ඩොලර් මිලියන 2.5 ක් අහිමි වීම ගැන
මුදල් කාරක සභාව මසක් ඇතුළත වාර්තාවක් ඉල්ලයි
මහා භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 2.5 ක් අහිමිවීමේ සිදුවීම ගැන රටේ බලවත් කතාබහක් ඇතිව තිබෙන අතරේ එම සිදුවීම හා සම්බන්ධ තවත් කනගාටුදායක පුවතක් ඉකුත් බ්‍රහස්පතින්දා (30) වාර්තා විය. එනම් මහා භාණ්ඩාගාරයට මේ මුදල් අහිමිවීමේ සිදුවීමට වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව්දෙනාගෙන් එක් නිලධාරියකු අභිරහස් ලෙස මරණයට පත් වීමයි. රංග රාජපක්ෂ මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට එදින සවස කුලියාපිටිය පොලිසියට තොරතුරක් ලැබීමත් සමග මේ සිදුවීම අනාවරණය වූ අතර මේ ගැන මේ ලියුම්කරුට ද ලැබුණු දුරකථන ඇමතුමකින් කියවුණේ මහා භාණ්ඩාගාරයට මුදල් අහිමිවීමේ සිදුවීමට වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් එක් නිලධාරියකු සියදිවි නසාගෙන ඇති බවකි. ඒ වන විට එම නිලධාරියා කවුද යන තොරතුරු කිසිවක් අප නොදැන සිටි අතර ඉන් පසුව මුදල් අමාත්‍යාංශයේ පැත්තෙන් ඔහුගේ නම, තනතුර ඇතුළු විස්තර අප වෙත ලැබිණි. ඒ අනුව මෙසේ මරණයට පත්ව සිටියේ මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු වූ රංග රාජපක්ෂ මහතා ය. ඔහු සිය ගෙවත්තේදී කැපුම් තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස් තිබුණ බව මාධ්‍ය වාර්තා කර තිබේ. රංග රාජපක්ෂ මහතා ගෙවත්තේ වැටී සිටි අයුරු දුටු ඔහුගේ දියණිය ඒ පිළිබඳව මවට දැනුම්දීමෙන් අනතුරුව ඇය විසින් ඒ ගැන පොලිසියට දැනුම් දී ඇති බව පොලිසිය විසින් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.
මෙය රටේ ඉමහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන ඉතා සැකසහිත මරණයක් බවට පත්ව ඇත. එනම් මෙය සියදිවි නසා ගැනීමක් ද එසේත් නැතහොත් සාක්ෂි විනාශ කිරීම සඳහා කළ මනුෂ්‍ය ඝාතනයක් ද යන්නයි. මේ ලිපිය ලියමින් සිටින මොහොත වන විටත් රංග රාජපක්ෂගේ මරණය, සියදිවි නසා ගැනීමක් ද එසේ නැතහොත් ඝාතනයක් ද යන්න ගැන තවමත් නිශ්චිතව නිගමනයක් ප්‍රකාශයට පත් වී නොතිබිණි. එහෙත් ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ පිටුපස කොටසේදී තියුණු ආයුධයකින් සිය බල නහරය කපා ගෙන සියදිවි හානි කරගෙන ඇති බවට පොලිසිය සඳහන් කළ බවයි. පොලිසියට ලද තොරතුරු අනුව පොලිසිය කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් සිදුකළ පරීක්ෂා කිරීමේදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙන අයුරු සහ මිය ගිය රාජපක්ෂ මහතාගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබෙන බව ද නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම ඔහු වැටී සිටි ස්ථානය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක් ද හමුවී ඇත. ඇතැම් විට මෙය සියදිවි නසා ගැනීමක් විය හැකි වුව ද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමටත් පෙර ඒ ගැන පොලිසියට නිශ්චිත නිගමනයක් ලබාදිය හැකි ද යන්න අපට නම් ප්‍රශ්නයකි.