කෙන්සබුරෝ ඕඒ 1935 දී ජපානයේ ෂිකෝකු දූපතේ කුඩා ගම්මානයක උපත ලැබීය. අධිරාජ්‍යයා දෙවියකු බව විශ්වාස කිරීම ඔහු හැදී වැඩුණු ගම්මානයේ ඇදහිල්ලක් විය. ඔහු පවසන්නේ 1945 දී ජපානයේ යටත් වීම ගුවන් විදුලියෙන් නිවේදනය කරන විට අධිරාජයා සාමාන්‍ය මිනිසකු බව දැනගත් විට තමන් කම්පනයට පත් වූ බවත්ය.

1994 දී කෙන්සබුරෝ සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය පිළිගත් නමුත් ජපානයේ ඉහළම කලාත්මක ගෞරවය වන ඕඩ් ඔෆ් ස්ටිචර් ත්‍යාගය ප්‍රතික්ෂේප කළේය. මෙම තීරණය ඔහුව ජාතික වශයෙන් මතභේදයට තුඩු දුන් චරිතයක් බවට පත් කෙරිණි. ඔහුගේ මුල් කෘතිය වන “සෙවන්ටීන්” (1961), දක්ෂිණාංශික ශිෂ්‍යයකු විසින් සමාජවාදී පක්ෂ නායකයකු ඝාතනය කිරීම පිළිබඳ කතාවක් විය. මෙම නවකතාව, අධිරාජ්‍යයේ උරුමය අවමානයට ලක් කළ දක්ෂිණාංශික අන්තවාදීන්ගෙන් සහ එය ත්‍රස්තවාදියකු වෙනුවෙන් පෙනී සිටින බව හැඟුණු වාමාංශික බුද්ධිමතුන් සහ කලාකරුවන්ගේ යන ප්‍රතිවිරුද්ධ විවේචන දෙකටම ලක් විය.

කෙන්සබුරෝ වඩා නැඹුරු වූයේ හිරෝෂිමා පරමාණු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්, ඔකිනාවා ජනතාවගේ අරගල, ආබාධිතයන්ගේ අභියෝග, ශාස්ත්‍රීය ජීවිතයේ විනය වැනි විෂයයන් ගැන ලිවීමට ය.

ඔහුගේ බිරිඳ යුකාරි විසින් නිර්මාණය කරන ලද බටහිර විලාසිතාවේ නිවස, අකිරා කුරොසාවා සහ ටොෂිරෝ මිෆූන් වරක් ජීවත් වූ ටෝකියෝවට තදාසන්න ප්‍රදේශයේම ලිලී මල්, මේපල් ගස් සහ විවිධ රෝස මල් වර්ග සියයකට වඩා බහුල උද්‍යානයක සැඟව පිහිටා ඇත. ඔවුන්ගේ බාල පුතා සහ දියණිය විවාහකව වෙන්ව ජීවත් වන විට, කෙන්සබුරෝ සහ යුකාරි ඔවුන්ගේ මානසික ආබාධිත පුත් හිකාරි සමග ජීවත් වෙති.

“ලේඛකයා කරන්නේ විකටයෙකුගේ රැකියාවයි, ශෝකය ගැන කතා කරන විකටයකුගේ රැකියාව” කෙන්සබුරෝ පවසයි. තම ආබාධිත දරුවාගේ උපත සමග එකඟ වීමට පියෙකු ගත් උත්සාහය විස්තර කරන A Personal Matter (1964) සහ පශ්චාත් යුද සමයේ ජපානයේ ගැමි ජීවිතය සහ නූතන සංස්කෘතිය අතර

ගැටුම නිරූපණය කරන The Silent Cry (1967) හා Aghwee the Sky Monster (1964), Teach Us to Outgrow Our Madness

(1969), The Pinch Runner Memorandum (1976), Rouse Up O Young Men of the New Ageæ (1986), සහ A Quiet Life (1990) වැනි නවකතා සහ කථා ඔහුගේ නිර්මාණ කාර්යයන්ට ඇතුළත් වේ.

ඔවුන්ගේ වැඩිමල් පුතු වන හිකාරි උපත ලබන විට, උපතේදීම මොළයේ හර්නියා රෝගයක් ඇති බව හඳුනා ගන්නා ලදී. දිගු හා අවදානම් සහිත සැත්කමකින් පසු, වෛද්‍යවරු කෙන්සබුරෝ යුවළට පැවසුවේ හිකාරි දැඩි ලෙස ආබාධිත වන බවයි. තම දරුවා සමාජයෙන් නෙරපා හැරෙන බව කෙන්සබුරෝ දැන සිටියේය – ආබාධිත දරුවකු ප්‍රසිද්ධියේ පිටතට ගෙන යාම පවා ලැජ්ජාවක් ලෙස සලකනු ලැබීය – නමුත් ඔහු සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ නව ජීවිතය වැළඳගෙන තිබේ.

වරක් ඔබ, ඔබව අරාජිකවාදියකු ලෙස හැඳින්වූවා. ඔබ තවමත් එම මතයේ සිටිනවාද?

