ගුවන් තොටුපළ ඉතිහාසයේ කොටුවූ දැවැන්තම කුෂ් මත්ද්‍රව්‍ය තොගය…
මහානායක හිමිවරු කම්පා වුණා
භික්ෂුන් තුන්වෙනි සහ පස්වෙනි සිල්පදත් කඩලා
ඒ සිදුවීමෙන් රටම තිගැස්සුණේ ය. මහා නායක හිමිවරු කම්පා වූහ. එය කිසිසේත් බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවේ. කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ කොටු වූ දැවැන්තම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සමග භික්ෂු වේශධාරීහු 22ක් කොටු වූහ. මේ ශ්‍රී ලංකාවේ භික්ෂු ඉතිහාසය තුළ වාර්තා වුණ බරපතලම මත්ද්‍රව්‍ය අපරාධය ය.
තායිලන්තයේ බැංකොක් නුවර බලා සිදු කළ සිව්දින චාරිකාවකට දිවයිනේ විවිධ ප්‍රදේශවල පන්සල්වලින් තෝරාගත්, වයස අවුරුදු විස්සක (20) පමණ පසුවන තරුණ ශිෂ්‍ය භික්ෂූන් 22ක් 2026 අප්‍රේල් 22 වැනි දින තායිලන්තය බලා පිටත් කර යවා නැවත අප්‍රේල් 26 හා 27 දිනවල ඔවුන්ව ලංකාවට ගෙන්වාගෙන තිබිණි. ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ රේගු නිලධාරීන් ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂාවට ලක් කරන විට එහි ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ කිලෝග්‍රෑම් 110කට (රාත්තල් 242ක්) අධික කුෂ් තොගයක් සොයා ගැනුණි.
මාලිගාවිල ස්වර්ණාලෝක, ගල්වත්තේ සුනන්ද, මාදලේ රාහුල, ඇතිමලේ සුබෝධාලංකාර, දම්මල ගුණානන්ද, පන්නල අමරබුද්ධි, මාරඹ ජෝතිරතන, හදගනාවේ නන්දරතන, දෙමටනාවේ මහානාමතිලක, පොතුපිටියේ සමිත, මහවඩුගේ සද්ධානන්ද, නිකපොත සුමනරක්ඛිත, වාහල්කඩ අරියරක්ඛිත, රණාලේ ඤාණතුසිත, හිදිගහවත්තේ සීලරතන, නුගගොල්ලේ පවරසිරි, ලුණුගම්වෙහෙරේ වේළුසුමන, ගොඩකුඹුරේ පඤ්ඤාදේව, සියඹලාපේ අමිතරංසි, අකුරැස්සේ ජිනරතන, රිදීඇල සුමනරතන සහ බුල්ගල්ලේ ජිනානන්ද යන අය අත්අඩංගුවට පත් චීවරධාරීන් අතර වෙති.
සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණවලදී මෙයින් 19 දෙනෙකුම මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වී තිබේ. මොවුන් තායිලන්තයේ රැඳී සිටි කාලසීමාව තුළ ගණිකා මඩම්වල හැසිරෙමින්, ගණිකාවන් ඇසුරෙහි යෙදෙමින් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් කල් ගෙවා තිබුණු බව ඡායාරූප සාධක සහිතවම ඔප්පු වී ඇත.
කවුරුත් දන්නා පරිදි තායිලන්තයේ සිට සැප ගෙන මත්ද්‍රව්‍ය වාහකයකන් ලෙස ජාවාරම්කරුවන්ගේ ගොදුරු වූ මේ හිස් සිවුරු රඳවන දැන් ඉන්නේ මීගමුව බන්ධනාගාරයේ ය. ඔවුන් සතියක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් ඇත.
මේ උත්සාහය මේ මත්ද්‍රව්‍ය ජාලය සහ භික්ෂු සමාජය මේ මත්ද්‍රව්‍ය ජාලයේ වාහකයින් වූ පහසු ගොදුරු බවට පත්වන ආකාරය සම්බන්ධව යම් විමර්ශනාත්මක හෙළිදරව්වක් සඳහා අවකාශය සලසා ගැනීමය.