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය දැනගෙන ඇත්තේ 2026 ජනවාරි මාසයේ දීය. එසේ වුවත් ඒ පිළිබඳ රටට අනාවරණය නොකර ඔවුන් එය රහසක් ලෙස තබාගෙන සිටියදී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කථානායකවරයාට යවන ලද ලිපියකින් මේ සිදුවීම රටට අනාවරණය විය. මාස ගණනාවක් තිස්සේ, මේ සිදුවීම රටට අනාවරණය නොකළේ මන්ද යන්න අපට පැහැදිලි නැත. අඩු තරමේ 2026 ජනවාරි මාසයේ මේ මුදල් නැතිවීම මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රමාද වී හෝ දැනගත් පසු ඒ ගැන මුදල් ඇමැතිවරයා ද වන ජනාධිපතිවරයා දැනුවත් කළේ ද යන්න ගැනත් තවමත් පැහැදිලි නැත. එසේම මේ ගැන අමාත්‍ය මණ්ඩලයට හෝ රටේ මුදල් වගකීම දරණ පාර්ලිමේන්තුවට හෝ දැනුම්වත් කළ බවක් අපට දැනගන්නට නැත. මෙය රටට අනාවරණය නොකළේ, මේ ගැන පරීක්ෂණවලට බාධා වීම වැළැක්වීම සඳහා බවට වන අදහසක් ද බලධාරීන්ගෙන් ප්‍රකාශයට පත්වෙමින් තිබේ.
රංග රාජපක්ෂ
මෙවැනි විශාල මහජන මුදලකට හානියක් සිදු වූ විට මේ ආකාරයෙන් මුදල් අමාත්‍යාංශයට රහසේ කටයුතු කරන්න පුළුවන් ද? මෙය බොහෝ දෙනෙක් පාහේ ප්‍රශ්න කරන කාරණයකි. එසේම මේ ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙය මූල්‍ය වංචාවක් බවට ජනයා තුළ සැකසංකා ජනිත වීමට ද හේතුවක් වී තිබේ. ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ ලිපිය නොවන්නට මෙය තවමත් රට නොදන්නවා වන්නට ද පුළුවන.
මේ සිදුවීම රටට නොකීවත් මේ ගැන අනාවරණය වීමෙන් පසුව මුදල් අමාත්‍යාංශය විසින් මේ සිදුවීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා නිලධාරීන් කිහිපදෙනකුට විනය පියවර ගෙන ඇත. අභිරහස් ලෙස මරණයට පත්ව ඇති රංග රාජපක්ෂ මහතා ද මෙසේ වැඩ තහනම් කිරීමට ලක් වූ අයෙකි.
මොහු ඇතුළු නිලධාරීන් සිව්දෙනකුගේ වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි. රංග රාජපක්ෂ මහතා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියකු ද වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඔහුව හොඳින් දන්නා බොහෝ දෙනෙක් ඔහු ගැන සමාජ මාධ්‍ය සටහන් තබා ඇත. ඒ බොහොමයකින් කියවෙන්නේ ඔහු ඉතාම හොඳ අයකු බවයි. අදූෂිත නිලධාරියෙක් බවයි. ඇතැම් විට ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූයේ ඔහු අතින් රාජකාරී ඉටු කිරීමේ දී සිදු වූ අත්වැරදීමක් නිසා ද යන්න අප හරියටම දන්නේ නැත. කෙසේ වෙතත් මේ සිදුවීම ගැන මේ නිලධාරියා බොහෝ තොරතුරු දැන සිටි අයෙක් බව පැවසේ. මේ ඇතැම් විට ඔහු දැන සිටි කරුණු පරීක්ෂණ ක්‍රියාවලියට අනාවරණය වීම වැළැක්වීම සඳහා එනම් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධියට අදාළ වැදගත් සාක්ෂි විනාශ කිරීම සඳහා ඔහුව ඝාතනය කළා ද? මෙවැනි විවිධ අදහස් ජනසමාජය හමුවේ කතාබහට ලක්ව ඇතත් මේ කිසිවක් තවමත් නිශ්චිතව නිගමනය වී නැත. ඒ නිසා ජනයාට සිදුවන්නේ ඉදිරි පරීක්ෂණ ක්‍රියාවලිය දෙස බලාගෙන සිටීමටය. එහෙත් වඩාත්ම වැදගත් දෙය වන්නේ මේ කවර දේ අනාවරණය වුවත් මහා භාණ්ඩාගාරයට අහිමි වූ හැකරුන් අතට ගිය බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල් නැවත ලැබෙනු ඇති ද යන්නයි.