ප්‍රතිපත්තිමය වශයෙන්, මම අරාජිකවාදියෙක්. කර්ට් වොනෙගට් වරක් පැවසුවේ ඔහු යේසුස් ක්‍රිස්තුස්ට ගරු කරන Agnostic වරයකු බවයි – Agnostic – අඥෙයවාදියා/නාස්තික දෘෂ්ටිකයා-මලලසේකර ශබ්ද කෝෂය (පරිවර්තක) මම ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන අරාජිකවාදියෙක්.

ඔබේ දේශපාලන ක්‍රියාකාරිත්වය ඔබව කවදා හෝ කරදරයකට ඇද දමා තිබේද?

මට ඔකිනාවා සටහන් කෘතිය සඳහා, අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පවරා තිබෙනවා. දෙවන ලෝක යුද්ධයේ මගේ වැදගත්ම මතකයන් වන්නේ 1945 දී පරමාණු බෝම්බය සහ ඔකිනාවා සමූහ සියදිවි නසාගැනීම්. ඔකිනාවා සටන අතරතුර, ජපන් හමුදාව ඔකිනාවාවලින් ඔබ්බට කුඩා දූපත් දෙකක ජනතාවට සියදිවි නසා ගැනීමට නියෝග කළා. ඇමරිකානුවන් කොතරම් කුරිරුද යත් ඔවුන් කාන්තාවන් දූෂණය කර පිරිමින් මරා දමන බව ජපාන හමුදාව ඔවුන්ට පැවසුවා. ඇමරිකානුවන් ගොඩබැසීමට පෙර තමන් සිය දිවි නසා ගැනීම වඩා හොඳ යැයි ඔවුන් පැවසුවා. ජපාන හමුදාව සෑම පවුලකටම අත්බෝම්බ දෙකක් ලබා දී තිබෙනවා. ඇමරිකානුවන් ගොඩ බැස්ස දිනයේ පන්සියයකට අධික පිරිසක් සියදිවි නසා ගත්තා.

දූපතේ ස්ථානගත කර තිබූ ආරක්ෂක හමුදා නායකයා එම මරණ සඳහා වගකිව යුතු බව මම තර්ක කළා. ඔකිනාවා සටහන් ප්‍රකාශයට පත් කරන ලද්දේ වසර හතළිහකට පමණ පෙරයි. නමුත් වසර දහයකට පමණ පෙර ආරම්භ වූ ජාතිකවාදී ව්‍යාපාරයක් එය විසිවන සියවසේ මුල් භාගයේදී ජපානය ආසියාවේ සිදු කළ කුරිරුකම්, එනම් නැන්ජින් සංහාරය සහ ඔකිනාවා සියදිවි නසාගැනීම් පිළිබඳ සඳහන මකා දැමීම සඳහා ඉතිහාස පෙළපොත් සංශෝධනය කිරීමට උත්සාහ කරනවා. ඔකිනාවා හි ජපන් අපරාධ පිළිබඳව බොහෝ පොත් ප්‍රකාශයට පත් කර තිබෙන නමුත් මගේ පොත තවමත් මුද්‍රණය කර ඇති ස්වල්පයෙන් එකක්. කොන්සර්වේටිව් කණ්ඩායමට ඉලක්කයක් අවශ්‍ය වූ අතර, එම ඉලක්කය බවට පත් වූයේ මම. හැත්තෑව දශකයේ පොත ප්‍රකාශයට පත් කළ කාලය හා සසඳන විට, මට එරෙහි වත්මන් දක්ෂිණාංශික ප්‍රහාරය වඩාත් ජාතිවාදී බව පෙනෙනවා. එය අධිරාජ්‍ය නමස්කාරයේ නැවත නැඟිටීමේ කොටසක්. ඔවුන් පවසන්නේ දූපත්වල ජනතාව අධිරාජ්‍යයා කෙරෙහි ඇති පිරිසිදු දේශප්‍රේමී හැඟීමකින් මිය ගිය බවයි.

1994 දී ඕඩ් ඔෆ් ස්ටිචර් ත්‍යාගය ප්‍රතික්ෂේප කිරීම අධිරාජ්‍ය නමස්කාරයට එරෙහිව ඵලදායී විරෝධතාවක් යැයි ඔබ සිතනවාද?

මගේ සතුරන් – වචනයේ මූලික අර්ථයෙන් සතුරා – සිටියේ කොහේද සහ ජපන් සමාජය සහ සංස්කෘතිය තුළ ඔවුන් ගත් ස්වරූපය කුමක්ද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දීමට එය ඵලදායී වුණා. කෙසේ වෙතත්, අනෙකුත් සම්මානලාභීන් විසින් අනාගත ප්‍රතික්ෂේප කිරීම් සඳහා මග පෑදීම සම්බන්ධයෙන් නම් එය අකාර්යක්ෂම වුණා.

ඔබ හිරෝෂිමා සටහන් සහ ඔබේ නවකතාව වන A Personal Matter එකම කාලයකදී ප්‍රකාශයට පත් කළා. ඔබට වඩා වැදගත් වූයේ කුමක්ද?