මේ හුදකලා සිදුවීමක් නොවේ. දැනට අනාවරණය වන පරිදි මෙම ජාවාරමේ සිටින ලංකාවේ මත්ද්‍රව්‍ය ඒජන්තයන්ගේ භූමිකාව කරන චීවරධාරීන් භික්ෂූන් යොදාගෙන මින් පෙරද මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය රට තුළට රැගෙන පැමිණි බවට සාක්ෂි හෙළි වෙමින් ඇත. මේ ගමනට එක් වී දැන් අත්අඩංගුවේ පසුවන චීවරධාරීන් අතරින් තිදෙනෙක් ද මීට පෙර මෙවැනිම ගමන් සඳහා සහභාගි වී ඇති අයුරු අනාවරණය වී තිබේ. ඒ ජාලයේ හැසිරීම පිළිබඳ හෙළිවන තොරතුරු අනුව මෙසේය.
රටට කුෂ් – හෑෂ් ගෙන්වන ප්‍රධාන ජාවාරම්කරු ගැන සැකය
ලංකාවට කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය රැගෙන එන ප්‍රධාන ජාවාරම්කරුවෙක් සම්බන්ධව මේ වනවිට විමර්ශන අංශවල අවධානය යොමු වී තිබේ. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
විශේෂත්වය වන්නේ මේ පුද්ගලයා දැන් ලංකාවේ ජීවත් වීමය. මීට පෙර අවස්ථාවක කුෂ් මත්ද්‍රව්‍ය ලංකාවට රැගෙන ඒමට කළ උත්සාහයක දී කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මීගමුව බන්ධනාගාරයේ සිටියේය. මේ වනවිට ඇප මත නිදහස්ව , විදෙස් ගමන් තහනමක් සහිතව මේ පුද්ගලයා රට තුළ හිඳී. විශ්වාසනීය තොරතුරු අනාවරණය කරන්නේ මේ පුද්ගලයා ඇප මත හිඳිමින්ම සිය මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් ඇති බවය. ඒ සඳහා ඔහු විශාල මුදලක් වියදම් කරමින් මත්ද්‍රව්‍ය නිවාරණ අංශවල විමර්ශකයින් ද මිල දී ගෙන ඇති ආකාරයක් පිළිබඳ කියැවේ.
භික්ෂුන් සම්බන්ධ කරගෙන මත්ද්‍රව්‍ය ලංකාවට රැගෙන එන්නට හැකි ආකාරය සම්බන්ධව ඔහුගේ සැලසුම් පැවති ආකාරය පසුගිය වසරේ අග දී අනාවරණය වී ඇතැයි වාර්තා වේ. මේ පුද්ගලයා විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලය තුළ දේශීය නියෝජිතයින් වශයෙන් කටයුතු කරන ව්‍යාපාරික පිරිසක් සම්බන්ධව ද මේ වනවිට ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇත.
භාවිතා කළ හැකි සියලුම පුද්ගලයින් යොදා ගනිමින් ඔවුන් විසින් රට තුළට මෙම මත්ද්‍රව්‍ය රැගෙන එන බවට මේ වනවිට අනාවරණය වී ඇත.
ලංකාවේ ඇප පිට සිටින විදෙස් ජාවාරම්කරුගේ කතාව
මේ පුද්ගලයාගේ බිරිය තායිලන්ත ජාතික කාන්තාවකි. තායිලන්තය තුළ නීතිමය සීමාවලට යටත්ව ගංජා වගාව සඳහා වූ සහන තිබේ. මේ සහන ලබාගෙන එම ජාවාරම්කරුගේ බිරිය කුෂ් සහ හෑෂ් නිෂ්පාදනයේ යෙදෙන්නියකි. ඇයගේ නිෂ්පාදන ඇයගේ සැමියා හරහා ප්‍රධාන වශයෙන් ලංකාවට ලැබෙන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.
