ඉරානයට එරෙහි ඇමෙරිකා – ඊශ්‍රායල යුද්ධය මොහොතින් මොහොත වෙනස් හැඩතල ගනිමින් තිබේ. ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම මුල් අවස්ථාවේදී ඇමෙරිකාවේ උපක්‍රමය වුවද එය කලාපයේ අනෙකුත් රටවල මෙන් සාර්ථක නොවීය.
මේ අතර, අනාවරණය වන්නේ, ඉරානයේ කැරැල්ලක් ඇති කිරීම සඳහා කුර්දි හමුදා සන්නද්ධ කිරීමට ඇමෙරිකාවේ CIA සංවිධානය කටයුතු කරමින් සිටින බවයි. මෙම උපාය මාර්ගය ඇමෙරිකාව විසින් දශක ගණනාවක් තිස්සේ භාවිත කරන ලද ක්‍රමවේදයක් බව නොරහසකි.
මෙලෙස, ඇමෙරිකානු නියෝජිතයන් ඉරාන විපක්ෂ කණ්ඩායම් සහ ඉරාකයේ කුර්දි නායකයන් සමග ඔවුන්ට හමුදා සහාය ලබා දීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින්නේ, සටන් විරාම හා සාම සාකච්ඡා පිළිබඳව ලෝකයට වෙනස් චිත්‍රයක් මවා පෙන්වමින් සිටින අතරතුරය.
ඉරාන කුර්දි සන්නද්ධ කණ්ඩායම්වලට ඉරාක-ඉරාන දේශසීමාව දිගේ, ප්‍රධාන වශයෙන් ඉරාකයේ කුර්දිස්තාන් කලාපයේ ක්‍රියාත්මක වන දහස් ගණනක් හමුදා සිටිති. යුද්ධය ආරම්භයේ සිටම එබඳු ක්‍රියාමාර්ගයක් ගැන ඉඟි කරමින් සහ ඉරාන හමුදා ඉවත් වන ලෙස දැනුම් දෙමින් කණ්ඩායම් කිහිපයක් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කර තිබිණ. මූලාශ්‍රවලට අනුව, ඉරාන කුර්දි කණ්ඩායම් සඳහා CIA සහාය ලබාදීම යුද්ධයට මාස කිහිපයකට පෙර ආරම්භ වී තිබේ.
කවුද මේ කුර්දි?
කුර්දි ජාතිකයන් යනු නිල රාජ්‍යයක් නොමැති වාර්ගික සුළුතර කණ්ඩායමකි. අද වන විට, කුර්දි ජාතිකයන් මිලියන 25-30 ක් පමණ සිටිති. ඔවුන්ගෙන් බහුතරය තුර්කිය, ඉරාකය, ඉරානය, සිරියාව සහ ආර්මේනියාවේ කොටස් හරහා විහිදී ඇති කලාපයක ජීවත් වෙති. බොහෝ කුර්දි ජාතිකයන් සුන්නි මුස්ලිම්වරුන් වන නමුත්, කුර්දි ජනගහනයට විවිධ සංස්කෘතික, සමාජයීය, ආගමික සහ දේශපාලන සම්ප්‍රදායන් මෙන්ම විවිධ උප භාෂාද තිබේ. ඉරානයේ විශාලතම ජනවාර්ගික සුළුතරයන්ගෙන් එකක් වන කුර්දි ජාතිකයෝ, ඉරාකය සහ තුර්කිය සමග බැඳෙන ඉරානයේ බටහිර මායිම දිගේ සංකේන්ද්‍රණය වී සිටිති. 1979 ඉරාන විප්ලවය අතරතුර, බොහෝ කුර්දි ජාතිකයන් බලාපොරොත්තු වූයේ නව ඉස්ලාමීය ජනරජය විසින් තම ජාතිකත්වයට යම් ප්‍රමාණයක කලාපීය ස්වයං පාලනයක් ලබා දෙනු ඇති බවයි. නමුත්, තමන්ට එබඳු පිළිගැනීමක් නොමැති බව තහවුරු වීමෙන් කලකිරීමට පත් වූ කුර්දි පක්ෂ කිහිපයක් ඉක්මනින්ම ඉරානයේ නව පාලනය සමග සන්නද්ධ ගැටුම් ආරම්භ කළහ. එවක ඉරාන පාලනය විසින් එය මර්දනය කෙරිණි. එසේම, එතැන් සිට කුර්දි ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා දැඩි පියවර අනුගමනය කිරීමට ඉරාන රජය විසින් කටයුතු කෙරිණි. මේ මොහොතේ නව යුද තත්ත්වය තුළ ඇමෙරිකා – ඊශ්‍රායල සන්ධානය විසින් ඉරානය තුළතම අභිලාෂය ඉටුකර ගැනීම සඳහා නැවත අවුළුවාලමින්, පාවිච්චි කිරීමට සූදානම් වන්නේ මෙම ඉරාන – කුර්දි කෝන්තරයයි.