මෙහේ අය සම්බන්ධ නොවී ජාත්‍යන්තර හැකරෙක් අතට අනවබෝධයෙන් මේ මුදල් අවස්ථා 10 කදී ගෙවීම නිසාම මේ පාඩුව භාණ්ඩාගාරයට සිදු වූයේ නම් මේ තොරතුරු තාක්ෂණ විෂය දන්නා අය නම් කියන්නේ මේ මුදල් ලැබීම ඉතාම අවිනිශ්චිත බවයි. එසේ නම් මේ මුදල් සොයාගත නොහැකි වුවහොත් මේ පාඩුව පියවා ගත හැක්කේ කෙසේ ද? මේ අහිමි වූ විශාල මුදල ආණ්ඩුවේ කිසිවෙක් ගෙදරින් ගෙනවිත් දෙන්නේ නැත. පැලවත්තේ ජවිපෙ පක්ෂ කාර්යාලයෙන් මහා භාණ්ඩාගාරයට මේ මුදල පියවන්නේ ද නැත. එසේම මෙය නිලධාරීන්ගේ වරදක් නිසා පමණක් සිදු වූ දෙයක් නම් මෙතරම් විශාල මුදලක් එම නිලධාරීන් කිහිප දෙනාගෙන් ආණ්ඩුවට අයකර ගත හැකි ද? දැනටමත් එක් නිලධාරියෙක් මරණයට ද පත්ව ඇත. ඒ නිසා මේ අහිමි වූ මුදල සොයාගත නොහැකි වුවහොත් බොහෝ විට සිදු වනු ඇත්තේ මේ පාඩුව මේ රටේ සාමාන්‍ය ජනයා පිට පැටවීමයි. දැනටමත් රටේ අතිමහත් බහුතර ජනයා සිටින්නේ ඉතාම අමාරුවෙන් බලවත් ආර්ථික පීඩනයෙන් බව ද රහසක් නොවේ. එසේ නම් මේ පාඩු නිසා ද වනු ඇත්තේ සාමාන්‍ය ජනයා මත තවත් අධික බරක් පැටවීම නොවේද? මේ හැර වෙනත් විකල්පයක් ආණ්ඩුවට තිබේ ද? අවසානයේ සිදුවනු ඇත්තේ මේ සඳහා පරීක්ෂණ කිරීමට වැය වන මුදල් ද සාමාන්‍ය මහජනයා වෙත පැටවීම නොවේ ද? තැපෑලේ ද තවත් ඩොලර් ලක්ෂ හයක ගෙවීමකට ද වූ දෙයක් නැත. ඒ ගැන ද දැන් පරීක්ෂණ පටන් ගෙන තිබේ. යමක් සිදු වූ විට පරීක්ෂණ ඕනෑ තරම් කළ හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ එම අහිමි වූ මුදල් නැවත ලබාගත හැකි ද යන්නයි.
මුදල් අමාත්‍යාංශයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මිය ගිය රංග රාජපක්ෂ මහතාව අවස්ථා තුනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබී ඇත. එලෙස ඔහුව කැඳවා ඇත්තේ, සේවයේ නිරතව සිටින සමයේ එක් අවස්ථාවකත් වැඩ තහනමට ලක්ව සිටින සමයේ අවස්ථා දෙකකදීත් ලෙස බව මාධ්‍ය වාර්තා කර ඇත.