හිරෝෂිමා සටහන් A Personal Matter ට වඩා වැදගත්. මාතෘකාවෙන් ඇඟවෙන පරිදි, A Personal Matter මට පෞද්ගලිකව වැදගත්. එය ප්‍රබන්ධයක් වුවද මගේ වෘත්තියේ ආරම්භක ස්ථානය. එතැන් සිට මම එකම දේවල් ගැන නැවත නැවතත් ලියන බව මිනිසුන් පවසනවා. මම කම්මැලි පුද්ගලයෙක්. මම ගොඩක් සාහිත්‍ය කියවනවා, මම ගොඩක් දේවල් ගැන හිතනවා, නමුත් ඒ සියල්ලේ පදනම මගේ පුතා හිකාරි සහ හිරෝෂිමා.

හිරෝෂිමාව සම්බන්ධයෙන් කිව්වොත්, මම එය තනිවම අත්විඳිමින් සිටිනවා. 1945 කුඩා කාලයේ දී ඒ ගැන අසා, පසුව බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සමග මම සම්මුඛ සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඔබේ නවකතාවලින් ඔබේ දේශපාලන විශ්වාසයන් සන්නිවේදනය කිරීමට උත්සාහ කරනවාද?

මගේ නවකතාවලින්, මා දේශන පැවැත්වීමට හෝ පාඩමක් ඉගැන්වීමට උත්සාහ කරන්නෙ නැහැ. නමුත් මගේ රචනාවලදී මම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උපදෙස් දීමට උත්සාහ කරනවා. මගේ කෘතියේදී මම උත්සාහ කර ඇත්තේ අතීතය තේරුම් ගැනීමට. යුද්ධය, ප්‍රජාතන්ත්‍රවාදය, න්‍යෂ්ටික අවි පිළිබඳ ප්‍රශ්නය මට නම් මූලික ප්‍රශ්න. සරලව කිවහොත්, දැනට පවතින සියලුම න්‍යෂ්ටික අවිවලට මම විරුද්ධයි. හැට ගණන්වල සිට මගේ අදහස් ඇත්තටම වෙනස් වී නැහැ.

අද තරුණ පරම්පරාව ප්‍රජාතන්ත්‍රවාදය හෝ යුද්ධයෙන් පසු වසර විසිපහක් වන ප්‍රජාතන්ත්‍රවාදී පශ්චාත් යුද සමය ගැන ඇත්තටම දන්නේ නැහැ. “මහලු මිනිසුන්ගේ ප්‍රඥාව ගැන මගෙන් අහන්න එපා” යනුවෙන් ලියූ ටී. එස්. එලියට් සමග ඔවුන් එකඟ විය යුතුයි. එලියට් නිහඬ මිනිසෙක්, නමුත් මම එසේ නොවේ. නැතහොත් අවම වශයෙන් එසේ නොවීමටවත් මම බලාපොරොත්තු වෙනවා.

ලේඛනය ගැන ඔබට කීමට කිසියම් අදහසක් තිබේද?

මම නැවත නැවත ලියන ආකාරයේ ලේඛකයෙක්. මම සියල්ල නිවැරදි කිරීම ගැන ඉතා උනන්දුයි. ඔබ මගේ අත්පිටපත්වලින් එකක් දෙස බැලුවහොත්, මම බොහෝ වෙනස්කම් කරන බව ඔබට පෙනෙයි. එබැවින් මගේ ප්‍රධාන සාහිත්‍ය ක්‍රමවලින් එකක් වන්නේ “වෙනස සමග පුනරාවර්තනය” යන්නයි. මම දැනටමත් ලියා ඇති කෘතියක නව ප්‍රවේශයක් සඳහා උත්සාහ කිරීමෙන් මම නව කෘතියක් ආරම්භ කරනවා. මගේ එකම ප්‍රතිවාදියා වන මා සමගම තවත් වරක් සටන් කිරීමට උත්සාහ කරනවා. ඉන්පසු මම කෙටුම්පත ගෙන එය තවදුරටත් විස්තාරණය කරනවා. එසේ කරන විට සමහරවිට පැරණි කෘතියේ සලකුණු අතුරුදන් වේවි. නමුත් මම සලකන්නේ එය මගේ සාහිත්‍ය කෘතිය පුනරාවර්තනය තුළ ඇති වෙනස්කම්වල සමස්තයක් ලෙස. මෙම විස්තාරණය යනු නවකතාකරුවකුට ඉගෙන ගැනීමට ඇති වැදගත්ම දෙයයි.

ඔබ ඕනෑවට වඩා විස්තාරණය කර ඇති බව දැනගන්නේ කෙසේද?

