“…පිස්සුද? දැන්ම බෑනේ නංගි… ඒලෙවල් රිසාල්ට්ස් ගොඩදාගත්තොත් කොල්ලා එබ්‍රෝඩ් යවන වැඩේ කීයටවත් ඩිලේ කරන්න බෑනේ…”
ටෙනී මහත්තයා තමුන්ගේ බාල සහෝදරියට අවධාරණයෙන් කීවා. කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ මෝටර් සයිකල් අමතර කොටස් අලෙවි කරනා කුඩා වෙළඳසලක් පවත්වාගෙන ගිය ඔහු පදිංචි ප්‍රදේශයේ සමිති සමාගම් කීපයකම විවිධ තනතුරු පවා ඉසිලුවා.
“…හරි අයියෙ… අපි ෆස්ට් ප්‍රයරොටි දෙන්න ඕනා පුතා ෆොරින් යුනිවර්සිටි එකකට යවන වැඩේට තමයි.. නමුත් ඉතින් අයියා ආයෙමත් කසාදයක් කරගන්න වැඩෙත් දිගින් දිගටම කල් දාන්නත් බෑනේ…”
ටෙනී මහත්තයාගේ නංගී එසේ පවසන්නේ සිය සහෝදරයාට සිටින එකම ලේ නෑයා ඇය නිසාය. අකාලේ බිරිඳ මියගිය එකම සහෝදරයාගේ පිරිමි දරුවාගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියලු දේ ඇය සොයා බලන්නේ දැඩි කැපවීමකිනි.
එම පිරිමි දරුවා මේ වන විට අගනුවර උසස් පාසලක අධ්‍යාපනය ලබන අතර එම දරුවාගේ මව නොහොත් ටෙනී මහත්තයාගේ බිරිඳ මීට වසර පහකට පමණ ඉහතදී මියගියේ පිළිකා රෝගයකින් අසාධ්‍යව සිටීමෙන් පසුවය.
“…අපේ බෑන්ක් ස්ටාෆ් එකේ නංගි කෙනෙක්ගේ පුංචි අම්මා ඉන්නවා… අපේ වයසෙමයි.. හස්බන්ඩ් ඇක්සිඩන්ට් එකකින් නැතිවෙච්ච… දරුවොත් නෑලු එයාට…
මහත්තයා නැතිවුණාට පස්සෙ එයා අවුරුදු දෙකක්ද කොහෙද සවුදිවල හිටියලු ජැපනීස් ඉංජිනියර් කෙනෙක්ගේ බබා බලාගන්න. දැන් ආයෙත් නොයන්නම ලංකාවට ඇවිත්ලු ඉන්නේ.. මං සඳුදාම ඒ යෝජනාව ගැන අහනවා අයියේ හොඳේ…”
ටෙනී මහත්තයාගේ නංගී අයියාට මංගල යෝජනාවක් ගේන්න හා පුරා කියලා ඉදිරිපත් වුණේ ඒ විදියටයි.
ඒත් ටෙනී මහත්තයා ඔහුගේ බිරිඳ අන්තයටම ඔත්පල වෙන්නට කලියෙන් ඇයට දීපු පොරොන්දුවක් තිබුණා.
ඒ තමයි දෙදෙනොගේ එකම පුත්‍ර රත්නයට හරි හමන් අනාගතයක් හදා නොදී වෙනත් තීරණයක් ගන්නෙ නැහැයි කියන පොරොන්දුව.
“…ඒක හරි අයියේ.. නමුත් ආපු මේ යෝජනාවට කැමැත්ත දීලා තිබුණය කියලා අයියා එදා අක්කට දීපු පොරොන්දුව කඩවෙන්නෑනේ අයියේ.. මොකද පුතා ඒලෙවල් කරන්න පිටරට යවන්න තව අවුරුදු දෙකක් විතර යාවි… එතකම් ඒ මැරේජ් ප්‍රපෝසල් එක ගෙනාපු නංගිට කසාදෙකට තීරණයක් නැතිව බලා ඉන්න බෑනේ.. ඒ නිසා අපි වැඩේට කැමැත්ත ප්‍රකාශ කළොත් නේද හොඳ අයියේ..”
නංගීගේ ඇවිටිල්ලේ නිමක් නැත. ටෙනී මහත්තයට අසෝකා හමුවෙන්නේ එහෙමයි. ටෙනී මහත්තයට පණස් එකයි. අසෝකාට හතළිස් තුනයි. ඒත් ඇඟටම හිරවෙච්ච තුනී දිග කලිසම් අඳින දඟකාර ඇවතුම් පැවතුම් තියෙන අසෝකාට තිස් පහක්වත් වයස පේන්නේ නෑ. තේපැන් සංග්‍රහයකට විතරක් සීමා වුණු ටෙනී අසෝකා විවාහ ලියාපදිංචියෙන් මාස තුනක් ගතවෙන්නටත් කලියෙන් අසෝකාට ආයෙමත් රට යන්න ඕනය කියලා මහත්තයාට ඇවිටිලි කරන්න ගත්තා. ගෑනු එහෙම තමයි. විවාහයට යෝජනාව කරද්දි නම් කීවෙ ආයෙමත් කවදාවත් රට යන්නෙ නැහැයි කියලා.