මේ ජාවාරමට මෙතෙක් සම්බන්ධ වී සිටියේ දුගී ඉන්දියානුවන් ඇතුළු විදේශිකයින් මෙන්ම විවිධ තරාතිරම්වල ශ්‍රී ලාංකිකයන්ය. ඔවුන්ට නොමිලේ විදේශ සංචාර ලබා දී මත්ද්‍රව්‍ය සහ කාන්තා සේවනයට අවස්ථාව සපයමින් ඊට කරන උපකාරයක් ලෙස නිශ්චිත පුද්ගලයන් වෙත ලබා දීම සඳහා යම් යම් ආධාර බහාලුම් ලබා දෙන බවත් එම බහාලුම්වල කුෂ් හෝ හෑෂ් කිලෝ ගණනින් රහසිගතව තැන්පත් කර ඇති බවත් මේ වනවිට හෙළි වී ඇත.
තරුණ චීවරධාරීන් ද මේ මත්ද්‍රව්‍ය ජාලයේ ගොදුරක් වීම අහම්බයක් නොවේ. එය ජාවාරම්කරුවන් හා සම්බන්ධ වෙමින් සිටින සිවුරු රඳවන කණ්ඩායමක නිශ්චිත මෙහෙයුමක ප්‍රතිඵලයකි.
ලංකාවේ දී මේ ගමනට අනුග්‍රහය දක්වන්නේ කවුද?
ජාවාරම්කරුවන්ට ජාති, කුල ආගම් භේද නැත. කෝටියක් සංවර ශීලය ආරක්ෂා කිරීමට කැපවුණ උපසම්පදා භික්ෂූන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මේ තායිලන්ත ගමන සංවිධානය කර තිබිණි. ඒ ගමනට තරුණ චීවරධාරීන් වෙත අනුග්‍රහය දක්වා ඇත්තේ උනවටුණ පැත්තේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකි. විමර්ශන අංශ පවසන්නේ මේ අනුග්‍රහයන් දැක්වූ පුද්ගලයින් ලෙස ‘හාජී’ නමැති පුද්ගලයෙක් සහ අතුරුගිරියේ පුද්ගලයෙක් පිළිබඳව ද මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවය.
ඔහු බ්‍රිතාන්‍ය ජාතික ජාවාරමාගේ මේ රටේ සිටින ප්‍රධාන ඒජන්තයෙක් බව විශ්වාස කෙරේ. මෙම ඒජන්තයා ඒ වෙනුවෙන් භික්ෂු කණ්ඩායම සූදානම් කරගැනීමේ මෙහෙයුම පවරා ඇත්තේ ප්‍රධාන චීවරධාරීන් දෙදෙනකුට ය. මේ තැනැත්තා තායිලන්තයේ වෙසෙන්නෙකි.
භික්ෂු චර්යාවන් කුඩුපට්ටම් කළ ප්‍රධාන පෙළේ මහමොළකරුවන් දෙදෙනා ඔවුන්ය.
නමින් පුණ්‍යරතන සහ ධම්මරක්ඛිත වන ඔවුන් සම්බන්ධව සංවේදී සහ තීරණාත්මක තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ. මෙම සංවිධානාත්මක අපරාධ ජාලය භික්ෂු සමාජයට සම්බන්ධ කරන ප්‍රධාන පුරුක දැනට තායිලන්තයේ රැඳී සිටින සිටින චීවරධාරියකු බව වාර්තා වේ. විමර්ශන මගින් අනාවරණය වී ඇති පරිදි, මොහු විසින් තවත් චීවරධාරියකු තායිලන්තයට ගෙන්වාගෙන ඇත. මොවුන් දෙදෙනා එක්ව භික්ෂූන් යොදා ගනිමින් ප්‍රධාන ජාවාරම්කරුගේ අවශ්‍යතාව මත මෙම මත්ද්‍රව්‍ය ජාලය ඉතා සූක්ෂ්ම සහ සැලසුම් සහගත අයුරින් මෙහෙයවා ඇත.