ඒක ප්‍රශ්නයක්. මම විස්තර කරනවා, විස්තර කරනවා, වසරින් වසර මගේ පාඨකයින් අඩු වෙනවා. මගේ ශෛලිය ඉතා දුෂ්කර, ඉතා විකෘති, සංකීර්ණ වෙලා. මගේ කෘතිය වැඩිදියුණු කිරීමට, නව දෘෂ්ටිකෝණයක් නිර්මාණය කිරීමට මට එය අවශ්‍යයි. නමුත් වසර පහළොවකට පෙර, විස්තාරණය යනු නවකතාකරුවකුට නිවැරදි ක්‍රමය ද යන්න පිළිබඳව මට ගැඹුරු සැකයක් තිබුණා.

මූලික වශයෙන් හොඳ කතුවරයකුට තමාගේම ශෛලිය පිළිබඳ හැඟීමක් තිබෙනවා. මම 1996 සහ 1997 දී ප්‍රින්ස්ටන්හි උගන්වමින් එක්සත් ජනපදයේ සිටියදී, මාර්ක් ට්වේන්ගේ හකල්බෙරි ෆින් මුල් අත්පිටපතේ පිටපතක පිටු සියයක් පමණ කියෙව්වා. ක්‍රමයෙන් මට වැටහුණා, ට්වේන්ට මුල සිටම නිශ්චිත ශෛලියක් ඇති බව. ඔහු කැඩුණු ඉංග්‍රීසි ලියන විට පවා එයට යම් ආකාරයක රිද්මයක් තිබෙනවා. ඒ විස්තාරණ ක්‍රමය හොඳ කතුවරයෙකුට ස්වභාවිකවම ලැබෙනවා. හොඳ ලේඛකයෙක් සාමාන්‍යයෙන් තමන්ගේ හඬ විනාශ කරන්න උත්සාහ කරන්නේ නැහැ, නමුත් මම හැම වෙලාවෙම මගේ හඬ විනාශ කරන්න උත්සාහ කළා.

ඔබේ හඬ විනාශ කිරීමට ඔබට අවශ්‍ය ඇයි?

මට ජපන් භාෂාවෙන් නව සාහිත්‍ය ශෛලියක් නිර්මාණය කිරීමට අවශ්‍ය වුණා. වසර එකසිය විස්සකට පෙර ආරම්භ වූ නූතන ජපන් සාහිත්‍ය ඉතිහාසයේ, ශෛලිය විස්තාරණය කෙරෙහි නැඹුරු වී නැහැ. ඔබ ටානිසාකි සහ කවබතා වැනි ජපන් ලේඛකයින් දෙස බැලුවහොත්, ඔවුන් අනුගමනය කරන්නේ සම්භාව්‍ය ජපන් සාහිත්‍යයේ ආදර්ශයයි. ඔවුන්ගේ ශෛලීන් ජපන් සාහිත්‍යයේ ස්වර්ණමය යුගයට, කෙටි පද්‍ය සම්ප්‍රදායට (ටන්කා සහ හයිකු) අනුකූලව ජපන් ගද්‍යයේ විශිෂ්ට උදාහරණ. මම මෙම සම්ප්‍රදායට ගරු කරනවා, නමුත් මට වෙනස් දෙයක් ලිවීමට අවශ්‍යයි.

මම මගේ පළමු නවකතාව ලියන විට මට වයස අවුරුදු විසි දෙකක ප්‍රංශ සාහිත්‍ය ශිෂ්‍යයෙක්. මම ජපන් භාෂාවෙන් ලියමින් සිටියද, මම ප්‍රංශ සහ ඉංග්‍රීසි නවකතා සහ කවි කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූවා. ගැස්කාර් සහ සාත්‍රේ, ඕඩන් සහ එලියට් ආදීන් ගැන. මම නිරන්තරයෙන් ජපන් සාහිත්‍යය, ප්‍රංශ සහ ඉංග්‍රීසි සාහිත්‍යයට සංසන්දනය කළා. මම පැය අටක් ප්‍රංශ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කියවා පැය දෙකක් ජපන් භාෂාවෙන් ලිව්වා. මම සිතන්නේ, ප්‍රංශ ලේඛකයකු මෙය ප්‍රකාශ කරන්නේ කෙසේද? ඉංග්‍රීසි ලේඛකයකු මෙය ප්‍රකාශ කරන්නේ කෙසේද? යනුවෙන්. විදේශීය භාෂාවලින් කියවීමෙන් සහ පසුව ජපන් භාෂාවෙන් ලිවීමෙන්, මට පාලමක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වුණා.

වයස අවුරුදු හැටේදී මම සිතන්නට පටන් ගත්තේ මගේ ක්‍රමය වැරදි විය හැකි බවත්, නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ මගේ ප්‍රතිරූපය වැරදි විය හැකි බවත්ය. නමුත් මට දැන් දෙවන අදියරක් තිබෙනවා. මම ලියා ඇති දේ පිළිබඳ ඉතා සරල, පැහැදිලි අනුවාදයක් නැවත ලියනවා. සංකීර්ණ ශෛලියක් සහ පැහැදිලි ශෛලියක් ඇති සෙලීන් වැනි ශෛලීන් දෙකෙන්ම ලිවිය හැකි ලේඛකයින්ට මම ගරු කරනවා.

