රනිල්ට, සාගලට චෝදනා
සජබ එරාන්ට ‘දොර’ පෙන්වයි
ශම්මි-රොෂාන් ගැටුම
කෙහෙළියට ආරක්ෂාව, ක්‍රීඩා අමාත්‍ය කැබිනට් මණ්ඩලයෙන් දොට්ට
ශ්‍රී ලංකා දේශපාලනය උඩු යටිකුරු කළ අරගලයෙන් (මාර්තු -ජුලි 2022) පසුව මහජන ඡන්දයෙන් බිහිවූ පළමුවන ආණ්ඩුව ජාතික ජන බලවේගයයි (ජාජබ). අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් ජනාධිපතිවරණය අභියෝගයක් නොමැතිව ජයග්‍රහණය කළ අතර ඔහුගේ නායකත්වය යටතේ මහ මැතිවරණයෙදී ජාජබට ඓතිහාසික පිරිසිදු 2/3 බලයක් (ආසන 159) ලබාගැනීමට හැකිවිය. ජාතික විගණන කාර්යාලයේ අවධානයට යොමු වී තිබූ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නව රජය වහාම ක්‍රියාත්මක වන බවට බොහෝ දෙනා විශ්වාස කළේය.
නමුත් ජනාධිපතිවරණයෙන් වසරකට ආසන්න කාලයකට පසුව රටම පුදුම කරමින් දිසානායක ජනාධිපතිවරයා ක්‍රිකට් ආයතනයේ ආරාධනයෙන් යාපනයේ මණ්ඩතිවු දූපතේ ජාත්‍යන්තර තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට මුල්ගල තැබීය. ඒ 2025 සැප්තැම්බර් 1 වන දිනය. ශ්‍රී ලංකාවේ දිවා-රාත්‍රී ක්‍රීඩා කිරීමට හැකි පරිදි ගොඩනැගීමට යෝජිත එම පිටිය ප්‍රේක්ෂකයින් 40,000 ප්‍රමාණවත් බවට ප්‍රකාශ කළ අතර 2025 දෙසැම්බර් අවසානයට පෙර ඉදිකිරීම් අවසන් කරන බවටද පොරොන්දු විය. මණ්ඩතිවු ව්‍යාපෘතිය යථාර්ථයක් වූයේ නැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ‘රනිල් – රාජපක්ෂ’ ආණ්ඩුවේ (2022 මැයි සිට 2024 සැප්තැම්බර් දක්වා) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ (පොහොට්ටු මන්ත්‍රී) අතර 2023 අග දී සිදු වූ ගැටුම අමතක කර ක්‍රිකට් ප්‍රධානි අටුලුගමගේ ශම්මි ශිරාජ් සිල්වාගේ අනපේක්ෂිත ඉල්ලා අස්වීම කිසිසේත්ම සාකච්ඡා කළ නොහැක.
ශම්මි සිල්වාගේ නියමයෙන් ක්‍රිකට් ආයතනය රණසිංහ අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (අල්ලස් කොමිසම) පැමිණිලි කිරීමට තරම් එම ගල උඩ සටන තීරණාත්මක විය. ජාතික ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් ආයතනය විසින් පිරිනැමූ මුදල් අමාත්‍යවරයා අවභාවිතා කළ බවට එම ආයතනය ඍජුව චෝදනා කළ අතර තොරතුරු දැන ගැනීමේ පනත ද අමාත්‍යවරයාට එරෙහිව පාවිච්චි කළේය. ඊට අමතරව අමාත්‍යවරයා දිගින් දිගටම කළ/කරන ආන්දෝලනාත්මක සහ අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් ආයතනයට/නිලධාරී මණ්ඩලයට සිදු වූ හානියට රුපියල් බිලියන 2.4 ක වන්දියක් ඉල්ලා 2023 නොවැම්බර් 13 වැනි දින කොළඹ දිස්ත්‍රික්ක අධිකරණයේ නඩු පැවරීය.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පක්ෂ-විපක්ෂ වෙනසක් නොමැතිව ක්‍රිකට් ආයතනයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට යෝජනාවක් සම්මත කර ගනු ලැබුවත්, ශම්මිව ඉවත් කිරීමට මැතිසබයට නොහැකි විය. ශම්මි මැතිසබයට වඩා ඉහළින් විය. මහ බැංකු බැඳුම්කර චෝදනාවට ලක්වූ අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම ශම්මිට මැතිසබය තුළ සැලකිය යුතු සහයෝගයක් තිබිණි. දැනටත් ශම්මිට අභියෝගයක් නැත. ක්‍රිකට් සභාපති ලෙස ශම්මිට හිමි ඉතිරි මාස 11 සම්පූර්ණ කිරීමට හැකියාව ඔහුට තිබිණි.