මීට පෙර මොවුන් බැංකොක් නුවර ‘වත් තෙපාකොන්‘ (Wat Thepakon) නමැති විහාරස්ථානයේ නවාතැන් ගෙන සිට ඇති අතර, එහිදී ඔවුන් සිදුකළ විනය විරෝධී සහ අයථා ක්‍රියාකලාපයන් හේතුවෙන් එම පන්සලෙන් නෙරපා හැරීමට විහාරාධිකාරී වහන්සේ පියවර ගෙන ඇතැයි වාර්තා වේ. පන්සලෙන් නෙරපා හැරීමෙන් පසුව ද සිය ජාවාරම් කටයුතු නතර නොකළ මෙම සැකකරුවන්, දැනට තායිලන්තයේ කුලී පදනම මත ලබාගත් කාමරවල රැඳී සිටිමින් මෙම ජාවාරම අඛණ්ඩව කරගෙන යෑමට මත්ද්‍රව්‍ය අපරාධකරුවන් සමග එක්ව කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇත.
ඔවුන් මෙරට ප්‍රමුඛ පෙළේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සමග ඉතා සමීප සබඳතා පවත්වා ඇති බව හෙළිව තිබේ. ඔහු සතු ජංගම දුරකථන දත්ත සහ සන්නිවේදන වාර්තා පරීක්ෂා කිරීමෙන් මෙම මත්ද්‍රව්‍ය ජාලයේ මුල සිට අගට තොරතුරු මෙන්ම ඊට සම්බන්ධ සෙසු පුද්ගලයන් පිළිබඳව ද තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි වනු ඇතැයි විමර්ශන අංශ විශ්වාසය පළ කරයි. වැදගත් වන්නේ ඔවුන් වෙනත් රටකට පලා යෑමට පෙර අත්අඩංගුවට ගැනීමට සැලසුම් කිරීමේ අවශ්‍යතාවය ය.
ලංකාවේදී අත්අඩංගුවට ගත් සම්බන්ධීකාරක චීවරධාරියා
මේ විමර්ශන වඩාත් ඉදිරියට ගෙන යන අත්අඩංගුවට ගැනීමක් සිදුකිරීමට විමර්ශන අංශවලට හැකි විය. ඒ මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී පසුගිය අප්‍රේල් 28 සහ 29 යන දිනවලදී කොළඹ තදාසන්න ප්‍රදේශයක සැඟව සිටි 23 වැනි සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගැනීමට ගැනීමත් සමගය. මොහු, තායිලන්තයේ සිට පැමිණි සෙසු 22 දෙනා සමග එම සංචාරයට එක් වී නොතිබිණි. එහෙත් මෙම සමස්ත ජාවාරම සැලසුම් කළ ප්‍රධාන සම්බන්ධීකාරකයා සහ මෙරට මෙහෙයුම් මෙහෙයවූ ‘ප්‍රධානම චරිතය’ මොහු බවට ආරක්ෂක අංශ සැක කරයි.
අනාවරණය වන තොරතුරු අනුව, අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස වෙත මෙම මත්ද්‍රව්‍ය පාර්සල් ලබාදී ඇත්තේ තායිලන්තයේ වෙසෙමින් ජාලය හසුරුවන චීවරධාරීන් දෙදෙනාය. ඒ එම පාර්සල් බැතිමතුන් විසින් ලබාදෙන ලද ‘පූජා භාණ්ඩ’ හෝ ‘පරිත්‍යාග’ බව පවසමිනි. ගුවන් තොටුපළින් පිටතට පැමිණි පසු එම පාර්සල් ලබාගැනීම සඳහා විශේෂ වෑන් රථයක් එවන බවට ද මොවුන්ට දන්වා තිබේ. මෙම වෑන් රථයේ පැමිණ ඇත්තේ ජාවාරමේ දේශීය නියෝජිතයා වූ පසුව අත්අඩංගුවට ගත් 23 වැනි චීවරධාරියා ය. ගුවන් තොටුපළට පැමිණි පිරිස රැගෙන යෑමට පැමිණි මේ තැනැත්තා සිය කණ්ඩායම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වූ බව දැනගත් වහාම පලා ගොස් තිබිණි.