හර්ෂණ සුර්යප්පෙරුම
ඒ සෑම අවස්ථාවකදීම ඔහු පැමිණ විමර්ශන සඳහා සහාය ලබා දී ඇති බවත්, ඔහුගේ පරිගණකය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වන අතර මෙතෙක් සිදුකළ විමර්ශනවලදී, හැකර්වරුන් විසින් ව්‍යාජ ඊ මේල් පණිවුඩය මගින් ලබාදුන් බැංකු ගිණුමට මුදල් බැරකිරීමේ මූලික පියවර මෙම නිලධාරියාගේ නොසැලකිල්ල මත සිදුව ඇති බවට හෙළිවී ඇති බව ද එම මාධ්‍ය වාර්තාවලින් පැවසේ. ඒ අනුව හැකර්වරුන් විසින් එවන ලද පළමු ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දක්වා ඇත්තේ ද මොහු විසින් බව ද වාර්තා වේ. මේ තොරතුරු අධිකරණයට වාර්තා කිරීමෙන් පසුව මොහු ඇතුළු නිලධාරීන්ට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.
ඔහුගේ පසුබිම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී ඔහු දූෂිත නිලධාරියකු නොවන බවට ද මූලික විමර්ශනවලදී හෙළිව ඇත. මේවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ සම්බන්ධ ඉදිරි අධිකරණ ක්‍රියාවලිය හරහා බොහෝ තොරතුරු රටට අනාවරණය වනු ඇත. ගමේ පාසලින් හොඳට ඉගෙනගෙන ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් උපාධිය ලබා, මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ලෙස සේවය කරමින් සිටියදී මේ සිදුවීම නිසා මෙසේ වැඩ තහනමට ලක්වීම නිසා ගෙදරට සහ සමාජයට මුහුණ දීමට අපහසුව මේ නිලධාරියා බලවත් සිත්තැවුලකට පත් වන්නට ඇත. මෙය රටම කතා කරමින් සිටින ඉතා ආන්දෝලනාත්මක සිදුවීමක් නිසා ඔහු බලවත් මානසික පීඩනයකට පත්ව ඇතැම් විට සියදිවි නසා ගත්තා ද විය හැකිය. එසේ වූවා නම් එය ඉතා කනගාටුදායක සිදුවීමකි. කෙසේ හෝ ඔහුගේ මරණයට ඇත්තම හේතුව දන්නේ මිය ගිය ඔහුම මිස වෙනත් අයකු නොවේ. රංග රාජපක්ෂගේ මරණය ඝාතනයක් වුවත් සියදිවි නසා ගැනීමක් වුවත් ඔහු මේ සිදුවීමේ බොහෝ තොරතුරු දන්නා සාක්ෂිකරුවකු බවට කිසිම සැකයක් නැත. ඒ නිසා ඔහුගේ මරණය ඉදිරි විමර්ශනවලට ද ඉතා අහිතකර තත්ත්වයක් උද්ගත කරන බව සිතිය හැකිය. මේ අනුව දැන් සිදුවනු ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සොරකම් කළ හැකරා සෙවීමට අමතරව රංග රාජපක්ෂගේ මරණයේ අභිරහස ද සෙවීමට ය. පෙර කිසිදා නොවූ විරූ ලෙස මහා භාණ්ඩාගාරයේ මුදල් හකරුන් අතට පත් වීම මෙන්ම මේ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ හදිසි මරණය ද ආණ්ඩුවට බලවත් කැළලක් වනු ඇත.
