පැරණි ගම්බද බොහෝ නිවෙස් විශාල භූමි වපසරියක් තුළ පිහිටා තිබුණි. ප්‍රධාන මාර්ගයෙන් ඉඩමට පිවිස, එම ඉඩමේ සිට තවත් මාර්ගයකින් නිවසට යෑමට තිබුණු අතර අවට ගස් කොළන් වලින් සිසිල් සුළං හමමින් භූමිය ඇතුළට වන්නට නිවස පිහිටා තිබුණි. අදත් ගම්බද ප්‍රදේශවල මෙම පාරම්පරික නිවාස, වලව් පවතී. ක්‍රමක් ක්‍රමයෙන් විශාල භූමි කොටස්කර පර්චස් වලට අලෙවි කිරීම නිසා අද වනවිට ඉදිවෙන බොහෝ නාගරික නිවාසවල මිදුලක් නොපවතී. තට්ටු 02 කට 03 කට ඉදිකළ නිවසේ උඩුමහල (Top roof) හෙවත් කොන්ක්‍රීට් ස්ලැබ් එක අද වනවිට මිදුල බවට පත්වී ඇත. එකල මිදුලක් පර්චස් 20ක් පමණ විශාලත්වයෙන් පැවති අතර, මිදුල පලතුරු ගස් වලින් යුත්ත විය. විශේෂයෙන් නමිනන්, පේර, ජම්බෝල, ජම්බු, අලිපේර ආදී පලතුරු ශාකයන්ගෙන්ද අලංකාර මත්ස්‍යයන් ඇතිකිරීමට පොකුණක් ද වූ අතර එහි නෙළුම්, මානෙල් වැනි ජලජ ශාකයන් ද පැවතුණි.
පැරණි වලව්වල නිවසේ මධ්‍යයේ ද මැද මිදුලක් පැවති අතර වහලයේ සතර වටින් පැමිණෙන වැසි ජලය ද සියල්ල ඒකරාශි වන්නේ මේ මැද මිදුලටය. බොහෝ වලව්වලට අමතරව ධනපති ව්‍යාපාරිකයන්ගේද පැරණි නිවෙස්වල මෙම මැද මිදුල පැවතුණි. මා විසින් පරීක්‍ෂාවට ලක්කරන ලද පැරණි වලව් කීපයක මැද මිදුල පැවති අතර, එම වලව්වල ඉඩම් දෙවන – තෙවන පරම්පරා විසින් ඉතා අඩු මුදලට පවා අලෙවිකර තිබුණ අතර, එම වලව්වල අවසන් පුරකද බොහෝ තැන්වල නන්නත්තාර වී ගොසිනි. එම වලව් සතුව අතීතයේදී අක්කර සිය ගණනක් පැවතියත්, අද වනවිට එම ප්‍රමාණය අක්කරයකට දෙකකට සීමාවී ඇත. එලෙස සීමාවී ඇත්තේ ඉඩම් අලෙවියෙන් විශාල වශයෙන් මුදල් ලැබෙන බැවිණි. එම විශාල වලව්වල කිසිම දියුණුවක් නොමැති අතර, ආර්ථික වශයෙන් දුර්වලව පවතී. බොහෝ ස්ථානවල විවාහයන් පවා සිදු නොවී ඇති අතර සමහරුන් මත්වතුරට ඇබ්බැහිවී විනාශයට පත්ව ඇත. මෙයට හේතු බොහෝ පවතී. මා පරීක්‍ෂා කළ ස්ථානවල වාස්තු දෝෂයන් 80% කට වඩා පැවතිනි. බොහෝ ස්ථානවල නිවසේ බ්‍රහ්මපාදය, බ්‍රහ්මපාද ලක්ෂ්‍ය මෙම මැද මිදුලට පතිතව ඇත. එසේම එම ස්ථානය අපිරිසිදුව පැවතුනි. වලව්වල වහලයෙන් ගලාගෙන එන ජලය, අව් රශ්මියේ අධික තාපයට ලක්වීම, සුරතල් සතුන් වන බළලුන් – බල්ලන් මෙම පූජනීය ස්ථානය අපිරිසිදු කිරීම, සමහර විට විශාල මල්පෝච්චි, භූගත