවා ගත් චිත්තප්‍රීතියෙන් යුතුව ය.
● පාලිත සේනානායක
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026