එවැනි පසුබිමක ශම්මි පසුගියදා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඉවත් වූයේ ඇයි? ශම්මිගේ අස්වීම මෙන්ම ඔහුගේ අනුප්‍රාප්තිකයා පත්කිරීම ද බොහෝ දෙනා බලාපොරොත්තු නොවූ පරිදි සිදුවිය.
එම තනතුරට හිටපු එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය අමාත්‍ය (යහපාලන ආණ්ඩුවේ) මෙන්ම සමගි ජන බලවේගයේ (සජබ) ආරම්භක සාමාජිකයකු වූ එරාන් වික්‍රමරත්න පත් කිරීම ද පුදුමාකාර සිදුවීමකි. ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ) ආණ්ඩුවෙන් එරාන් වික්‍රමරත්න පත්වීමක් ලබා ගැනීම සජබ දැඩි අසතුටට හේතු වූ බව අමුතුවෙන් කිවයුතු නැත. ක්‍රිකට් තනතුර භාර ගැනීම හේතුවෙන් සජබ කළමනාකරණ කමිටුවෙන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව එරාන් වික්‍රමරත්න අප්‍රේල් 29 වැනි දින කළ දැනුම් දීමට සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අපූරු ප්‍රතිචාරයක් දැක්විය. සජබ ස්ථාවරය වූයේ ක්‍රීඩා සංගම් නිර්දේශපාලනය විය යුතු බව එරාන් වික්‍රමරත්නට මතක් කර දුන් සජබ මහලේකම් එනිසා පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වන ලෙසට ඔහුට දැනුම් දුන්නේය.
සජබ මහලේකම්වරයා එරාන් වික්‍රමරත්න දේශපාලන පත්වීමක් ලැබූ බවට චෝදනා කළේය.
රටම රත්කළ අහස පොළොව නුහුලන ගල් අඟුරු වංචාව, මහා භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් සහ ශ්‍රී ලංකා තැපැල් සේවයෙන් ඇමෙරිකානු ඩොලර් 625,000 ‘අතුරුදන්’ වීම හා සමානව ශම්මි සිල්වා ධනවත්ම ක්‍රීඩා සංගමයෙන් ඉල්ලා අස්වීම අවධානයට යොමුවිය යුතු සිද්ධියකි. ඊට හේතුව ක්‍රිකට් ආයතනයද දූෂණය, වංචා, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලයේ දැඩි අවධානයට ලක් වී ඇති ආයතනයක් බැවිනි.
ශම්මි ක්‍රිකට් ආයතනයේ ප්‍රධානි ලෙස පත්වූයේ 2019 පෙබරවාරි මාසයේදීය. ඒ ඔහුට පෙර සභාපති ධුරය දැරූ තිලංග සුමතිපාලගේ සහයෝගයෙනි. දෙදෙනාම කොළඹ නාලන්ද විද්‍යාලය නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයින් වූ අතර අතිශය ආන්දෝලනාත්මක 142 කුට ඡන්දය පාවිච්චි කිරීමට අයිතිය තිබූ එම තරගයේදී ශම්මි ඡන්ද 83 ක් ලබා ගත් අතර ඔහුට අභියෝග කළ ජයන්ත ධර්මදාසට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 56 පමණි. ශම්මිගේ කණ්ඩායම සමස්ත නව නායකත්වය පත් කර ගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවපු බව අවධාරණය කිරීමට දිය හැකි සුදුසුම උදාහරණය අර්ජුන රණතුංගට ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙසවත් පත්වීමට නොහැකි වීමයි.
ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට අසමසම නායකත්වයක් දුන් රණතුංගට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 72 කි. ශම්මිගේ පිල නියෝජනය කළ ඊට පෙර විධායක කොමිටියේ ද සිටි රවින් වික්‍රමරත්නට ඡන්ද 82 ලැබිණි.
