මේ මාසේ 09 වැනිදාට රැකියාව අහිමි කරලා මාස දෙකක් තාම අපට සත පහක මුදලක්වත් ලැබිල නැහැ
එම්. ඩී. එස්. සම්පත්
රෑට නින්ද යන්නේ නැහැ. අපි කායිකව වගේම මානසිකවත් වැටිලා ඉන්නේ
ජනක
රෙදි කඩයක් දාන්න ගත්ත කඩේට කුලී ගෙවන්නෙ වෑන් එක උකසට තියලා
ඩබ්ලිව්. ඒ. ජී. අයි. වික්‍රමනායක
‘අල්ලපු අත්තත් නැහැ, පය ගහපු අත්තත් නැහැ’ යනුවෙන් ප්‍රස්ථාව පිරුළක් තිබේ. ඕනෑම කෙනෙක් එක අත්තක් අතහැර තවත් අත්තක් අල්ලන්නේ හිටියාටත් වඩා හොඳ තත්ත්වයක් උදාකර ගැනීමේ අරමුණිනි. අපි මේ කියන්නට යන පිරිසටත් සිදුව ඇත්තේ සිටි තැනින් අඩියක් හෝ උඩට ඒමේ බලාපොරොත්තුවෙන් ඇල්ලූ අත්තත් කඩාගෙන බිමට වැටීමේ කතාවකි. ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගිය පිරිසටත් දැන් සිදුව ඇත්තේ එම සන්තෑසියමය.
ලංකා විදුලිබල මණ්ඩලය දැන් නැත. ඒ වෙනුවට ඇත්තේ අලුතින් පිහිටු වූ සමාගම් හතරකි. ලංකා විදුලිබල මණ්ඩලය පවතින තාක් කල් දේශපාලඥයන් කියන විදිහට රටේ ප්‍රශ්න ගණනාවක් ඇතිවිණි. විදුලිබල මණ්ඩලය තනි ආයතනයක් වශයෙන් පවතින තාක් කල් පාඩු පිට පාඩු ලැබීය. විදුලි බල මණ්ඩලය ඈවර කර දැන් අලුත් සමාගම් පිහිටු වූ නිසා සියලු ප්‍රශ්න විසඳී තිබිය යුතුය. ඇත්තටම මේ කියන විදිහට ප්‍රශ්න විසඳී ඇත්ද? එහෙමත් නැත්නම්, ප්‍රශ්න තවත් වැඩි වී ඇත්ද?.
දැනගන්නට ඇති පරිදි නම් මෙතෙක් පැවති ප්‍රශ්න විසඳෙනවා වෙනුවට සිදුව ඇත්තේ තව තවත් ප්‍රශ්න වැඩිවීම පමණි. දැන් ලොකුම ප්‍රශ්නය මතුව ඇත්තේ විදුලි සේවකයන්ටය. විදුලිබල මණ්ඩලය ඈවර කිරීමේදී ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වූ සේවකයන්ගේ වන්දි මුදල් තවමත් ගෙවා නැත. ඊට අමතරව එදා සිට පැවැති අනෙකුත් ප්‍රශ්නද තවමත් එහෙම මය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හැමදාමත් කිව්වේ විදුලිබල මණ්ඩලය පාඩු ලබන නිසා වියදම් පියවාගැනීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා වන වැඩපිළිවෙළක් සකසන ලෙසයි. දේශපාලනඥයන් දිගින් දිගටම කිව්වේ විදුලිබල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන නිසා ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවය. ඒ සෑම අවස්ථාවකම විපක්‍ෂයේ මතය වූයේ ප්‍රතිව්‍යුහගතකරණය කියන ලේබලය අලවා විදුලිබල මණ්ඩලය විකුණා දැමීමට ආණ්ඩුව කැසකවන බවය. ඒ මොන නමින් ආවත් කාලයෙන් කාලයට පත්වුණු ආණ්ඩු මොන තරම් පිළියම් යෙදුවත් ඉන් එකක් හෝ ඵලක් නොවීය.