මම මගේ ”Pseudo-Couple˜” (ව්‍යාජ යුවල) ත්‍රිත්වයේ මෙම නව ශෛලිය අත්හදා බැලුවා. මගේ සැබෑ ආත්මයේ හඬට සවන් දීමට මට අවශ්‍ය වුණා. නමුත් විචාරකයින් තවමත් එහි මගේ දුෂ්කර වාක්‍ය සහ සංකීර්ණ ව්‍යුහය සඳහා මට පහර දෙමින් සිටිනවා.

එය ව්‍යාජ-යුවල ත්‍රිත්වය ලෙස හඳුන්වන්නේ ඇයි?

ස්වාමිපුරුෂයෙක් සහ භාර්යාවක් යනු සැබෑ යුවළක්. නමුත් මම නිරූපණය කරන්නේ ව්‍යාජ ජෝඩු. මගේ වෘත්තීය ජීවිතයේ ආරම්භයේ දී පවා, මගේ පළමු පූර්ණ-දිග නවකතාව වන Nip the Buds, Shoot the Kids හි, කථකයා සහ ඔහුගේ බාල සහෝදරයා ව්‍යාජ යුවළක්. මගේ සෑම කෘතිකම පාහේ මට හැඟෙන්නේ මෙම සාම්ප්‍රදායික නොවන යුගලවල බැඳීම් සහ පිළිකුල් සහගත බව අනුව මම චරිත ග්‍රහණය කර ඇති බවයි.

ඔබේ සමහර නවකතා සඳහා, ඔබ අනුගමනය කරන්නේ බුද්ධිමය ව්‍යාපෘතියක්. ඔබ මෙය කරන්නේ කුමන අරමුණක් සඳහාද?

මගේ නවකතාවල අදහස්, මම ඒ කාලයේ කියවන කවියන්ගේ සහ දාර්ශනිකයන්ගේ අදහස් සමග ඒකාබද්ධ වී තිබෙනවා. මට වයස අවුරුදු විසි ගණන්වල ඉන්නකොට, මගේ උපදේශක කසුඕ වටනබේ මට කිව්වා මම ගුරුවරයෙක් හෝ සාහිත්‍ය මහාචාර්යවරයෙක් වෙන්න යන්නේ නැති නිසා, මට තනියම ඉගෙන ගන්න වෙනවා කියලා. මට චක්‍ර දෙකක් තියෙනවා. නිශ්චිත ලේඛකයෙක් හෝ චින්තකයෙක් කේන්ද්‍ර කරගත් පස් අවුරුදු භ්‍රමණයක් සහ නිශ්චිත තේමාවක් මත අවුරුදු තුනක භ්‍රමණයක්. මම විසිපහේ ඉඳන් ඒක කරනවා. මට අවුරුදු තුනේ කාල පරිච්ඡේද දුසිමකට වඩා තිබුණා. මම තනි තේමාවක් මත වැඩ කරන විට, මම බොහෝ විට උදේ සිට සවස දක්වා කියවීමට ගත කරනවා. මම ඒ ලේඛකයා විසින් ලියන ලද සෑම දෙයක්ම සහ ඒ ලේඛකයාගේ කෘති පිළිබඳ සියලු දේවල් කියවනවා.

ඔබ අධ්‍යයනය කළ යුත්තේ කවුරුන්ද යන්න තෝරා ගන්නේ කෙසේද?

සමහර විට එය මා කියවන දේවල ස්වාභාවික ප්‍රතිවිපාකයක්. තවත් විටෙක එය අහම්බයක්. මම මහා බි්‍රතාන්‍යයේ ප්‍රවර්ධන චාරිකාවක යෙදී සිටියදී, මම වේල්සයේ නතර වුණා. මම එහි දින තුනක් සිටියා. කියවීමට ගෙනා පොත් ඉවර වුණා. මම ප්‍රදේශයේ පොත් සාප්පුවකට ගොස් එහි වැඩ කරන පුද්ගලයාගෙන් ඉංග්‍රීසි පොත් කිහිපයක් නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටියා. ඔහු එම ප්‍රදේශයේ කවියෙකුගේ එකතුවක් යෝජනා කළ නමුත් පොත එතරම් හොඳින් අලෙවි නොවන බව මට අනතුරු ඇඟෙව්වා. කවියා ආර්.එස්. තෝමස්. මම ඔවුන් සතුව තිබූ සියල්ල මිලදී ගත්තා. මම ඔහුව කියවන විට, මගේ ජීවිතයේ ඒ මොහොතේ මට කියවිය හැකි වැදගත්ම කවියා ඔහු බව මට වැටහුණා. වෝල්ටර් බෙන්ජමින් සමග ඔහුට බොහෝ සමානකම් ඇති බව මට හැඟුණා, ඔවුන් බොහෝ වෙනස් ලෙස පෙනුනත්. දෙදෙනාම ලෞකික සහ අද්භූත අතර එළිපත්ත ගැන සැලකිලිමත් වෙනවා. ඊට පස්සේ මම, තෝමස් සහ බෙන්ජමින් සමග ත්‍රිකෝණාකාර සම්බන්ධතාවයක සිටින බව සිතන්නට පටන් ගත්තා.

