1975 දී මිලෝෂ් ෆෝමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු මනෝවිද්‍යාත්මක හාස්‍ය චිත්‍රපටයක් වන One Flew Over the Cuckoo’s Nest 1962 දී කෙන් කේසි විසින් එම නමින්ම රචිත නවකතාව පාදක කරගනිමින් නිර්මාණය කරන ලදී. චිත්‍රපටය 1975 නොවැම්බර් 19 වන දින තිරගත විය. මහත් විචාරක පැසසුමට ලක් වූ එය විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් විසින් මෙතෙක් නිර්මාණය කරන ලද ශ්‍රේෂ්ඨතම චිත්‍රපටවලින් එකක් ලෙස නම් කරන ලද්දේය.

ප්‍රධාන ඇකඩමි සම්මාන පහම (හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂ සහ හොඳම තිර රචනය) දිනා ගත් චිත්‍රපට තුනෙන් දෙවැන්න වන්නේ මෙයයි. එසේම එය ගෝල්ඩන් ග්ලෝබ් සහ BAFTA ආදී උළෙලහිදී සම්මාන රාශියක් දිනා ගත්තේය. 1993 දී, මෙම චිත්‍රපටය එක්සත් ජනපද කොංග්‍රස් පුස්තකාලය විසින් “සංස්කෘතිකව, ඓතිහාසිකව හෝ සෞන්දර්යාත්මකව වැදගත්” ලෙස සලකනු ලැබූ අතර ජාතික චිත්‍රපට ලේඛනයේ සංරක්ෂණය සඳහා තෝරා ගන්නා ලදී. ඊට අමතරව, One Flew Over the Cuckoo’s Nest චිත්‍රපටය 2007 දී ඇමරිකානු චිත්‍රපට ආයතනයේ යාවත්කාලීන කරන ලද “වසර සියයක විශිෂ්ට චිත්‍රපට 100” ලැයිස්තුවේ 33 වන ස්ථානයට පත්විය.

මානසික රෝහලක සිදුවන අධිපතිවාදයට එරෙහිව රෝගීන් විසින් මෙහෙයවන කැරැල්ලක් පිළිබඳව වූ One Flew Over the Cuckoo’s Nest චිත්‍රපටයේ ජැක් නිකල්සන් මානසික රෝහලට පැමිණෙන නව රෝගියකු වන මැක් මර්ෆි ලෙසත්, ලුයිස් ෆ්ලෙචර් ප්‍රධාන හෙදිය ලෙසත් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වේ. විල් සැම්ප්සන්, ඩැනී ඩිවිටෝ, සිඩ්නි ලැසික්, විලියම් රෙඩ්ෆීල්ඩ්, ක්‍රිස්ටෝපර් ලොයිඩ් සහ බ්‍රැඩ් ඩවුරිෆ් සහාය චරිත නිරූපණය කරති. මෙය ඩැනී ඩිවිටෝගේ ප්‍රථම සිනමා රංගනය වන අතර විල් සැම්ප්සන් මීට පෙර කිසි දිනෙක කිසිවකට රංගනයෙන් දායක වී තිබුණේ නැත.

1975 ජනවාරි මාසයේදී ආරම්භ වූ රූගත කිරීම් ඔරිගන්හි සේලම් අවට ප්‍රදේශයේ සහ උතුරු ඔරිගන් වෙරළ තීරයේ ඩිපෝ බොක්කෙහි මාස තුනක් පුරා පැවතුනි. චිත්‍රපටය රූගත කරන ලද ප්‍රධාන පසුතලය වන මානසික රෝහල වූයේ සැබෑ මනෝ චිකිත්සක රෝහලක් වන ඔරිගන් ප්‍රාන්ත රෝහලය. එය නවකතාවේ එන රෝහලම විය. චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ සෝල් සීන්ට් හා මයිකල් ඩග්ලස් විසිනි. මයිකල් ඩග්ලස් යනු ප්‍රකට අමෙරිකානු රංගන ශිල්පියකු හා නිෂ්පාදකවරයකු වන කර්ක් ඩග්ලස්ගේ පුත්‍රයා ය.

