2026 මැයි මස 03 වැනිදා ඉරිදා
ක්‍රීඩාව පිස්සුවක් නොවුණ ද අපේ රටේ මිනිස්සු ක්‍රිකට්වලට ආදරය කරන්නේ පිස්සුවෙනි. පිස්සුවේ හොඳම ටික පෙනෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වැදුණු යම් තරගයක් පරාද වූ විටය. එදාට ක්‍රිකට් ලෝලීන්ගේ පිස්සුව තදවේ. එය සාධාරණය. ඉඳහිට ගෙනෙන ඔලිම්පික් කප් ගැන හීන මවන අපට ක්‍රිකට් ජයග්‍රහණයක් යනු කප්පරකි. එහෙත් මේ මනෝ ව්‍යාධියට හසු නොවූ කිසිදු කලබලයකින් තොරව පිස්සු නැටූ කණ්ඩායමක් සිටියේය. ඒ ක්‍රිකට් පාලක මණ්ඩලයයි.
පසුගිය සතියේ ඒ සියල්ල වෙනස් විය. දැන් අපට අලුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තිත කමිටුවක් තිබේ. ක්‍රිකට් පාලක මණ්ඩලය දැන් නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තිත කමිටුවේ සභාපතිධුරය දරන්නේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ඉරාන් වික්‍රමරත්නය. ක්‍රිකට් පාලක මණ්ඩලයක් වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තිත කමිටුවක් පත් කිරීමෙන්ම පෙනී යන්නේ “සෑහෙන්න මට්ටමේ පරිවර්තනයක්” ක්‍රිකට්වලට වුවමනා බවය. තුවාල වී කුණුවී ඉහඳ පණුවන්ද බෝවී තිබුණු ක්‍රිකට් ගොඩගැනීම, සාධනීය පරිවර්තනයක් කරා ගෙනයෑම හිතන තරම් පහසු නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවර බව කීවාට ඇත්ත වශයෙන්ම ක්‍රිකට් නැත්තටම නැති කළේ “ක්‍රිකට්” පාලනය කළ උදවියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ස්වර්ණමය යුගය ඇරඹුණේ 1981 දී බව අපේ පිළිගැනීමයි. ඒ, ගාමිණී දිසානායක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයට පත්වීමත් සමගය. එහෙත් ගාමිණී දිසානායක යුගය රන් හා සමාන නම්, 1995 දී ආනන්ද රාජසිංහ හෙවත් ආනා පුංචිහේවා සභාපතිත්වයට පත් යුගය දියමන්ති නොව ඊටත් වඩා වටිනා ලෝහයකට සමාන කළ හැකිය.
මේ වනවිට ඉරාන් සම්බන්ධයෙන් ඉතාම නොවටිනා අන්දමේ කතා පැතිරේ. ක්‍රිකට් පරිවර්තිත කමිටුවේ සභාපතිධුරය සඳහා ඔහුගේ සුදුසුකම් කවරේද යන්න ප්‍රශ්න කෙරේ. තනතුරක් ලබාදීමේදී ඔහුගේ ආගම, කුලය, ජාතිය අදාළ නැත. සලකාබැලිය යුත්තේ ඔහු අදාළ තනතුර භාවිතා කරන ආකාරයයි. ඊට අවශ්‍ය සුදුසුකම් ඉරාන් වික්‍රමරත්න ඉඳුරාම සපුරා ඇති බව අපි විශ්වාස කරමු.
ඊට හොඳම උදාහරණය අප පෙර කී ආනා පුංචිහේවාය. ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලය භාර ගන්නා විට එහි බැංකු ගිණුමෙහි තිබී ඇත්තේ රුපියල් ලක්‍ෂ තුනක මුදලක් පමණි. 1996 මාර්තු මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දක්වා ගෙනඑන තෙක් ‘ආනා’ එම මුදල ඉතා අරපරිස්සමින් පාවිච්චි කළේය. ආනා පුංචිහේවා යනු ක්‍රිකට් ගැන දැනුමක් තිබූ මහත්මයෙක් නොවේ. එහෙත් ජාත්‍යන්තර ව්‍යාපාරයක විධායක ශ්‍රේණියේ තනතුරක් දැරූවෙකි. ඔහු සිය කළමනාකරණ හැකියාව භාවිතා කරමින් ක්‍රිකට් ක්‍රීඩාව අවශ්‍ය තැනට ගෙන ගියේ ක්‍රීඩකයන්ගේ ධෛර්යද විනයද එක ලෙස පවත්වාගනිමිනි. (එකල ස්වයං විනයක් සහිත ක්‍රීඩකයන් සපිරි කණ්ඩායමක් සිටි බවද අවධාරණය කළ යුතුය.) ක්‍රිකට් පාලක මණ්ඩලයේ “ක්‍රිකට් බිස්නස්” නියමාකාරයෙන් කළමනාකරණය කළේ ආනා පුංචිහේවාය. 1996 ලෝක කුසලානය දිනා ආ පසු ක්‍රීඩා අමාත්‍යාංශය ආනා පුංචිහේවා ගෙදර හැරියේය. එය පොතක් ලිවිය හැකි තරමේ කතාවකි.