කුර්දි කණ්ඩායම්, බෙදුණු ඉරාන විපක්ෂයේ වඩාත්ම හොඳින් සංවිධානය වූ කොටස ලෙස සැලකේ. එසේම, ඔවුන්ට පුහුණුව ලත් සටන්කාමීන් දහස් ගණනක් සිටින බව විශ්වාස කෙරේ. ඔවුන් යුද්ධයට ඇතුළුවීම ඉරානයට සැලකිය යුතු අභියෝගයක් විය හැකි බවත්, ඉරාකයද තවදුරටත් ගැටුමට ඇද දැමීමේ අවදානමක් ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන කුර්දිස්තාන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (KDPI) සභාපති මුස්තාෆා හිජ්රි සමග කතා කළ බවත්, ඉදිරි දිනවලදී බටහිර ඉරානයේ භූමි මෙහෙයුමකට ඉරාන කුර්දි විපක්ෂ සන්නද්ධ කණ්ඩායම් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජ්‍යෙෂ්ඨ ඉරාන කුර්දි නිලධාරියකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත අනාවරණය කර තිබිණ. එසේම, ඉරානයෙහි ක්‍රියාත්මක ඇමෙරිකානු හමුදා මෙහෙයුම සහ ඇමෙරිකාවට සහ කුර්දි ජාතිකයන්ට මෙම මෙහෙයුමේදී එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් ඉරාක කුර්දි නායකයන් සමග ද සාකච්ඡා කර තිබේ.
ඉරාන කුර්දි කණ්ඩායම් සන්නද්ධ කිරීමට ගන්නා කෙබඳු උත්සාහයකට වුවද, ඉරාක කුර්දි ජාතිකයන්ගේ සහාය අවශ්‍ය වේ. එසේම, ආයුධ ප්‍රවාහනය කිරීමට සහ ඉරාක කුර්දිස්තානය මෙහෙයුම් දියත් කිරීමේ භූමියක් ලෙස ද භාවිත කිරීමට ඉඩ සලසයි.
ඇමෙරිකාවේ අදහස වී ඇත්තේ, කුර්දිවරුන්ට කලාපය තුළ අවුල්සහගත තත්ත්වයක් ඇති කිරීමට සහ ඉරාන පාලන තන්ත්‍රයේ හමුදා සම්පත් තුනී කිරීමට උදව් කළ හැකි බවයි. එසේම, ඊශ්‍රායලයට ආරක්ෂිත කලාපයක් නිර්මාණය කරන ඉරානයේ උතුරු කොටසේ භූමියක් කුර්දිවරුන්ට අල්ලා ගත හැකිද යන්න පිළිබඳව ද මෙම නව උපක්‍රමික සැලසුම තුළ අවධානය යොමු වී තිබේ.
අභ්‍යන්තර ගැටුම් මාලාවක්
ජාතික ආරක්ෂක විශ්ලේෂකයකු සහ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා යටතේ පෙන්ටගනයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ඇලෙක්ස් ප්ලිට්සාස් පවසන්නේ, ඇමෙරිකාවේ ඓතිහාසික කලාපීය සගයෙකු වන කුර්දි ජාතිකයන් සන්නද්ධ කිරීමෙන් ඉරාන පාලන තන්ත්‍රය පෙරළා දැමීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පැහැදිලිවම උත්සාහ කරන බවයි. ඉරාන ජනතාව සාමාන්‍යයෙන් සමස්තයක් ලෙස නිරායුධව සිටින අතර ආරක්ෂක සේවා බිඳ වැටෙන්නේ නැත්නම්, යමෙකු ඔවුන්ට ආයුධ සන්නද්ධ නොකරන්නේ නම් එය අත්පත් කර ගැනීම ඔවුන්ට අපහසු වනු ඇති බවත්, මෙමගින් ඉරාන භූමියේ සිටින අනෙක් අයද එසේ කිරීමට පෙළඹෙනු ඇතැයි ඇමෙරිකාව බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
ඊශ්‍රායල මූලාශ්‍රවලට අනුව, සන්නද්ධ කුර්දි හමුදාවන්ට වයඹදිග ඉරානයට ප්‍රවේශ වීම සඳහා පදනම දැමීම පිණිස, ඉරාන – ඉරාක දේශසීමාවේ පිහිටුවා තිබෙන ඉරාන හමුදා හා පොලිස් මුරපළවලට ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර එල්ල කර තිබේ. එසේම, ඉදිරි දිනවලදී එම ප්‍රහාර වඩාත් තීව්‍ර කිරීමට ද සැලසුම් කර තිබේ.