කර්ක්, චිත්‍රපටයේ මර්ෆිගේ චරිතය රඟපෑම පිණිස ඉල්ලීමක් ඉදිරිපත් කළේය. කෙසේ වෙතත්, අධ්‍යක්ෂ ෆෝර්මන් තීරණය කළේ කර්ක් ඩග්ලස් එම චරිතය පිණිස වයසින් වැඩි බව ය. ජීන් හැක්මන්, ජේම්ස් කාන්, මාලන් බ්‍රැන්ඩෝ සහ බර්ට් රෙනෝල්ඩ්ස් යන සියල්ලන්ම මැක් මර්ෆිගේ චරිතය සඳහා සලකා බලන ලදී. ෆෝමන්ගේ පළමු තේරීම රෙනෝල්ඩ්ස් විය. එසේ වුවද එම රංගන ශිල්පීන් සතරදෙනාම මර්ෆි චරිතය රඟපෑම ප්‍රතික්ෂේප කළ අතර අවසානයේ තෝරා

ගන්නා ලද්දේ 37 හැවිරිදි ජැක් නිකල්සන් ය.

නිකල්සන් මීට පෙර මෙවැනි චරිතයක් රඟපා නොතිබූ හෙයින් ඒ සඳහා මහත් වෙහෙසව චරිතය අධ්‍යයනය කළ බව වාර්තා වී තිබේ. ඔහු චරිතය සඳහා සූදානම් වීමට විද්‍යුත් කම්පන චිකිත්සාව නැරඹීමට ගිය අතර එම ප්‍රතිකාරය ලැබූ රෝගීන් හමුවී ඔවුන් හා කතාබහ කර එම අත්දැකීම අධ්‍යයනය කළ බව සඳහන්ය.

අනෙක් ප්‍රධාන චරිතය වන නර්ස් රැචඩ්ගේ චරිතය නිරූපණය කිරීමට සලකා බැලූ නිළියන් අතර ජීන් මොරෝ, ඇන්ජෙලා ලැන්ස්බරි, කොලීන් ඩිව්හර්ස්ට්, ජෙරල්ඩින් පේජ්, එලන් බර්ස්ටින්, ඈන් බැන්ක්‍රොෆ්ට් සහ ජේන් ෆොන්ඩා යන ප්‍රවීණ නිළියන්ද විය. අවසානයේ චිත්‍රපටයේ සහය චරිතයක් සඳහා තෝරා ගෙන සිටි ලුයිස් ෆ්ලෙචර්, නර්ස් රැචඩ්ගේ චරිතය පිණිස තෝරා ගන්නා ලද්දේය.

විනාඩි 135 ක ධාවන කාලයක් වූ One Flew Over the Cuckoo’s Nest චිත්‍රපටය නිෂ්පාදනය පිණිස වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 4.4 ක් පමණ විය. එය ලොව පුරා ඩොලර් මිලියන 163.3 ක ආදායමක් ඉපැයීමට සමත් විය.

ජැක් නිකල්සන්ගේ රංගනය විචාරකයන්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ මහත් පැසසුමට ලක් විය. උමතු රෝගියකු ලෙස වූ ඔහුගේ ප්‍රතිභාන්විත රංගනය ලොව පුරා බොහෝ රංගන පාඨමාලාවන්හි අධ්‍යයනය පිණිස යොදා ගන්නා බව වාර්තා වී තිබේ. One Flew Over the Cuckoo’s Nest චිත්‍රපටය ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහාය නළුවා (බ්‍රැඩ් ඩොරිෆ්), හොඳම තිර රචනය, හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය හා හොඳම සංගීතය යන අංශ 09 ක් සඳහා නිර්දේශ වූ අතර හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය හා හොඳම තිර රචනය සඳහා වූ සම්මාන 5 ක් දිනාගන්නා ලද්දේය. බොඩිල් උළෙලේදී හොඳම චිත්‍රපටය හා හොඳම යුරෝපීය නොවන චිත්‍රපටය සඳහා වූ සම්මාන ද්විත්වයම හිමි විය. බි්‍රතාන්‍ය ඇකඩමි සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහාය නළුවා (බ්‍රැඩ් ඩොරිෆ්) හා හොඳම සංස්කරණය යන සම්මාන දිනා ගත්තේය. එසේම ගෝල්ඩන් ස්ක්‍රීන් අවෝර්ඩ් සම්මානය හා හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය හා හොඳම නැගී එන නළුවා (බ්‍රැඩ් ඩොරිෆ්) යන ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයන් හිමි කර ගත්තේය. එසේම One Flew Over the Cuckoo’s Nest ලොව පුරා බොහෝ සම්මාන උළෙලහිදී ඇගැයුමට හා සම්මානයන්ට පාත්‍ර විය.