ඒ අතරේ ඇතැමුන් කීවේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ වැඩි පඩි නිසා පාඩු ලබන බවය. තවත් පිරිසක් කීවේ විදුලිබල මණ්ඩලයේ සේවක අතිරික්තයක් පවතින නිසා පාඩු ලබන බවය. තවත් පිරිසකගේ මතය වූයේ ජනන වියදම් ඉහළ නිසා මණ්ඩලය පාඩු ලබන බවය. මේ කොයි එක වුණත් අවසානයේ රටේ ජනතාව තුළත් යම් මතයක් ඇතිවිණි. ඒ දිගින් දිගටම පාඩු ලබන විදුලි බල මණ්ඩලය මොන අටමගලයක් කර හෝ ජනතාවට බරක් නොවන තැනට පත්කර අඩු මිලට විදුලිය ලබාදෙන වැඩපිළිවෙළක් සැකසිය යුතු බවය. යහපාලන ආණ්ඩු සමයේ මෙන්ම ඉන් පසුව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන කාලයේ විදුලිබල මණ්ඩලය කෙලින්ම පෞද්ගලීකරණය කිරීමට පිඹුරුපත් සැකසිණි. සේවකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හා මහජන විරෝධය හමුවේ එය හකුලාගත් අතර වත්මන් ආණ්ඩුව පෞද්ගලීකරණය යන නාම පුවරුව වෙනස් කොට ප්‍රතිව්‍යුගතකරණය යන නාම පුවරුව යටතේ විදුලි බලමණ්ඩලය සමාගම් හතරකට කඩන ලද්දේ ප්‍රශ්න රැසකට විසඳුම් ලබාදීමේ අරමුණිනි.
ඒ අනුව 2351/11 2025.08.26 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුගතව අංක 36 දරන ලංකා විදුලිබල පනතටද ප්‍රකාරව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුගතකරණය කෙරිණි. 2026.03.09 දින සිට ලංකා විදුලි බල මණ්ඩලය සම්පූර්ණයෙන්ම අහෝසි විණි. ඒ වෙනුවට පිහිටු වූ සමාගම් හතර වන්නේ නැෂනල් සිස්ටම් ඔපරේටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රොවයිඩර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ලංකා ඉලෙක්ටි්‍රසිටි ජෙනරේෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඉලෙක්ටි්‍රසිටි ඩිස්ටි්‍රබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ය.
කැමති සමාගමකට යන්න අවස්ථාව
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමේදී එහි සේවකයන්ට තමන් කැමති සමාගමකට යෑමේ අවස්ථාව සැලසිනි. එසේ නොයන සේවකයන්ට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යෑමේ අවස්ථාවද සලසන ලදී. ඒ අනුව තවදුරටත් ලංකා විදුලිබල මණ්ඩලය සමඟ සේවය කිරීමට අකැමැති වූ සේවකයන් 1898 ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගියේ ලබා දෙනවා යැයි කියූ ලක්ෂ 50ක වන්දි මුදල ලබාගෙන වෙනත්
රැකියාවක් හෝ කර්මාන්තයක් කිරීමේ අරමුණ ඇතිවය.
ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කරන්නට පෙර වගකිවයුත්තන් කීවේ කීවේ විශ්‍රාම ගන්නා සේවකයන්ට ආකර්ෂණීය වන්දි මුදලක් විශ්‍රාම ගන්නා අවස්ථාවේම ලබා ගත හැකි බවය. එම කතාබහට රැවටුනු තරුණ සේවකයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ සේවකයන්ද ඔවුන්ගේ වචනය විශ්වාස කළහ. ‘අහෝ…’ අද සිදුව ඇත්තේ ඔවුන් සිහිනයකින් හෝ නොසිතූ සිදුවීමකි. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුගතකරණය කර දැන් මාස දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් එම සේවකයන්ගේ වන්දි මුදල් ගැන දැන් කිසි කතා බහක් නැත.
කලට වෙලාවට ඔවුන්ගේ බඩ කට පිරෙන නිසාදෝ ඔවුන්ට දැන් අනෙක් සේවකයන් ගැන වගේ වගක් නැත. ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවකයන්ට දැන් ‘අල්ලපු අත්තත් නැත, පය ගහපු අත්තත් නැත. ඒ ගැන විමසන්නට දැන් විදුලිබල මණ්ඩලයත් නැත. අද වන විට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවකයන් පත්ව ඇත්තේ අන්ත අසරණ තත්ත්වයකටය.