එතැන් පටන් ශම්මිගේ නායකත්වයට අභියෝග කිරීමට කිසිවකුට නොහැකි විය. ඔහු වසර දෙකකට වරක් පැවැත්වෙන ක්‍රිකට් ආයතනයේ ඡන්දය ජයග්‍රහණය කළේ නිතරගයෙනි. එවැනි පසුබිමක ශම්මි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීම තුළ ඉල්ලා අස්වූයේ තමන්ට හිමි කාලය සම්පූර්ණ කිරීමට අවස්ථාව තිබූ තත්ත්වයක් යටතේදීය.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ක්‍රිකට් ආයතනය අතර තිබූ දැඩි ගැටුම්කාරී තත්ත්වය පුපුරා ගියේ 2023 ලෝක කුසලානය සඳහා ඉන්දියාව සමග මුම්බායි හි නොවැම්බර් මුල පැවැත්වූ තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 302 කින් පරාජය වීමත් සමගය. එම ඕවර 50 තරගයේදී ශ්‍රී ලංකාවට රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 55 පමණි. අරගලය පසුබිමේ ක්‍රීඩා අමාත්‍ය ධුරයට පත්වූ රොෂාන් රණසිංහ සහ ක්‍රිකට් ආයතනය අතර යහපත් සම්බන්ධතාවයක් තිබුණේ නැත. මුම්බායි පරාජයත් සමග ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව විසිවීම අමාත්‍යවරයා තමන්ගේ වාසියට හරවා ගැනීම පිළිබඳව පුදුම විය යුතු නැත. අමාත්‍යවරයා ක්‍රිකට් නායකත්වයේ ඉල්ලා අස්වීම වහාම ඉල්ලා සිටියේ ය. ක්‍රිකට් නායකත්වය අමාත්‍යවරයාගේ ඉල්ලීම නොසලකා හැරියේය.
අවාසනාවන්ත මුම්බායි පරාජයේ උණුසුම නැතිවී යෑමට පෙර අමාත්‍යවරයා ක්‍රියාත්මක විය. ඔහු අතුරු කමිටුවක් පත් කළේය. ඒ අර්ජුන රණතුංගගේ සභාපතිත්වය යටතේය. හත් දෙනෙකුගෙන් සමන්විත වූ එම කමිටුවේ සාමාජිකයකු ලෙස 2019 ක්‍රිකට් නිලවරණයේදී ශම්මිට පරාජය වූ උපාලි ධර්මදාස පත්කිරීම ආන්දෝලනාත්මක විය. ධර්මදාස 1996-1998 සහ 2012-2013 කාලවලදී ක්‍රිකට් පරිපාලනයේ නායකත්වය දැරූ බව අද බොහෝ දෙනෙකුට මතක නැත. ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය රණතුංගගේ අතුරු කමිටුව ප්‍රතික්ෂේප කළේය. ශම්මි අතුරු කමිටුවට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිලි කළේය. එදා බලවත් ඉන්දීය ක්‍රිකට් ආයතනය ද ශම්මි වෙනුවෙන් ඉදිරිපත් විය. අභියාචනාධිකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය නොවීය. ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ ක්‍රිකට් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ නිසාය. ඊට අමතරව රොෂාන් රණසිංහ දැරූ තරුණ කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුරවලින් ද ඉවත් කළේය. ක්‍රිකට් අමාත්‍ය ධුරයට හරින් ප්‍රනාන්දු පත් කළේය. ඔහු වහාම රොෂාන් රණසිංහ අතුරු කමිටුව පත් කිරීමට නිකුත් කළ ගැසට් පත්‍රය නිෂ්ක්‍රීය කළේය.
වික්‍රමසිංහ ජනාධිපතිවරයා එදා අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කළ ආකාරයටම ශම්මි වෙනුවෙන් ද පෙනී සිටියේය. අදටත් රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම මොනයම්ම තත්ත්වයක් යටතේදීවත් සාධාරණීකරණය කළ නොහැක. ඍජු දූෂණ චෝදනාවලට ලක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළියට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය පරාජය කළ ‘රනිල් රාජපක්ෂ’ ආණ්ඩුව, අවම වශයෙන් අභ්‍යන්තර විමසීමක් පවා නොකර රොෂාන් රණසිංහව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළේය.