ටෙනී මහත්තයා අසෝකව ගෙදර කැන්දන් යන්න හිටියේ ඔහුගේ පුතා උසස් පෙළ අධ්‍යාපනයට මේ අවුරුද්දේ අන්තිමේ පිටරට ගියාට පස්සෙදියි.
අසෝකා රට යන්න ඇවිටිලි කරන්න පටන් ගත්තෙ අසෝකාගේ යාලුවෙක් නුවර පැත්තේ තේ ඉඩමක් ගැන කියපු පණිවුඩයකට වහ වැටිලා අසෝකාට ඒ තේ ඉඩම අරගන්න සල්ලි මදි පාඩුය කියපු නිසයි. ටෙනී මහත්තයා අසෝකා රට යනවට කැමතිත් නැති, අකමැතිත් නැති නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ විශේෂ හේතුවක් නිසයි. ටෙනී මහත්තයගේ සමීපම හිතමිතුරා දැනට කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක ඖෂධ වේදියෙක්.
ඔහුගේ නම ජයසේකර.
ඔහු තමයි ටෙනී මහත්තයට අසෝකා ගැන සියලුම රහසිගත තොරතුරු වාර්තා සපයලා දුන්නේ.
අසෝකාගෙ රට යන ඉල්ලීමට මොකද කරන්නෙ කියලත් ටෙනී මහත්තයා ජයසේකර මිතුරාගෙන් උපදෙස් පැතුවා.
“..ඒක එක අතකින් හොඳයි ටෙනී, මොකද ඔයා අසෝකාව කැන්දන් ආවට පස්සෙ ආයෙමත් ඔයා හුදෙකලා කරලා එයා රට යනවට වඩා, රට ගිහින් ඇවිත් ඔයාලා සෙට්ල් වෙන එක ඇත්තටම හොඳයි..”
ටෙනී මහත්තයා අසෝකා එක්ක තනිපංගලමේ හමුවෙන්න යොදාගත්තෙත් තනිකඩයෙක් වුණු ඒ ජයසේකර මිත්‍රයාගේ ගෙදරමයි. මොරටුව පැත්තේ මුහුද ආසන්නයේ පිහිටි ජයසේකර මිතුරාගේ නිවසේ ඔහුගේ තනි නොතනියට වයසක අංකල් කෙනෙකුත් සිටියා. කොළඹ පිහිටි ගෙස්ට් හවුස් ගැන හොඳින් දන්නා ටෙනී මහත්තයා අසෝකා සමග තනිවෙන්නට එවැනි තැන් යොදා ගත්තේ නැහැ. විවාහය ලියාපදිංචියෙන් පස්සෙ ඔහු අසෝකා සමග තනිවෙන්න යොදාගත්තේ ජයසේකර මහතා ගේ ඒ පාලු නිවස පමණමයි. දුම්වැටියේ ලොකු උගුරක් උඩට ඇදලා සිගරට් කොටය විසිකරපු ටෙනී මහත්තයා කල්පනාව පිටම කාමරයට ඇතුළු වුණා.
“…ඒයි…. වහන්න අනේ දොර…. මං අඳිනවා… අර නාකි අංකල්කාරයා කොහෙන් පාත් වේද දන්නෑ….”
කාමරයේ කණ්ණාඩි මේසය ඉදිරියේ නිරුවත් උඩුකයින් සිට තිසරපටයේ අගුළ දමාගත් අසෝකා ටෙනී මහත්තයා බලා ඉඳිද්දීම ඇගේ සිරුරේ තවත් මොනවාදෝ සුවඳ වගයක් තවරා ගත්තා.
ඇය මේ සූදානම් වන්නේ අගනුවර විදේශ සේවා කාර්යාලයට යෑමට ය.
“…ඔය මුණගැහෙන්න යන්නේ එදා මා එක්කම ගිහින් ඩොකියයුමන්’ස් භාර දීපු අර වයසක ඔෆිසර්ව නේද? ඉතින් මොනවට ද ඔය තරම් පර්ෆියුම්..?.”
ටෙනී මහත්තයා මුහුණ නරක් කරගෙන ඇහුවා.
යුගදිවි බන්ධනය මාස දෙකතුනක තරමේ කෙටි එකක් වුණත් ඒ මුහුණේ ඒ අඳුරු රේඛා ජනිත වන්නේ සිතේ කැකෑරෙන නොසිඳුනු කෝපයකදී බව ගැහැනිය ඉඳුරා දැන සිටියා.
“…ඉරිසියයි නේ?… පිස්සු කොල්ලා… අද කාලේ හලෝ… ගෑනු අපි යන තැනක සුවඳදීගෙන නොයා කිසිම තැනකින් මෙළෝ වැඩක් කරගන්න බෑ, ඒක නෙමෙයි, කීයටද හලෝ අද රාහු කාලේ.?..” ටෙනී මහතාට අසෝකා ගැන ජීවිතයේ පළමු වරට කේන්ති ආවා. නමුත් සියල්ල සංයමයෙන් ඉවසා සිටිය යුතුයි.