අවුරුද්දට පෙර වන්දි
විදුලිබල මණ්ඩලය ඈවර කර මාසයකට ආසන්න කාලයක් ගතවීත් තම වන්දි මුදල් නොලැබීමත් ඒ ගැන කිසිදු කතාබහක් හෝ නැති තැන ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවකයන් ඒ ගැන බලශක්ති නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් විමසීමේදී කියා ඇත්තේ වන්දි මුදලින් 50% සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ලබාදෙන බවය. දැන් සිංහල හා හින්දු අලුත් අවුරුදු පසු වී වෙසක් පෝයටත් ළංවී තිබේ. නමුත් තවමත් ඒ ගැන බලධාරීන්ට වගේ වගක් නැත. වෙනදාට හිතේ හැටියට අවුරුදු සැමරූ විදුලි සේවකයන්ට මෙදා අවුරුද්දේ සිදුවුණේ අවුරුදු කනවා වෙනුවට හිඟා කෑමටය. මහත් ආඩම්බරයෙන් සිටි පිරිසකට අද සිදුව ඇත්තේ කාට හෝ අතපාන්නටය. එහෙමත් නැතිනම් සිඟමන් යදින්නටය. මේ කිසිවක් තමන්ගේ වරදින් සිදුවූ ඒවා නොවේ. එසේ සිදුව ඇත්තේ මීට වගකිවයුතු පිරිස් නිසි කලට වේලාවට තම රාජකාරිය ඉටු නොකිරීමය.
ආණ්ඩුවේ වචනය විශ්වාස කරපු මිනිස්සු
එම්. ඩී. එස්. සම්පත් වසර 15 කාලයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කොට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගිය සේවකයෙකි. ඒ දහසක් බලාපොරොත්තු ඇතිවය. අද ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් ගසාගෙන ගොස් ඇත. ඔහු ඒ පිළිබඳ අපට කීවේ වේදනාබර දෙනෙතින් යුතුවය.
“මගේ නම එම්. ඩී. එස්. සම්පත්. මම අවුරුදු 15ක කාලයක් විදුලි බල මණ්ඩලයේ සේවය කළා. මට තව අවුරුදු 20ක කාලයක් සේවය කරන්න අවස්ථාව තිබුණා. එහෙම තිබියදී තමයි ආණ්ඩුව ගෙනාපු ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ විශ්වාස කරලා විදුලිබල මණ්ඩලයෙන් ස්වෙච්ඡාවෙන් ඉවත් වුණේ. ආණ්ඩුව අපට වී. ආර්. එස්. එක දෙනවා කියපු නිසා.
මාර්තු 9 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් කුමාර ජයකොඩි ඇමැතිවරයා අපේ සේවය අවසන් කරලා එතන ඉඳන් ලක්ෂ 50ක වන්දි මුදල ලබා දෙනවා කියලා පොරොන්දු වුණා. නමුත් මේ වෙන තෙක් අපිට සත පහක මුදලක්වත් ලැබිල නැහැ. මේ මාසේ 09 වැනිදාට අපේ රැකියාව අහිමි කරලා මාස දෙකක් වෙනවා.
මම අයින් වුණේ මගේම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන හොඳින් ජීවත් වෙන්න කියලා හිතාගෙන. ඒත් දැන් වෙලා තියෙන්නෙ හිටිය තනිනුත් පල්ලෙහාට වැටිච්ච එක. අද පවතින ජීවන වියදමත් එක්ක රැකියාවක් නැතිව ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
බලශක්ති නියෝජ්‍ය ඇමැතිවරයාව තුන් හතර පාරක් හම්බවුණාට පස්සේ ඔහු පොරොන්දු වුණා අවුරුද්දෙන් පස්සේ 15 වැනිදා ඉඳන් රාජ්‍ය ආයතන වැඩ නිසා අපට 50%ක ගෙවීමක් කරනවා කියලා. ඊට පස්සේ කිව්වා 20 වැනිදා ගෙවනවා කියලා. එදාට ලැබුණෙත් නැහැ. ආපහු කිව්වා 27 ගෙවනවා කියලා. ඒත් අද වෙනකන් ඒ එක පොරොන්දුවක් ඉෂ්ට වුණේ නැහැ.
ඒත් අපි අයින් වෙන්න කලින් ඇමැතිවරු ඔහොම කිව්වේ නැහැ. කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමැතිවරයත් අපි අයින් වෙන්න කලින් අවස්ථා කිහිපයකදීම කිව්වා බය නොවී අයින් වෙන්න නියමිත පරිදි වන්දි මුදල් ගෙවනවා කියලා. අනිත් එක අපි වෙන කොයි ආණ්ඩුවටත් වඩා මේ ආණ්ඩුවේ වචන විශ්වාස කළා. දැන් ඒ කතා මුකුත් නැහැ. ඒවා හුදු වචන විතරයි.
මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න කියලා හිතාගෙන කඩයක් ගත්තා. තවම කඩේ නොකෙරුවත් කුලී ගෙවන්න වෙලා. ආණ්ඩුවේ ඇමැතිවරු දැන් කියන්නේ අපි කැමැත්තෙන් රස්සාවෙන් අයින් වුණා කියලා. අපි කැමැත්තෙන් රස්සාවෙන් අයින් වුණා තමයි. ඒ අයින් වුණේ ආණ්ඩුවේ වචන විශ්වාස කරලා වන්දි මුදලින් ඉක්මනින් ව්‍යාපාරයක් පටන් අරගෙන ජීවිතේ ගොඩනගා ගන්න. එහෙම නැතුව සත පහක්වත් නැතුව දුක් විඳින්න නෙමෙයි.
අපට දැන් මේ ගැන අහන්න තැනක්වත් නැහැ. එක්කෝ ජනාධිපතිතුමාගෙන් විමසන්න ඕන. එහෙම නැත්නම් ජනාධිපති ලේකම්ගෙන් හෝ බලශක්ති ඇමැතිවරයාගෙන් විමසන්න වෙන්නේ. අලුතින් ආපු ඇමැතිවරයා හරි අපට සාධනීය පිළිතුරක් ලබාදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි දැන් මාස දෙකක්ම ඉවසුවා තවත් බලන් ඉන්න බැහැ. අපි ළඟදිම ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට එනවා අපේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගෙන.”
ගමටම ණයයි
ඩබ්ලිව් ඒ. ජී. අයි. වික්‍රමනායක ද ආණ්ඩුවේ වචනය විශ්වාස කර රුපියල් ලක්‍ෂ 50ක වන්දි මුදල ලබාගෙන ජීවිතය සිටින තැනින් අඩියක් හෝ ඉදිරියට ගෙන යෑමේ අරමුණින් විදුලිබල මණ්ඩලයෙන් ස්වෙච්ඡාවෙන් රැකියාවෙන් ඉවත් වූවෙකි. ඔහුගේ කතාවද සම්පත්ගේ කතාවට නොදෙවැනිය.
“මම 2007 වසරේදී විදුලි බල මණ්ඩලයට සම්බන්ධ වුණේ. මගේ සේවා කාලය අවුරුදු 19ක්. තව මට අවුරුදු 17ක් වැඩ කරන්න තිබුණා. එහෙම තියෙද්දි මේ දෙනවා කිව්ව වන්දි මුදල නිසා. ලක්ෂ 50ක වන්දි මුදලක් ලැබෙනවා කියන්නේ අපට නැගිටින්න පුළුවන් වාතාවරණයක්. ඒක නිසා තමයි අපි විශ්‍රාම ගියේ. නියෝජ්‍ය ඇමැති කිව්වා අවුරුද්දට කලින් අපට 50%ක් දෙනවා කියලා. 10 වැනිදා කැබිනට් එකට දානවා කිව්වට දැම්මේ නැහැ. ඊට පස්සේ 20 කැබිනට් එකට දානවා කිව්වත් දැම්මේ නැහැ. අපි 25 වැනිදා කොළඹට එන්න සූදානම් වුණේ. එතකොට කිව්වා 27 කැබිනට් එකට දානවා කියලා. 27 කැබිනට් එකට නොදැම්මොත් 28 කොළඹට එන්න තමයි සූදානම් වෙලා හිටියේ. එහෙම තියෙද්දි 27 වැනිදා හවස අපේ හතර පස් දෙනකුට කතා කරලා ඇමැතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දීලා තිබුණා. එදා කියලා තිබුණා 04 වැනිදා කැබිනට් මණ්ඩලයට දාලා 50%ක මුදලක් ලබා දෙන්න කටයුතු කරනවා කියලා. 50%ක් දුන්නම අපේ ලෝන්වලට තියෙන සල්ලි කැපුනහම අතට හම්බෙන දෙයක් නැහැ. ඉතුරු 50% ගැන කිසිම කතාවක් නැහැ. මේ වෙලාවේ හැමෝම හොඳටම හෙම්බත් වෙලා ඉන්න හින්දා 04 වැනිදා වෙනකන් ඉවසනවා. එහෙම නැත්තම් පවුල්වල කට්ටියක් අරගෙන ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට ඇවිත් පදිංචි වෙනවා. ඇත්තම කිව්වොත් දැන් අපිට ගමේවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. ඒ තරමට ණයයි. මෙච්චර ලොකු රාජ්‍ය ආයතනයක් මේ විදිහට අපිව මුළාවෙ දායි කියලා හිතුවේ නැහැ.