1996 න් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම ක්‍රීඩකයන් බිහිකරන නිෂ්පාදනාගාරයක් විය. එම ක්‍රීඩකයන් වෙනත් තරග ජයගත්තද කිසිවිටෙක ලෝක කුසලානයක් දිනාගැනීමේ හැකියාවක් අපට ලැබුණේ නැත. සිදුවුණේ ටිකෙන් ටික “අපේ ක්‍රිකට්” පිරිහීම පමණි. ක්‍රිකට් ආයතනය ඊටත් වඩා වේගයෙන් පිරිහිණි. ඇතැම් ක්‍රිකට් නිලවරණ පළාත් සභා ඡන්ද සටන් ගාණට වැටිණි.
ක්‍රීඩකයන් විදෙස් සංචාරවලදී රස්තියාදුවේ යෑම, ඍංගාර කලාප සොයා යෑම එතැනින් නොනැවතී මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක්වීම අපට අසන්නට ලැබුණි. දවසින් දවස එන ආරංචි නරකම ඒවා මිස හොඳක් ඇහුනේ කලාතුරකිනි. අසීරුවෙන් එක් තරගයක් දිනන විට හුරේ දමන ක්‍රිකට් ලෝලීහු, එක දිගට තරග පරදින විට නොකෑවේ පොළවේ පස් පමණි. ඒ දිනවල ක්‍රිකට් පාලක මණ්ඩලයේ උදවිය කිසිදු අතුරු අන්තරාවක් නොමැතිව පාරේ තොටේ ගමන් කළා දැයි සිතනවිටත් පුදුමය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ තරම් වේගයෙන් සෝදාපාළුවට ලක්වෙද්දීත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කිසිදු හිරිකිතයක් නොමැතිව පුටු රත් කරමින් සිටියේ අති විශාල වැටුප් ලබමිනි. ක්‍රිකට් පරිපාලනය යනු මේ රටේ මුදා නොගත් කලාපයක් තරමටම, කිසිවෙකුට අත පෙවිය නොහැකි අධිකාරි බලයක් සහිත තැනකට තල්ලු කළේ ද දේශපාලනයයි. කාලයක් පවුල් තුනක් විසින් වරින් වර පාලනය කරන ලද ක්‍රිකට් පසුකාලීනව එක් කඳවුරක බළකොටුවක් බවට පත්විය.
එහෙව් “පරාජිත ක්‍රිකට්” කණපිට හැරවීම පරිවර්තිත කමිටුවටද පහසු නොවන බව අපේ විශ්වාසයයි. එය ආණ්ඩුවේ වෙනම “මැච්” එකකි. පාට, පක්‍ෂ, බේද අමතක කර ඉරාන් වික්‍රමරත්නට මේ “තැන” ලබාදීම ජනාධිපතිවරයා මෑතකදී ගත් සාධනීය පියවර අතින් කැපී පෙනෙන එකක් බව කිවයුතුය.
ඉරාන් වික්‍රමරත්න 1976-1977 වර්ෂයන්හි රාජකීය – ශාන්ත තෝමස් විදුහල් මහා ක්‍රිකට් තරග නියෝජනය කළේ පළමු පිතිකරුවා ලෙසය. ‘වන් ඩවුන්’ පැමිණියේ රංජන් මඩුගල්ලේය. එසේ බලන විට ඉරාන්ගේ ක්‍රිකට් ඉතිහාසය ද ශ්‍රී ලංකා ක්‍රිකට් තරම්ම පැරණිය. ඉරාන් හිටපු දේශපාලනඥයෙකි. ආණ්ඩු කිහිපයකම විවිධ තනතුරු දැරූවෙකි. එහිදී ඔහුගේ කළමනාකරණ හැකියාවද කළමනාකරණ ශක්‍යතාවද ආණ්ඩුව සැලකිල්ලට ගන්නට ඇති බව අපට සිතේ.
හොඳම දේ හොඳම වෙලාවටය. වෙලාව ආවිට සියල්ල යහපත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් වඳවී යෑමේ තර්ජනයට ලක්ව තිබෙන ක්‍රීඩාවකි. ආනා පුංචිහේවා පටන් ගත් තැනින් නොව ඊට ටිකක් දුරින් පටන් ගන්නට “පරිවර්තිත කමිටු සභාපතිවරයාට” හැකියාව ලැබේවා යන්න සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මේ මොහොතේ පැතුමය.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026