ඔබ සංචාරය කරන විට ඔබේ හෝටල් කාමරයේ කියවීමට වැඩි කාලයක් ගත කරන බව කියනවා.

ඔව්, ඒක හරි. මම දර්ශන නැරඹීමේ කටයුතු කරනවා, නමුත් මට හොඳ ආහාර ගැන උනන්දුවක් නැහැ. මම බොන්න කැමතියි, නමුත් මම බාර්වලට යන්න කැමති නැහැ මොකද මම රණ්ඩු වෙනවා.

ඔබ දැන් ඉගෙන ගන්නේ කුමක්ද?

මම දැන් 1929 සහ 1939 අතර කාලය තුළ යේට්ස්ගේ පසුකාලීන කවි කියවමින් සිටිනවා. යේට්ස් වයස අවුරුදු හැත්තෑ තුනේදී මිය ගිය අතර, ඔහු මගේ වයස හැත්තෑ දෙකේදී කෙබඳුදැයි සොයා බැලීමට මම උත්සාහ කළා. ඔහු හැත්තෑ එකේදී ලියූ එක් ප්‍රියතම කවියක් මා සතුව තිබෙනවා. මම සිටින්නේ එය නැවත නැවතත් කියවමින්. මගේ ඊළඟ නවකතාව පිස්සු සිතුවිලි සිතන නවකතාකරුවකු සහ දේශපාලනඥයකු ඇතුළු පිස්සු මහලු මිනිසුන් පිරිසක් ගැන වනු ඇති.

ඔබ මෙය විස්තර කරන ආකාරය ලේඛකයකුගේ ප්‍රිස්මයෙන් ලෝකය දකිනවා වගේ. ඔබේ පාඨකයන්ට ඔබේ ප්‍රිස්මයෙන් ලෝකය දැකගත හැකිද?

මම යීට්ස් හෝ ඕඩන් හෝ ආර්. එස්. තෝමස් ගැන උද්යෝගිමත් වන විට, මම ඔවුන් හරහා ලෝකය දකිනවා. නමුත් නවකතාකරුවකුගේ ප්‍රිස්මයෙන් ඔබට ලෝකය දැකිය හැකි යැයි මම විශ්වාස කරන්නේ නැහැ. නවකතාකරුවකු සාමාන්‍ය පුද්ගලයෙක්.

හරුකි මුරකාමි සහ බනානා යොෂිමොටෝ වැනි ලේඛකයින් සමග ඔබට තරගකාරී බවක් දැනෙනවාද?

මුරකාමි ලියන්නේ පැහැදිලි, සරල ජපන් ශෛලියකින්. ඔහුගේ කෘති විදේශීය භාෂාවලට පරිවර්තනය කර ඇති අතර විශේෂයෙන් ඇමරිකාව, එංගලන්තය සහ චීනය තුළ බහුලයි. යුකියෝ මිෂිමා මට නොහැකි වූ ආකාරයෙන් ඔහු ජාත්‍යන්තර සාහිත්‍ය ක්ෂේත්‍රයේ තමාටම ස්ථානයක් නිර්මාණය කර තිබෙනවා. එය සැබවින්ම ජපන් සාහිත්‍යයේ සිදු වූ පළමු අවස්ථාවයි. ආපසු හැරී බලන විට, ජපානයේ පවා මට ස්ථිර පාඨක පිරිසක් ලැබුණාද කියලා මට විශ්වාස නැහැ. එය තරගයක් නොවෙයි. නමුත් මගේ කෘති වැඩි වැඩියෙන් ඉංග්‍රීසි, ප්‍රංශ සහ ජර්මානු භාෂාවලට පරිවර්තනය වී එම රටවල පාඨක පිරිසක් සිටිනවා දැකීමට මම කැමතියි. මම බහුජන ප්‍රේක්ෂක පිරිසකට ලිවීමට උත්සාහ කරන්නේ නැහැ, නමුත් මම මිනිසුන් වෙත ළඟා වීමට කැමතියි. මට ගැඹුරින් බලපා ඇති සාහිත්‍යය සහ චින්තනය ගැන මිනිසුන්ට කියන්න මට අවශ්‍යයි. ජීවිත කාලය පුරාම සාහිත්‍යය කියවා ඇති කෙනෙකු ලෙස, මම වැදගත් යැයි සිතන ලේඛකයින් සන්නිවේදනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

මිෂිමා සමග ඔබේ සම්බන්ධතාවය?