මම රෙදි කඩයක් දාන්න හිතාගෙන ටවුන් එකෙන් කඩේකුත් කුලියට ගත්තා. දැන් රෙදි ටික ගන්න විදිහක් නැහැ. ජනවාරි මාසයේ ඉඳන් ඒ කඩේට රුපියල් 40,000 ගාණෙ කඩ කුලී ගෙවනවා. අන්තිමට කරන්න දෙයක් නැතුව මගේ ළඟ තිබුණු වෑන් එකක් උකසට තියලා තමයි දැන් ඒ මුදල් ගෙවාගෙන යන්නේ. ගොඩක් දෙනෙක් මේ මුදල් ලැබෙයි කියලා හිතලා එක එක්කෙනාගෙන් ඉල්ලගෙන ව්‍යාපාරවලට මුදල් යෙදෙව්වා. දැන් ඒවා ගෙවා ගන්න බැහැ. මේ තියෙන තත්ත්වයත් එක්ක ඔය හම්බෙන එක රුපියලකින් ටොෆියක්වත් කන්න හම්බවෙන්නේ නැහැ. ඒ තරමට ණයයි.”
තමන්ට තිබූ එකම ජීවන වෘත්තියත් අහිමිවීම හේතුවෙන් දැන් හරිහැටි නින්දක්වත් නොයන බව කියන්නේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි ජනකය. ඔහු දැන් කල් ගෙවන්නේ බලාගත් අත බලාගෙනය. ඒ තරමටම ඔහුට සිය ජීවිතය එපාවී ඇත. මේ ඔහුගේ කතාවයි.
“2026 මාර්තු මාසේ 06 වැනිදා ගැසට් එක ගහලා 06 වැනිදා යන්න කිව්වා. ඒ වෙනකොට අපට වන්දි මුදල වශයෙන් ලක්ෂ 50ක් දෙනවා කිව්වා. මගේ දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. නෝනා, නෝනගේ තාත්තා, අපේ තාත්තා මේ හැම කෙනෙක්ම යැපුනේ මගේ පඩියෙන්. ලක්ෂ 50ක් එකපාර දෙනවා කිව්ව නිසා අපි පවුලෙ කට්ටිය සාකච්ඡා කරලා තීරණය කළා ව්‍යාපාරයක් හරි ඉඩමක් අරගෙන වගාවක් හරි කරනවා කියලා. දැන් මේ වෙනකොට ඒ සියලු බලාපොරොත්තු අපෙන් ගිලිහිලා ගිහිල්ලා. දැන් ජීවිතෙත් එක්ක එපා වෙලා. රෑට නින්ද යන්නේ නැහැ. අපි කායිකව වගේම මානසිකවත් වැටිලා ඉන්නේ. පහුගිය දවස්වල අපි ජීවත් වුණේ ඥාතීන්ගෙන් ඉල්ලගෙන. ඒ මිනිස්සුත් අපට බය නැතුව සල්ලි දුන්නා අද හෙට සල්ලි ලැබෙයි කියලා හිතලා. ඒගොල්ලෝ දැන් සල්ලි ඉල්ලනවා. මේවත් එක්ක දැන් ජීවිතෙත් එක්ක එපාවෙලා. අපිව ගෙදර යවන්න හදිස්සියක් තිබුණත් මුදල් දෙන්න ඒගොල්ලන්ට හදිස්සියක් නැහැ.”
ආණ්ඩුව ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කළේ අරමුණු රාශියක් පෙරදැරිවය. නමුත් අද වන විට ඒ අරමුණු කොතෙක් දුරට ඉටුවී ඇත්දැයි සැක සහිතය. අඩු කරනවා යැයි කී විදුලිබිල මේ වනවිට තිබුණාටත් වඩා වැඩි වී තිබේ. විදුලිබල මණ්ඩලයේ පාඩුව දෙගුණ තෙගුණ වී තිබේ. ජනතාවට මෙන්ම එහි සේවකයන්ටද ගැටලු රාශියක් නිර්මාණය කර ඇත. ආණ්ඩුව කර ඇත්තේ බය බරවායට පිටිකර බෙහෙත් බඳින වැඩක් බව කනගාටුවෙන් වුවත් කිව යුතුමය.
සමීර කන්නන්ගර
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026