මේ පුද්ගලයා සම්බන්ධ හෙළිවන තොරතුරු අතිශයින්ම ජුගුප්සාජනකය. ඔහු වීර්යයෙන් තොර තරුණ භික්ෂු කණ්ඩායම් තායිලන්තයට යවා ඔවුන් කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍යයට හුරු කරනවා පමණක් නොව ඔවුන් විෂයෙහි සියලුම කාම පරිභෝගයන් ලැබීමට සලස්වයි. රිසි සේ රූපත් කාන්තාවන් සේවනයට අවස්ථාව සලසනවා මෙන්ම මත්ද්‍රව්‍ය පානයට අවස්ථාව ලබා දෙයි. මෙම තුන් දින සංචාරය සියලුම කාම සැප සලසා දෙන අපායේ සංචාරයක් බඳු එකකි. ඉන් අනතුරුව නැවත වරක් මේ ගමනට මේ පුද්ගලයින් පොළඹවා ගනී. දායකයින් ලෙස ලබා දෙන දානමය පරිත්‍යාග ලෙස තමන් ප්‍රවාහනය කරන්නේ මත්ද්‍රව්‍ය බව මේ පිරිසෙන් බොහෝ දෙනෙක් දන්නේ නැත.
එම චීවරධාරීන් හරහා ලැබෙන මත්ද්‍රව්‍ය මේ රටේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ජාලය වෙත ලබා දෙයි. සිද්ධිය පෙළ ගැසෙන්නේ එවැනි තිගස්වනසුලු ආකාරයටය.
මහානායක හිමිවරු කම්පනයට පත් වෙති
උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින්, මෙරට ඓතිහාසික භික්ෂු භූමිකාව සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් සිදුකළ මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ දැඩි පිළිකුලට හා හෙළා දැකීමට ලක්ව තිබේ.
මහානායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාභක්තිය සහ භික්ෂුන් වහන්සේලා කෙරෙහි පවත්නා සම්ප්‍රදායික ගෞරවය පළිහක් කරගනිමින් මෙම භික්ෂු ප්‍රතිරූපකයින් සිදුකර ඇත්තේ සමාව දිය නොහැකි ශාසන විරෝධී මෙන්ම සමාජ විරෝධී අපරාධයක් බවය.
මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ සියලු පුද්ගලයින්ට උපරිම දඬුවම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි උන්වහන්සේලා, ඉදිරියේදී අදාළ නිකාය පාර්ශ්වයන් මගින් කරුණු විභාග කොට මොවුන් සියලු දෙනා ශාසනයෙන් නෙරපීමට (උපසම්පදාව හෝ සාමණේර භාවය අහෝසි කිරීමට) පියවර ගන්නා බව දන්වා සිටිති.
මෙවැනි විනය විරෝධී ක්‍රියා මර්දනය කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මැදිහත් විය යුතු බව පෙන්වා දෙන මහා සංඝරත්නය, තරුණ භික්ෂූන් මෙබඳු විනාශකාරී මත්ද්‍රව්‍ය ජාලයන්ට හසු කරගන්නා සංවිධානාත්මක කල්ලි පිළිබඳව යුහුසුළුව විමර්ශන පවත්වන ලෙස ආරක්ෂක අංශවලට බලකර සිටිති. තවද, සියලුම ආචාර්ය ස්වාමීන් වහන්සේලා තම ශිෂ්‍ය භික්ෂූන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවෙමින් ඔවුන් ආයති සංවරයෙහි පිහිටුවීමට කටයුතු කළ යුතු බව ද එම නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
භික්ෂු විදෙස් ගමන් නියාමනය සහ නීතිමය පසුබිම
පවත්නා රෙගුලාසිවලට අනුව භික්ෂූන් වහන්සේ නමකට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හෝ විදෙස්ගත වීමට නම් අනිවාර්යයෙන්ම බලයලත් පාර්ශ්වයන්ගෙන් ලිඛිත නිර්දේශ (Recommendations) ලබාගත යුතුව තිබේ.