“…එහෙනම්… වීල් එකත් ඇවිත් ගොඩක් වෙලයි නේ… මං ගොහින් එන්නම් හොඳේ,. තවම දහය වුණෙත් නෑනේ මං එනකොට ලන්ච් ගේන්නම්, අර නාකි අංකල්ට කරදර කරන්න ඕන්නෑ, සමහර විට ෆෝන් එක ඕෆ් කරගන්න වෙයිද දන්නෑ හොඳෙ… ටී. වී. එක දාගෙන ඉන්නකෝ…”
නිතඹ ලෙලවා කොලොන් සුවඳ විහිදුවමින් ටෙනී මහතා අසලට පැමිණ ඔහුට හාදුවක් දුන් අසෝකා ‘බායි’ කියමින් මිදුලේ නතර කර තිබුණු ත්‍රිරෝද රියේ නැඟී නොපෙනී ගියා.
කාමරයේ තනිව සිටිනවාට වඩා මිදුලට වෙලා මුහුද දිහාව බලාගෙන සිටීම යෙහෙකැයි සිතුණු ටෙනී මහත්තයා ආලින්දයට ඇවිත් නැවත දුම් වැටියක් දල්වා ගත්තා.
විනාඩි කීපයකින් ත්‍රිරෝද රථයක් නිවසේ ගේට්ටුව ඉදිරියේ නතර වුණා. අසෝකා පිටව ගිය ත්‍රිරෝද රථයේ රියැදුරු රියෙන් බැහැලා නිවසේ ආලින්දයට ගොඩ වුණා.
“…සර් මාර සිගරට් ගැහිල්ලක් ගහන්නේ… නේ?.. මිස් යද්දිත් එකක් පත්තු වෙවී තිබුණේ..”
ටෙනී මහත්තයා වරදට සමාව භජනය කරන විදියට හිනාවුණා.
“…මෙන්න සර්.. මිස් මට වීල් එකෙන් බැහැලා සල්ලි දෙනකොටම… හෑන්ඩ් බෑග් එකේ තිබිච්ච මෙන්න මේ දිග ලියුම් කවරේ කලබලේට බිම වැටුණා… මොනවද රිසිට් වගයක් මේකෙ තියෙන්නේ…”
ටෙනී මහත්තයා විමතිය මුදු හදින් ලියුම් කවරය අතට ගත්තා.
“..මම මිස්ට හෝන් කළාට ඇහුන්නෑ… රේස් යන කළුතර එකයි… අළුත්ගම එකයි… දෙක එකට ආවේ… මිස් දුවලා ගිහින් ඉස්සරහින් තිබුණු අළුත්ගම එකේ නැග්ගේ… ඒකයි මට මේක දීගන්න බැරිවුණේ…”
“…ඒ කියන්නේ ඔයා මිස්ව ඇරලුවේ බත්තරමුල්ලෙ විදේශ සේවා එකට යන්න නෙමෙයි…?..”
“…විදේශ සේවා..?.. කොළඹ…? පිස්සුද සර්…. මිස් මේ මොරටුව කුරුස හන්දියෙන් අළුත්ගම එකකනේ නැග්ගේ…”
ටෙනී මහත්තයා තිගැස්සුණා.
“…ආ.. රයිට් රයිට්.. එයාට පානදුරේට පොඩ්ඩක් යන්න තියෙන කතාවකුත් කීවා..”
ටෙනී මහත්තයා ත්‍රිරෝද රථ රියැදුරුට පට්ට පල් බොරුවක් කීවා.
රථය පිටවෙලා ගියා. ටෙනී මහත්තයා ලියුම් කවරය ඇතුළෙ තියෙන කඩදාසි කොළ කීපය එළියට ගත්තා.
අසෝකාගෙ නමින් ගිය සතියේ බැංකුවකට රත්තරන් බඩු උගස් තියපු රිසිට් තුනක්.. රිසිට් තුනේම එකතුව.. රුපියල් ලක්ෂ තිස්දෙකක්..
“..අසෝකා ගිය සතියෙ මේ වගේ රුපියල් තිස්දෙලක්ෂයක ගනුදෙනුවක් කරන බව ඇයි මට නොකීවේ..? එයා මට විදේශ සේවා එකට යනවා කියලා අද කොහේද අළුත්ගම යන බස් එකක ගියේ..?” ටෙනී මහත්තයා පඹ ගාලක පැටලුනා.
දුම්වැටි දුමාරය අතරින් ටෙනී මහත්තයට ඔහුගේ මියගිය බිරිඳගේ ආදරණීය මුහුණ මැවිලා පේන්න ගත්තා.
“..මං දන්නවා ටෙනී.. ඔයාට තනියම ඉන්න බෑ.. කමක් නෑ.. මං කියන්නෙ මේ.. මං නැති කාලෙක නේ.. මම නැති කාලෙක ඔයා හොඳ තැනකින් බලලා හොඳ දෙයක් කරගන්න ටෙනී, මං තරහ නෑ.” ටෙනී මහත්තයට ඉකි බිඳුණා.
රන්ජන් ගාමිණී ජයවර්ධන
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026