ඇමෙරිකාවට කුර්දි හමුදා සමග ඇත්තේ දිගු ඉතිහාසයකි. ඉරාකයේ ඇමෙරිකානු යුද්ධයේ කොටසක් ලෙස දශක ගණනාවක් පැරණි ඉරාක කුර්දි කණ්ඩායම් සමග වැඩ කිරීමේ දීර්ඝ, සංකීර්ණ ඉතිහාසයක් CIA සංවිධානයට ඇති අතර, ඒ අත්දැකීම් මේ මොහොතේ ඉරානයට එරෙහි යුද්ධයේදී නව වටයකින් භාවිතයට ගැනීම සිදුවනු ඇත. එසේ වුවද, ඉරාන පාලන තන්ත්‍රය පෙරළා දැමීමට උදව් කිරීමට අවශ්‍ය වන කුර්දි භූමි බළකායක් සඳහා ඇමෙරිකා සහ ඊශ්‍රායල සහයෝගය පුළුල් විය යුතු බවත්, රජයට එරෙහිව සාර්ථක නැඟිටීමක් ශක්තිමත් කිරීමට ඉරාන කුර්දිවරුන්ට දැනට බලපෑම්සහගත තත්ත්වයක් හෝ ඊට අවශ්‍ය සම්පත් හෝ නොමැති බවත් ඇමෙරිකානු බුද්ධි විශ්ලේෂණ පෙන්වා දී තිබේ.
ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය, පවතින නව ගල්ෆ් යුද්ධයට සමාන්තරව හෝ එහි අවසානයෙන් පසුව ඉරානයෙහි දිග්ගැස්සුණු අභ්‍යන්තර ගැටුම් මාලාවක් බවට පරිවර්තනය කළ හැකි බවයි. කුර්දි ජනාවාස කලාප දැනටමත් රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වල තෝතැන්නක් ලෙස ප්‍රසිද්ධ බවත්, ඔවුන්ගේ සියලුම සම – ජනවාර්ගික කණ්ඩායම් ඉස්ලාමීය ජනරජයට විරුද්ධ බව හෝ ඉරානයෙන් වෙන් වීමට කැමති බව හෝ මින් අදහස් නොවන නමුත්, විදේශීය බලවේගවලට මේ අවස්ථාවේ රට දුර්වල කිරීමට මෙය ප්‍රයෝජනයට ගත හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.
ඉරානය බෝල්කනීකරණය කිරීම
තමන්ට සතුරු යැයි සැලකෙන, එසේම අත්පත් කර ගැනීමට විවිධ සම්පත් සහිත හෝ භූ දේශපාලනිකව වැදගත්කමක් සහිත රාජ්‍ය බිඳ දමා තමන්ට නතු කර ගැනීමේ මූලෝපාය ඇමෙරිකාව ක්‍රියාත්මක කරමින් ඇත්තේ කලෙක සිට බව නොරහසකි. ඇමෙරිකාවට මුලින්ම අවශ්‍ය වූයේ ඉරානයේ පාලන තන්ත්‍ර වෙනසක් වුවද, දැන් ඔවුන්ට ඉරානය දෙකඩ කිරීමටද අවශ්‍ය වී ඇති බවත්, ඒ අනුව ඉරානය බෝල්කනීකරණය කිරීමේ සැලසුමක් ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂණ පෙන්වා දෙයි.