ඔහු මට වෛර කළා. මම “සෙවන්ටීන්” ප්‍රකාශයට පත් කළ විට, මිෂිමා මට ලිපියක් ලිව්වා ඔහු එයට ගොඩක් කැමති බව. ඒ කතාව තරුණ දක්ෂිණාංශික ශිෂ්‍යයකුගේ ජීවිතය පරිකල්පනය කරන නිසා, මිෂිමා මා ෂින්ටෝවාදය, ජාතිකවාදය සහ අධිරාජ්‍ය නමස්කාරය කෙරෙහි ආකර්ෂණය වනු ඇතැයි සිතුවා විය හැකියි. මම කිසි විටෙකත් ත්‍රස්තවාදයට ප්‍රශංසා කිරීමට අදහස් කළේ නැහැ. ත්‍රස්තවාදී කණ්ඩායමකට බැඳීමට නිවසින් සහ සමාජයෙන් පලා යන තරුණයකුගේ හැසිරීම තේරුම් ගැනීමට මට අවශ්‍ය වුණා. මම තවමත් සිටින්නේ ඒ ගැන සිතමින්.

නමුත් ඔහුගේ එකතු කරන ලද ලිපිවල ප්‍රකාශයට පත් කරන ලද තවත් ලිපියක, මිෂිමා ලිව්වේ මම ඔහුව පුදුමයට පත් කළ නිසා මම ඉතාමත් කැත බවයි. සාමාන්‍යයෙන්, එවැනි අපහාසාත්මක ලිපියක් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. නිදසුනක් වශයෙන්, නබොකොව්ගේ ලිපිවල, සෘජුවම අපහාසාත්මක ලිපි දෙපාර්ශ්වයම මිය යන තුරු ප්‍රකාශයට පත් කළේ නැහැ. නමුත් මිෂිමා ප්‍රකාශකයන්ට දෙවියකු වූ අතර ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් ප්‍රකාශයට පත් කිරීමට ඔහුට අවසර තිබුණා.

නේතන් ඔබේ පොත් කිහිපයක් පරිවර්තනය කර තිබෙනවා. ලේඛකයකුගේ ශෛලිය පරිවර්තනය කළ හැකිද?

මම මේ දක්වා සෑම පරිවර්තනයකටම කැමතියි. සෑම පරිවර්තකයෙකුටම වෙනස් හඬක් තිබෙනවා. මම නේතන්ගේ පරිවර්තනවලට කැමතියි, නමුත් මගේ කෘතිවල ප්‍රංශ පරිවර්තන තමයි හොඳම.

බොහෝ ලේඛකයින් හුදකලාව වැඩ කිරීමට කැමතියි. නමුත් ඔබ විසිත්ත කාමරයේ සෝෆා මත වැතිරී ලියනවා සහ කියවනවා. ඔබ, ඔබේ පවුලේ අය අතර වැඩ කරනවාද?

වැඩ කිරීමට මට හුදකලා වීමට අවශ්‍ය නැහැ. මම නවකතා ලියන විට සහ කියවන විට, මට වෙන්වීමට හෝ මගේ පවුලෙන් ඈත්ව සිටීමට අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් මම මගේ විසිත්ත කාමරයේ වැඩ කරන්නේ හිකාරිගේ සංගීතයට සවන් දෙමින්. මම බොහෝ වාරයක් සංස්කරණය කරන නිසා මට හිකාරි සහ මගේ බිරිඳ සමග වැඩ කළ හැකියි. නවකතාව සැමවිටම අසම්පූර්ණයි. මම එය සම්පූර්ණයෙන්ම සංස්කරණය කරන බව මම දන්නා නිසා මම පළමු කෙටුම්පත ලියන විට මට එය තනිවම ලිවීමට අවශ්‍ය නැහැ. මට දෙවන මහලේ අධ්‍යයන කාමරයක් ඇති නමුත් මම එහි වැඩ කිරීම දුර්ලභ යි. මම එහි වැඩ කරන්නේ නවකතාවක් අවසන් කරන විට සහ අවධානය යොමු කිරීමට අවශ්‍ය වූ විට පමණයි.

ඔබේ නවකතා බොහොමයක් පදනම් වන්නේ ඔබේ පෞද්ගලික ජීවිතය මත. ඔබේ නවකතා පූර්ව ජපන් නවකතා සම්ප්‍රදායේ කොටසක් ලෙස ඔබ සලකනවාද?

එම නවකතා සම්ප්‍රදායේ ශ්‍රේෂ්ඨ කෘති කිහිපයක් තිබෙනවා. දහනව වන සියවසේ අගභාගයේ සහ විසිවන සියවසේ මුල් භාගයේ ලියූ හෝමි ඉවානෝ මගේ ප්‍රියතම ලේඛකයෙක්. එය කිසි විටෙකත් සමාජයේ පුද්ගලයාගේ භූමිකාව පිළිබඳ ප්‍රශ්නයකට විවෘත වන්නේ නැහැ. මගේ කාර්යය මගේ පෞද්ගලික ජීවිතයෙන් ආරම්භ වන නමුත් මම සමාජ ගැටලුවලට විවෘත වීමට උත්සාහ කරනවා.

ඔබ නොබෙල් ත්‍යාගය දිනාගත් විට ඔබේ පවුලේ අය ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?