ඒ අනුව, තමන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ හෙවත් උපදේශක ස්වාමීන් වහන්සේගේ නිර්දේශය, අදාළ ප්‍රාදේශීය බෞද්ධ නායක හිමියන්ගේ නිර්දේශය සහ තමන් වහන්සේ අයත් වන නිකායේ මහානායක හිමිපාණන් වහන්සේගේ අනුමැතිය යන නිර්දේශ තුනම සම්පූර්ණ විය යුතුය. මෙම සහතික කිරීම් නොමැතිව භික්ෂූන් වහන්සේලාට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් නොකිරීමට මීට පෙර තීරණය කර තිබුණද, කාලයත් සමග එම නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී යම් ලිහිල් ස්වභාවයක් දක්නට ලැබුණි.
මෙම ලිඛිත අනුමැතිය
ලබාගැනීමේ ක්‍රියාවලිය ප්‍රායෝගිකව අක්‍රිය මට්ටමක පැවතීම හේතුවෙන්, මෑත වසරවලදී එවැනි විධිමත් පරීක්ෂාවකින් තොරව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බලධාරීන් කටයුතු කළේය.
මෑතකදී වාර්තා වූ මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ පුවත ශාසනයේ ගෞරවයට සහ නාමයට දැඩි අගතියක් එක් කර ඇති බැවින්, මියගොස් තිබූ මෙම නීති රෙගුලාසි නැවත දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මහානායක හිමිවරුන් විසින් අවධාරණය කර ඇත.
මීට පෙර මෙම නීති පැවතියද ඒවා බලාත්මක නොකිරීම හේතුවෙන් විවිධ පුද්ගලයන්ට චීවරධාරීන් ලෙස පෙනී සිටිමින් මෙවැනි අයථා ක්‍රියාවල නිරත වීමට අවස්ථාව සැලසුණු බව උන්වහන්සේලා පෙන්වා දෙති.
ඒ අනුව, මින් ඉදිරියට භික්ෂූන් වහන්සේලා විදෙස්ගත වීමේදී මහානායක හිමිවරුන්ගේ නිර්දේශය අනිවාර්ය කිරීමටත්, ඒ සම්බන්ධ නීති රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කිරීමට රජයේ පූර්ණ සහාය ලබා දෙන ලෙසත් මහා සංඝරත්නය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මෙමගින් ශාසනික විනය සුරැකීම මෙන්ම මෙවැනි අභාග්‍යසම්පන්න සිදුවීම් වැළැක්වීම ද අපේක්ෂා කෙරේ.
දැන් බොහෝ දේ සිදුවී අවසානය. ලෝක පූජිත පඤ්ඤාකර හිමිපාණන් ඇතුළු භික්ෂූන්වහන්සේ ලක්ෂ සංඛ්‍යාත බැතිමත් ජනතාවකගේ වන්දනාවට පාත්‍ර වෙමින් සාම පා ගමන වඩිද්දී කාලකණ්ණි සිවුරු රඳවන කණ්ඩායමක් ගුවන් තොටුපළෙන් පන්නන්නට හැදූ විශාලම කුෂ් තොගය සමග අත්අඩංගුවට ගැනීම මොනතරම් බිහිසුණු තත්ත්වයක් දැයි මොහොතක් නැවතී කල්පනා කළ යුතුය.
වාර්තා වන පරිදි මේ ජාවාරම සිදුකරන්නේ ඊට සම්බන්ධ විදේශිකයෙක් වූ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රට තුළ හිඳිමිනි. ඔහු මේ ජාවාරමේ නිශ්චිතව නියැලෙන බවත්, කිලෝ ගණනින් ලංකාවට රැගෙන එන මෙම මත්ද්‍රව්‍ය ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලයක් හරහා බෙදා හරින බවත් කියැවෙන තොරතුරු විමර්ශන අංශවලට ලැබෙමින් තිබුණු බවත් කියැවිනි.
කුමක් හෝ මගහැරීමක් සිදුවෙමින් ඇති බව පමණක් දැනේ. මේ හෙළි දකිමින් ඇත්තේ ඒ ප්‍රමාදයේ ප්‍රතිඵල වූ ඛේදවාචකය ය.
ගයාන් සමරසිංහ
[email protected]
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සිවුරු ඇපයට ගෙන කුෂ් ලංකාවට පැටවූ එංගලන්තෙ සුද්දා