ජලටැංකි, පොකුණු පැවතීම නිසා එම තත්ත්වය ඇතිවී ඇත. මැද මිදුලේ පවතින බ්‍රහ්ම පාද ලක්‍ෂ්‍යය අපිරිසිදුවීම හා බාධාවීමත්, නිවස තුළ නොමැතිව එළියට පතිතවීමත් නිසා නිවසේ ගෘහ හිමියා දැඩි පීඩනයට ලක් කරයි. එවැනි ආකාරයට එළියට විසිවුනු බ්‍රහ්මපාද ලක්ෂ්‍යයක් පැවතීමෙන් එම නිවසේ විවාහයන් සිදුවීම ප්‍රමාද කිරීම හා විවාහ අහිමි කිරීමටද හේතු වේ. විවාහ සිදුවුවද එම විවාහයන් ඉක්මණින් කැඩීබිඳී යනු ඇත. ගෘහ හිමියාද බ්‍රහ්මපාද ලක්ෂ්‍යය මෙන් නිවසින් එළියට විසිවෙනු ඇත. සමාජ ගෞරවය අහිමිවීමෙන් දැඩි මානසික පීඩනයන්ට ලක්ව ආර්ථිකමය වශයෙන් පහළටම වැටෙනු ඇත. නිවසේ ලෙඩ රෝග බහුල වේ. නිවැසියන්ට එහි වාසය පවා එපා කරවයි. අමනුෂ්‍ය දෝෂ දිනෙන් දින වර්ධනය වෙමින් සතුට – සාමය බිඳ වැටෙනු ඇත. එලෙස සඳහන් කළේ පැරණි වලව් හා විශාල මන්දිරවල මැද මිදුල හා මැද මිදුලට එම නිවසේ බ්‍රහ්ම පාද ලක්‍ෂ්‍යය පතිතවීම නිසා සිදුවන දෝෂයන්ය.
ඒ සම්බන්ධයෙන් මා දීර්ඝව විස්තර කරන ලද්දේ එවැනි ආකාරයට බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය නිවසින් පිටතට, නිවසේ මැද මිදුලට වැටීම නිසා පීඩාවට පත්වූ නිවාස හා පැරණි වලව් කීපයක්ම පරීක්‍ෂා කිරීමෙන් ලත් ප්‍රායෝගික අත්දැකීම් තුළින්ය. එවැනි පැරණි නිවාස මිලයට ගෙන එම සේවාදායකයන් විසින් මා හට එම නිවාස පරීක්‍ෂාවට ඇරයුම් කර අවශ්‍ය ප්‍රතිකර්ම කළ පසු කලින් පැවති බාධා, පීඩා පහව ගිය බව මා හට දන්වා ඇත.
දැන් අපි බලමු නිවසක මිදුල කෙබඳු විය යුතුද යන්න. කලින් කතා කළ මැද මිදුල කොන්ක්‍රීට් හෝ සිමෙන්ති දමා පැවති අතර, නිවසක් පිටත තිබෙන මිදුල නම් පස්, වැලි දමා හෝ තණපිඩලි අල්ලා ඇත. එසේ නොමැති නම් වර්තමානයේ ඊට ඉන්ටර්ලොක් (Inter lock) ගල් අල්ලා ඇත. කෙලෙස පැවතුණද නිවසක මිදුල මොනම ආකාරයකින්වත් සෝදා පාළුවට ලක් නොවිය යුතුය. සමහර නිවාස ඉදිරිපිට මිදුලේ වර්ෂාවට වැහි වතුර රැඳෙනු ඇත. සමහර මිදුල් වැස්සට ජලය වැටී විශේෂයෙන් මැටි මිශ්‍ර පස් පවතින මිදුල වැස්සක් දෙකක් පතිත වූ පමණින් ඌරු මඩ වගුරක් බවට පත්වේ. වාහන ගමන් කිරීම නිසා මඩවී, එම මඩ ප්‍රධාන දොරින් නිවසටද කකුල්වල තැවරී පැමිණේ. නිවස ඉදිරිපිට සමහර ස්ථානවල මඩ වගුරක් ලෙස දිස්වේ. මේවා බොහෝ විට පවතින්නේ ග්‍රාමීය