වාදවිවාදවලින් රත් වූ මුදල් කාරක සභාව
හර්ෂ ද සිල්වා
පසුගිය බ්‍රහස්පතින්දා (30) පාර්ලිමේන්තුවේදී පැවති මුදල් කාරක සභාව වාදවිවාද ඉතා උණුසුම් තත්ත්වයට පත් වූ බව අපට දැන ගැනීමට ඇත. එදින විශේෂත්වය වූයේ භාණ්ඩාගාරයට අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් අහිමි වීමේ සිදුවීම ගැන ප්‍රශ්න කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා එදින කැඳවා තිබීමයි. මුලින් ප්‍රකාශ වූයේ ඔහු මේ රැස්වීමට නොපැමිණෙන බවකි. එහෙත් අවසන් මොහොතේ මාධ්‍ය වාර්තා කර සිටියේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එදින මුදල් කාරක සභා රැස්වීමට පැමිණෙන බවකි. මේ ගැන එදින පෙරවරුවේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් මේ ලියුම්කරු විමසූ විට ඔහු කියා සිටියේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ආවත් නැතත් නියමිත පරිදි මුදල් කාරක සභා රැස්වීම පවත්වන බවයි. මෙවැනි අවිනිශ්චිත තත්ත්වයක් තිබුණත් එම රැස්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැමිණ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී තිබුණි. එම රැස්වීමේ දී ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරු අතර මෙන්ම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මාධ්‍ය ප්‍රකාශ ගැන ද වාදයට ලක්ව ඇත. කෙසේ හෝ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම කාරක සහා රැස්වීමෙන් පසුව මාධ්‍යයට ප්‍රකාශයක් කළේය. ඔහු කියා සිටියේ විශාල හොරකමක් සිදුව ඇති බවයි. මෙය හැකර් ප්‍රහාරයක් ලෙස ඔහු සඳහන් කළේ නැත, එසේම අවස්ථා 10 ක දී සිදු කළ මෙම භාණ්ඩාගාර ගෙවීම් සොරකමට ලක්ව ඇති බව ද ඔහු මාධ්‍ය විමසුම්වලට පිළිතුරු දෙමින් කියා සිටියේය. රාජ්‍ය භාණ්ඩාගාරය වැනි ආයතනයක් පිට පිට අවස්ථා 10 ක දී හැකර්වරයකුට හසු වූවා යන්න බැලූ බැල්මටම අසාමාන්‍ය සිදුවීමකි. කෙසේ හෝ මේ මුදල් අහිමි වීම ගැන විමර්ශන ආයතන සොයා ගන්නා තොරතුරු අධිකරණයට වාර්තා කරනු ඇත. ඒ අනුව ඉදිරි අධිකරණ ක්‍රියාවලිය හරහා මේ සිදුවීමේ බොහෝ තොරතුරු අනාවරණය වනු ඇති බව ද අපට කිව හැකිය. එහෙත් මෙය ජාත්‍යන්තර හැකරකුගේ සොරකමක් නම් මේ මුදල් ඔහුගෙන් අයකරගත හැකි ද යන්න නම් ඉතාම අවිනිශ්චිත කාරණයක් වනු ඇති බව ද කිව යුතුය.
ඉතා උණුසුම් තත්ත්වයට පත් වූ පසුගිය මුදල් කාරක සභා රැස්වීමේ දී අවසානයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු තීරණය කර ඇත්තේ භාණ්ඩාගාරයට අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් අහිමි වීමේ සිදුවීම ගැන මසක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් ලබා ගැනීමටයි. ඒ අනුව මසක් තුළ එම වාර්තාව ලබාදෙන ලෙස පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට නිර්දේශ කර ඇත. පක්ෂ විපක්ෂ සියලු සාමාජිකයන්ගේ එකඟතාව ඇතුව මේ නිර්දේශය කළ බවද මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එදින (30) මාධ්‍යයට ප්‍රකාශ කළේය. මසක් යනු දීර්ඝ කාලයකි. මාසයක් තුළ මේ සිදුවීමට අදාළ තවත් බොහෝ දේ සිදුවීමට ඉඩ තිබේ. ඒ නිසා අපට නම් සිතෙනුයේ මීට වඩා කලින් සති දෙකක් වැනි කාලයකින් මේ ගැන වාර්තාවක් ලබා ගනිමින් මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වී අවශ්‍ය පියවර ගත්තා නම් වඩාත් හොඳ බවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026