එදා පාර්ලිමේන්තුව නියෝජනය කළ ජාජබ කණ්ඩායම තිදෙනකුගෙන් සමන්විත විය. පක්ෂ නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය එම සාමාජිකයින් විය. ඒ පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍ය ධුර අහිමි වූ රොෂාන් රණසිංහ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව ඍජුව වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට චෝදනා කළේය. තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම ඔවුන්ගේ මැදිහත්වීමෙන් සිදු වූ බව ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා තමන්ගේ ජිවිතයට යම් අනතුරක් සිදු වුවහොත් ඊට වික්‍රමසිංහ සහ සාගල රත්නායක වගකිව යුතු බව ප්‍රකාශ කළේය. තමන්ගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් නොකරන ලෙසට ද මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළේය.
ඒ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී තිබූ දැඩි අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා සුපුරුදු කමිටු පත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළේය. අර්බුදකාරී සහ ව්‍යාකූල තත්ත්වයන් තුළ නොයෙකුත් කමිටු පත් කිරීම දේශපාලනික උපක්‍රමයකි. ප්‍රශ්නය යම්කිසි ආකාරයකට යටපත් වන තුරු ආණ්ඩුව අනුගමනය කළේ කල් ගැනීමේ ක්‍රමවේදයකි. එය වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද පාවිච්චි කළේය. අලි සබ්රි, කාංචන විජේසේකර, ටිරාන් අලස් සහ මනූෂ නානායක්කාර අමාත්‍යවරුන් සම්පාදනය කර 2024 ජනවාරි 8 වික්‍රමසිංහ ජනාධිපතිවරයාට භාර දුන් වාර්තාව ප්‍රධාන යෝජනා 40 ක් පමණ ඉදිරිපත් කළේය. ඒ අනුව ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු කේ. ටී. චිත්‍රසිරි ප්‍රමුඛ කණ්ඩායමකට භාර විය. ඒ නව ව්‍යවස්ථාව 2025 ජුනි 15 වැනි දින වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලැබුණ නමුත් ‘රනිල් රාජපක්ෂ’ ක්‍රිකට් මණ්ඩලයට අත පෙවීමක් සිදු නොවීය.
ක්‍රිකට් ආන්දෝලනය පාර්ලිමේන්තුවට සහ පොහොට්ටු පක්ෂයට කළ බලපෑම අවධාරණය කළේ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව නොහොත් කෝප් කමිටුව ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවූ අවස්ථාවේදීය. එම කාරක සභාවේ ප්‍රධානි මහාචාර්ය රංජිත් බණ්ඩාර ක්‍රිකට් ආයතනයට වාසිදායක ආකාරයට කමිටු ක්‍රියාවලිය මෙහෙයවූ බවට සජබ පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත චෝදනා කළේය. සියලුම පෞද්ගලික නාලිකා විකාශය කළ එම සිදුවීමේ වීඩියෝ සමාජ මාධ්‍යය තුළ අදටත් ඇති බැවින් ඒ පිළිබඳව උනන්දුවක් ඇති අයෙකුට තම මතකය අලුත් කර ගත හැකිය. අවසානයේ ක්‍රිකට් ආයතනය පිළිබඳව විමර්ශනය කෝප් ප්‍රධානියාගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට පාර්ලිමේන්තුව/අදාළ කාරක සභාව තීරණය කළේය.
රටේ සමස්ත කඩා වැටීම තුළ මැතිසබය පිරිහීම වැළැක්විය නොහැක. වර්තමාන කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර (ජාජබ/ ගාල්ල දිස්ත්‍රික්කය) මෑතකදී සජබ චෝදනාවට ලක්විය. ඒ අප්‍රේල් 10 දින ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් චෝදනාවට ලක්වී සිටින බලශක්ති අමාත්‍ය පුන්‍යකුමාර ජයකොඩිට එරෙහිව පැවැත්වූ විශ්වාසභංග විවාදයේ දීය. ජාතික විගණන කාර්යාලයෙන් 2025/2026 සඳහා ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් කැඳවූ කෝප් කමිටු සභාපතිවරයා පසුව අදාළ ආයතනයට බලපෑම් කළ බවට සජබ මන්ත්‍රී මුජිබර් රහමන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කෝප් සභාපතිවරයා ජාතික විගණන කාර්යාලයට ගොස් විගණනය මෙහෙයවූ නිලධාරීන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍යතාව අවධාරණය කළේය.