ප්‍රදේශවලයි. එවැනි මැටි පස් සහිත මිදුල් සඳහා ඉන්ටර්ලොක් ගල් ඇල්ලීම කළ හැකිය. එයද සිදුකළ යුත්තේ මිදුල මධ්‍යය පහත්වන ලෙස නොව උස්ව පවතින ආකාරයටය. නිවසේ මිදුල මොනම ආකාරයකින් වත් මධ්‍යය පහත් නොවිය යුතුය. නිවසේ මිදුල උතුර, ඊශාන හා නැඟෙනහිර දිශාවන්ට පවතින විටදී එම දිශාවන්ට මඳක් පහත්ව පැවතිය යුතු අතර, ඒ තුළින් වර්ෂාව පවතින අවස්ථාවන් වලදී එම උතුර, ඊශාන, නැඟෙනහිර දිශාවන්ට වැසි ජලය බැසයන ආකාරයට පැවතිය යුතුය. දකුණ, බටහිර, ගිනිකොන, වයඹ දිශාවන්ට නිවසේ මිදුල පවතින විටදී එම දිශාවන් උස්ව, එම දිශාවන්ට හැකි තරම් ජලය බැසයෑම පාලනය වන ලෙස පැවතිය යුතුයි. නිවසහි මිදුලහි කොන් උස්ව පැවතීම, මිදුලේ වළවල් ආදිය පැවතීම අශුභඵල ගෙන දේ. උල්දිය පවතින භූමිවලට වැඩි ජලය ලැබීම නිසා පොළවේ තැනින් තැන උල්දිය මතුවේ. වැස්සට ඇදී එන පණුවන්, ගැඩවිල්ලන් පවා නිතර ගසාගෙන එයි. මේ ආකාරයට නිවසේ මිදුල මතද උල්දිය ගැලීම සිදුවේ. එවැනි භූමිවල නිවාස ඉදිකිරීමේදී පොළව මට්ටමෙන් තරමක් උසින් අත්තිවාරම දැමිය යුතු අතර, මිදුල අවට තිරිවාන, බොරළු දමා උස්සා මිදුල සෑදිය යුතුය. මෙලෙස උල්දිය මිදුලේ පැවතීම ඉතාම අශුභ වේ. මෙලසින් ඔබ ජීවත් වන නිවසේ අවට මිදුල නිසි ආකාරයට නොපැවතීමද බලවත් වාස්තු හා භූමි දෝෂයන්ට හේතු වේ. මිදුල වාස්තු දෝෂයන්ට ලක්වීම නිසා නිවසේ මුදල් වියදම අධික වේ. ඉතිරියක් නොවේ. ලෙඩ රෝග බහුල වේ. බෝවෙන රෝග, නිදන් ගත රෝග වැලඳේ. මිදුලේ වළවල් පැවතීම නිසා දරුවන්ට අකල් මරණ ඇතිවිය හැක. හතර කොන් උස්ව මැද පහත්වීම නිසාද ඒ හා සමාන ප්‍රතිඵලවලට හේතු වේ. මිදුලේ යකඩ කැබලි, ගඩොල්, කළුගල්, වැලි ආදිය ගොඩ ගැසීම නිසාද නිවැසියන්ට හානිගෙන දේ.
දිනපතා මිදුල පිරිසිදුව තබාගත යුතුය. කුණු කසළ නොතැබිය යුතුය. බුලත් කෙළ ගැසීම, කැහි හොටු දැමීමද ඉතා අශුභයි. මිදුල අතුගාන විට පහළ සිට ඉහළට ඇමදීම කරන්න. සුනඛ, බළල් ආදීන්ගේ ජරා ගොඩවල් මිදුලේ තබන්න එපා. සෑමවිටම නිවසට ධන වාසනාව ගෙන ඒමට මිදුල පිරිසිදුව තබාගන්න.
වාස්තු විද්‍යා විශාරද වාස්තු විද්‍යා ශිරෝමනී දේශමාන්‍ය, සාම විනිසුරු
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777-856649.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026