මා පිළිබඳ මගේ පවුලේ අයගේ තක්සේරුව වෙනස් වූයේ නැහැ. ඔවුන් මා ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කළේ නැහැ. රාත්‍රී නවයට පමණ දුරකථන ඇමතුමක් ලැබුණා. එයට පිළිතුරු දුන්නේ හිකාරි. (දුරකථනයට පිළිතුරු දීම ඔහුගේ විනෝදාංශයක්) ඊට පස්සේ හිකාරි මට දුරකථනය දුන්නා. ඒක ස්වීඩන් ඇකඩමියේ නොබෙල් කමිටුවේ සාමාජිකයෙක්. ඔහු මගෙන් ඇහුවා, ඔබ කෙන්සබුරෝ ද? මම ඔහුගෙන් ඇහුවා හිකාරි මා වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ප්‍රතික්ෂේප කළාද කියලා. ඊට පස්සේ මම කිව්වා, මට සමාවෙන්න – මම පිළිගන්නවා. මම දුරකථනය තබා, නැවත පුටුවට පැමිණ, වාඩි වී, මගේ පවුලේ අයට කිව්වා, මම එය දිනුවා කියා. එවිට මගේ බිරිඳ කිව්වෙ, “ඒක හරිද?”

ඔබේ වඩාත්ම සාර්ථක කෘතිය කුමක්දැයි ඔබ සිතන්නේ කුමක්ද?

ඔයැ ීසකැබඑ ක්‍රහග එය මගේ තරුණ කාලයේ සිට පැමිණි කෘතියක් වන අතර එහි දෝෂ පැහැදිලිව පෙනෙනවා. නමුත් මම හිතන්නේ එය වඩාත්ම සාර්ථක, දෝෂ සහ සියල්ල සමග බවයි.

ඔබේ නවකතාවල කථකයින් ලෝකෝත්තර දේ ග්‍රහණය කර ගන්නවා. නමුත් පසුව එය ඔවුන්ගෙන් මග හැරෙන බවක් පෙනෙනවා.

අභ්‍යන්තර දේ පිළිබඳ මගේ අත්දැකීම සැමවිටම ද්විතීයික එකක්. අප දන්නා මානයෙන් ඔබ්බට ගිය අය හරහායි මට එය දැනෙන්නේ. අවසානයේදී මම මේ ලෝකයේ අප සිටින තැනින් ඔබ්බට වෙනස් මානයකට ළඟා වී නැහැ. නමුත් සාහිත්‍යය හරහා මට එය රස විඳීමට හැකි වී ඇති අතර, එය මට පැවැත්මට හේතුවක් වෙනවා.

ඇදහිල්ලක් තිබීම ලේඛකයකුට බරක් යැයි ඔබ සිතනවාද?

ආගම – ඇදහිල්ල – බරක් යැයි මම සිතන්නේ නැහැ. නමුත් මට ඥාතිත්වයක් දැනෙන ලේඛකයින් සහ චින්තකයින් ඇදහිල්ල සම්බන්ධයෙන් මගේ සිතුවිලි සහ හැඟීම් බෙදා ගන්නවා. ඔවුන්ගෙන් ඉගෙන ගැනීම මගේ පුරුද්දක්. ඇදහිල්ල පිළිබඳ ඔවුන්ගේ හැඟීම් සහ සිතුවිලි බෙදා නොගන්නා නිසා මට සමීප නොවන තවත් ලේඛකයින් සිටිනවා. උදාහරණයක් ලෙස ටෝල්ස්ටෝයි. ඔහු මට සමීප යැයි හැඟෙන ලේඛකයෙක් නොවෙයි.

මට ඇදහිල්ලක් නැහැ, අනාගතයේදී මට එය ලැබෙනු ඇතැයි මම සිතන්නේත් නැහැ. නමුත් මම අදේවවාදියෙක් නොවෙයි. මගේ ඇදහිල්ල ඔබට එය ‘සදාචාරය’ ලෙස හැඳින්විය හැකියි. මගේ ජීවිත කාලය පුරාම මම යම් ප්‍රඥාවක් ලබාගෙන තිබෙනවා, තාර්කිකත්වය, චින්තනය සහ අත්දැකීම් හරහා. මම තාර්කික පුද්ගලයෙක්. මම වැඩ කරන්නේ මගේම අත්දැකීම් තුළින් පමණයි. මගේ ජීවන රටාව ලෞකික පුද්ගලයකුගේ ජීවන රටාවක් වන අතර, මම මිනිසුන් ගැන ඉගෙන ගෙන ඇත්තේ එලෙසයි. මට ලෝකෝත්තරභාවය හමු වූ එක් ක්ෂේත්‍රයක් තිබේ නම්, එය පසුගිය වසර හතළිස් හතර තුළ හිකාරි සමග මගේ ජීවිතයයි. හිකාරි සමග මගේ සම්බන්ධතාවය සහ ඔහුගේ සංගීතය පිළිබඳ මගේ අවබෝධය තුළින් මම ලෝකෝත්තරභාවය දැක තිබෙනවා.

නොබෙල් ත්‍යාගලාභී ජපාන ලේඛක කෙන්සබුරෝ ඕඒ සමග සාරා ෆේ පැවැත්වූ සංවාදයේ සිංහල පරිවර්තනය