වොෂින්ටනය පදනම් කරගත් ‘ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ පදනම’ (FDD) සහ යුරෝපීය පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ අනුගාමික නව කොන්සර්වේටිව් චින්තන පර්ෂද ඉරානයේ බෝල්කනීකරණය විවෘතව ප්‍රවර්ධනය කරමින් සිටිති.
2025 ජුනි මැද භාගයේදී, ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාර ඇති වූ විට, වොෂින්ටන්හි ‘ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ පදනමෙහි’ බ්‍රෙන්ඩා ෂැෆර් තර්ක කළේ ඉරානයේ බහු-වාර්ගික සංයුතිය සූරාකෑමට ලක්විය හැකි අවදානමක් ඇති බවයි. ඇය, ප්‍රධාන ධාරාවේ ඇමෙරිකානු මාධ්‍යවල අසර්බයිජානය වෙනුවෙන් හඬ නඟන කෙනකු වන අතර, වසර ගණනාවක් තිස්සේ ඇය යුගෝස්ලාවියාවේ බිඳවැටීම හා සමානව, වාර්ගික රේඛා ඔස්සේ ඉරානයද ඛණ්ඩනය කිරීම සඳහා මතවාදී පදනමක් ගොඩනඟමින් සිටී. ඇය සිය මතවාදී මෙහෙයුමෙන් වැඩි කොටසක් යොමු කර ඇත්තේ ඉරානයේ විශාලතම පර්සියානු නොවන කණ්ඩායම වන ‘දකුණු අසර්බයිජානය’ වෙන් කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ය.
ෂැෆර්ගේ අදහස් ඊශ්‍රායලයේ ‘ජෙරුසලම් පෝස්ට්’ පුවත්පතේ මෑත කාලීනව ලියැවී ඇති කතුවැකිය සමග සමපාත වේ. ඉරානයට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායලයේ ආරම්භක ප්‍රහාර මධ්‍යයේ, ඉරානයේ ඛණ්ඩනය විවෘතව වැළඳ ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටි පුවත්පත, විශේෂයෙන්, එය ඉරානය බෙදා වෙන් කිරීම සඳහා මැදපෙරදිග සන්ධානයක් සහ කැඩී යෑමට කැමති සුන්නි, කුර්දි සහ බලුචි සුළුතර කලාප සඳහා ආරක්ෂාව තහවුරු කිරීමක් ඉල්ලා සිටියේය. ‘දකුණු අසර්බයිජානය’ ලෙස හඳුන්වන කොටසට ඉරානයෙන් වෙන්වීමට සහාය දෙන ලෙස ඊශ්‍රායලය සහ එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටින බ්‍රෙන්ඩා ෂැෆර්ගේ වාර්තාවේ ද එම ප්‍රකාශනයම පවතී.
මේ අතර, යුරෝපා පාර්ලිමේන්තුවේ එක් ලිබරල්වාදී කණ්ඩායමක විදේශ කටයුතු ප්‍රකාශිකාව, ඉරානයේ ඉස්ලාමීය ජනරජයට එරෙහිව සාර්ථක කැරැල්ලක් සඳහා වන අපේක්ෂා සාකච්ඡා කිරීම සඳහා ‘ඉරානයේ අනාගතය’ පිළිබඳ රැස්වීමක් කැඳවා තිබූ අතර, ඉරාන භාෂාව කතා කරන එකම දෙදෙනා ඉරානයේ අසර්බයිජාන් සහ අහ්වාස් ප්‍රදේශවලින් පැමිණි වාර්ගික බෙදුම්වාදීන් වීම ඇගේ න්‍යාය පත්‍රය කුමක්ද යන්න පැහැදිලි කරන්නකි.
මෙසේ තැනින් තැන මතු වන මතවාදීමය තිත් යා කර බැලූ විට, ඇමෙරිකාව විසින් අනාගතයේ අඳින්නට සැලසුම් කරන ඉරාන සිතියම කෙබඳු ද යන්න අවබෝධ කර ගැනීම අසීරු නොවේ.
අතීතයේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයට අයත් රාජ්‍යයක් වූ අසර්බයිජානයේ ඛනිජ තෙල් සම්පත අයත් කර ගැනීමට, සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ඇමෙරිකාව සූක්ෂ්ම ලෙස කටයුතු කළේය. අසර්බයිජානය රුසියානු බලපෑමෙන් මුදාගෙන ඇමෙරිකාවට නතු කරගැනීම සඳහා 1991 දී ඔත්තු සේවා මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. එය සාර්ථක වූයේ අසර්බයිජානය කලාපයේ වැඩිම ඇමෙරිකානු ගැති රාජ්‍යය බවට පත් වෙමිනි. අසර්බයිජානය තම කඳවුරට ඇතුළු කරගැනීමට ඇමෙරිකාව කටයුතු කළේ එහි ඇති ඛනිජ තෙල් සම්පත නිසා පමණක් නොව, අසර්බයිජානය ඉරානයට යාබද රාජ්‍යය වීමේ භූ දේශපාලනික වැදගත්කම ද නිසාය. අනාගතයේ අසර්බයිජානයේ සිට ඉරානය අත්පත් කරගැනීමේ මෙහෙයුම් දියත් කිරීමේ සැලසුමක් දශක තුනකට එපිට කාලයක සිට ඇමෙරිකාවට තිබුණු බව මෙයින් පෙනේ. කලාපීය වශයෙන් ගත් විට අසර්බයිජානය මෙම නව ගල්ෆ් යුද මොහොතේ සැඟවුණු හා ප්‍රබල භූමිකාවක් ඇමෙරිකා – ඊශ්‍රායල සන්ධානය වෙනුවෙන් කරන බව පැහැදිලිය. ඒ, ඉරානය බෝල්කනීකරණය කිරීමේ සැඟවුණු මෙහෙයුම වෙනුවෙනි.
ඉරානයේ අසල්වැසියන්ගේ ඍජු මිලිටරි මැදිහත්වීමක් ඇතිව හෝ නැතිව සිදු කෙරෙන බෝල්කනීකරණය, ඉරානය දුර්වල කරනු ඇති අතර, එමගින් එය ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට බෙහෙවින් අඩු බලගතු පශ්චාත් යුද සගයෙකු බවට පත් කරනු ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂණ පෙන්වා දෙයි.
ඇමෙරිකාවේ දෘෂ්ටිකෝණයෙන් ගත් විට හොඳම අවස්ථාව නම්, ඇමෙරිකානු සහ ඊශ්‍රායල සගයෙකු ලෙස ඉරානයේ පූර්ව විප්ලව යුගයේ භූමිකාව යථා තත්ත්වයට පත් කරන, අවිනිශ්චිත කාල පරිච්ඡේදයක සාපේක්ෂව සුමට දේශපාලන සංක්‍රාන්තියකින් අරාබි සහ තුර්කි රාජ්‍ය සමතුලිත කිරීම සඳහා ශක්තිමත් කලාපීය බල කේන්ද්‍රයක් බවට පත් කරගැනීම බවත්, එහිදී දකුණු කොකේසස් සහ මධ්‍යම ආසියාවෙන් රුසියාවට අභියෝග කිරීමේදී ඉරානයට තුර්කි ජාතිකයන්ට සහාය විය හැකි බවත්, නරකම අවස්ථාව නම් ඉරානය බෝල්කනීකරණය වන අතර, සමස්තයක් ලෙස ඉරාන විප්ලවීය හමුදාව හෝ එහි සමහර කණ්ඩායම් මිලිටරි නායකයන් ලෙස ක්‍රියා කරනු ඇති බවත් ඇතැම් විශ්ලේෂකයන් පුරෝකථනය කර ඇත.
ඒ වන විට ඉරානයේ පාලන ක්‍රමය කුමක් වුවද, එය පර්යන්ත කලාපවල (සාම්ප්‍රදායික විදේශීය මිලිටරි සහාය ඇතිව හෝ නැතිව) හෝ ඊට සමාන්තරව ජනවාර්ගික සුළුතරයන් නැඟී නොසිට සිදුවිය හැකිය. එසේම, මෙය ඍජුවම බෝල්කනීකරණ අවස්ථාවට මඟ පෙන්වන අතර, ඒ සඳහා එක් ප්‍රේරකයක් විය හැකිය. ඉරානයේ බෝල්කනීකරණ ප්‍රවණතා ප්‍රමාණවත් තරම් දරුණු නම්, අවම වශයෙන් එක් අසල්වැසි සාම්ප්‍රදායික මිලිටරි මැදිහත්වීමක් හෝ සිදුවිය හැකි නමුත් ඊළඟට කලාපයෙහි සිදු විය හැකි දේ ඉතා අවිනිශ්චිත බව එබඳු විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.