කෙසේ වෙතත් ජාතික විගණන කාර්යාලය 2025/2026 ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අප්‍රේල් 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාව අදාළ ටෙන්ඩරය පිරිනැමූ ට්‍රයිඩන්ට් කැම්ෆර් නමැති ඉන්දියානු සමාගම තෝරාගැනීමට අවශ්‍ය මූලික සුදුසුකමවත් සපුරා නොතිබූ බවට ප්‍රකාශ කළේය. ජාජබ ආණ්ඩුවට නිදහසට කීමට දෙයක් තිබිය නොහැක.
විගණනයට යටත් වන ආයතන සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය ඉදිරිපත් ඉදිරිපත් කරන වාර්තා පිළිගැනීමට සෑම රජයක්ම සූදානම් විය යුතුය. විගණනය නොසලකා කටයුතු කිරීම රටේ ආර්ථික සහ මූල්‍ය විශ්වාසවන්තභාවය පරිහානියට පත්වීමට හේතු වූ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.
ඔක්තෝබර් 9 සිට නොවැම්බර් 13, 2022 ඔස්ටේ්‍රලියාවේ පැවැත්වූ ඔ 20 ලෝක කුසලානය තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව රජය නොසලකා හැරියේය. ඒ වාර්තාව ක්‍රිකට් ආයතනයේ සැබෑව අනාවරණය කළේය. ආයතනය සතු මුදල් පෞද්ගලික ධනය ලෙස පාවිච්චි කිරීම, ආයතනයේ මැදිහත්වීමෙන් ඔස්ටේ්‍රලියානු වීසා ලබා ගැනීම, විශේෂ ගෙවීම් ඇතුළු අක්‍රමිකතා හෙළිදරව් විය. ශම්මි සිල්වා තම හිතවතුන් සහ නෑදෑයින් විශේෂ වරප්‍රසාද ලබා දීම ද අනාවරණය විය. එදා රජය නිසි පියවර ගනු ලැබුවේ නම් 2023 තත්ත්වය වළක්වා ගැනීමට අවස්ථාවක් තිබිණි.
ක්‍රිකට් ආයතනය විගණනය අභියෝගයට ලක්කර ඇත. තමන්ගේ මුදල් විගණනය කිරීම අවශ්‍ය නොවන බව ප්‍රකාශ කිරීමට එම ආයතනය පෙළඹීම කිසිසේත්ම පිළිගත නොහැක. විධායකය වැරදි පාරේ යන ආයතනයක් වෙනුවෙන් පෙනී සිටීම දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කළ හැකිය.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානි ශම්මි සිල්වා අතර ගැටුමේදී වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඍජුව ශම්මි සිල්වා වෙනුවෙන් මැදිහත් වූ බව අමත්‍යවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. ඒ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට සති තුනකට පෙරය. ක්‍රිකට් අතුරු කමිටුව වහාම ඉවත් කර ගත යුතු බවත් එසේ නොකළහොත් ජනාධිපතිවරයා ලෙස තමන් ක්‍රීඩාව පවරා ගන්න බවට අනතුරු ඇඟවූ බවත් රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර ලෙස, තමන්ව අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ජනාධිපතිවරයාට කැමති දෙයක් කළ හැකි බවත් මොනයම්ම තත්ත්වයක් යටතේදීවත් පත් කළ අතුරු කමිටුව තමන් ඉවත් කර ගන්නේ නැති බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අලි සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හතර දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් ‘විමර්ශනය’ට කැබිනට් අනු කමිටුවක් පත්කළේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ විරෝධය යටපත් කිරීමට ය. ක්‍රිකට් ආයතනයේ එවකට සිටි පාලනය ආරක්ෂා කර ගැනීමට යැයි කීවත් වරදක් නැත.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026