ඉරානය බෙදිය හැකිද?
ඉරාන හිතවාදී විශ්ලේෂකයන් සඳහන් කරන ආකාරයට, ඉරානය එලෙස බිඳවැටීමේ අද්දර සිටින බිඳෙනසුළු රාජ්‍යයක් නොවේ. එය ඓතිහාසික හා සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ ගැඹුරු හැඟීමක් ඇති මිලියන 90 ක ශක්තිමත් ජාතියකි. බෝල්කනීකරණයේ යෝජකයන් ඉරානයේ වාර්ගික විවිධත්වය – අසර්බයිජාන්, කුර්දි, බලුච්, අරාබි – කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට ප්‍රිය කරන අතර, ඔවුන් ඉරාන ජාතිකවාදයේ එක්සත් කිරීමේ බලය නිරන්තරයෙන් අවතක්සේරු කරති. ‘ලොස් ඇන්ජලීස් ටයිම්ස්’ පුවත්පතේ මෑතකදී ෂර්වින් මලෙක්සාදේ සඳහන් කළ පරිදි, “ඉරානයේ දේශපාලනය ආරම්භ වන්නේ අඛණ්ඩ හා නොබිඳුණු ඉතිහාසයක් ඇති ජනතාවක් ලෙස සහ ඉපැරණි අතීතයකින් මතුවන ජාතියක් ලෙස බව ඉරානයේ අදහස බවට විද්වතුන් අතර දැඩි එකඟතාවක් පවතී. රාජාණ්ඩුවාදී හෝ ඉස්ලාමීය හෝ වාමාංශික වේවා, ඉරානයේ අධිකාරිය සඳහා තරග කරන විවිධ කණ්ඩායම් සහ මතවාද සඳහා බලය සපයන පුළුල් දේශපාලන ක්ෂේත්‍රය ජාතිකවාදයයි.’
සම්බාධකවල සිට රහසිගත මෙහෙයුම් දක්වා සහ පවතින යුද්ධය දක්වා දශක ගණනාවක් තිස්සේ ඉරානය මත පැවති ඇමෙරිකානු පීඩනය විසින් මෙම සහජීවනය තවත් ශක්තිමත් කර ඇති බවත්, බෙදුම්වාදී හැඟීම් ඇවිස්සීම ඉරානය බිඳ දමනු ඇතැයි යන අදහස මනඃකල්පිතයක් බවත්, එය බොහෝ දුරට ඊශ්‍රායල හිතවාදී නව කොන්සර්වේටිව්වාදීන් විසින් දියත් කරන ලද සැලසුම් ඉරාකයේ සහ සිරියාවේ ආපසු හැරී ඇති ආකාරය හිතාමතාම නොසලකා හරින එකක් බවත්, එවැනි උපාය මාර්ගයක් එහි යෝජකයන්ගේ, ඉරාන භූමියේ යථාර්ථයන් පිළිබඳ ගැඹුරු නොදැනුවත්කම හෙළි කරන්නක් බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක එල්ඩර් මැමෑඩොව් පෙන්වා දෙයි.
කෙසේ වුවද, එළඹී ඇත්තේ ඇමෙරිකාව හා ඊශ්‍රායලය සිය උපක්‍රමික මැදිහත්වීම් සියුම්ව දියත් කරමින් ඇති මොහොතකි. ඇමෙරිකාවේ දින නියමයකින් තොර සටන් විරාමය හා හෝමූස් සමුද්‍ර සන්ධියේ සිදුවීම් දෙස ලෝකයේ අවධානය යොමු වී ඇති අතරේ, ඉරානය සමග යුද්ධයෙන් තමන්ට දිනාගැනීමට නොහැකි දීර්ඝකාලීන අභිලාෂය, ඉරානයේ අභ්‍යන්තර ගැටුම් හා බෙදුම්වාදී කණ්ඩායම් ඇති කිරීම මගින් දිනාගැනීමේ උපක්‍රමය ඇමෙරිකාව මේ වන විට දියත් කොට ඇති බව පැහැදිලිය.
ප්‍රභාත් චින්තක මීගොඩගේ
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
ඇමෙරිකාවේ ඊළඟ සැලසුම ඉරානය බෙදා වෙන් කිරීමද?