සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය
පසුගිය මාස කිහිපය පුරාම සමස්ත මහා සංඝරත්නයට එරෙහිව සිදුවන සමාජ මාධ්‍ය භාවිතාව බලවත් සිත් තැවුලට හේතුවක් බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
එහි සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.
පසුගිය මාස කිහිපය තුළම කීර්තිමත් බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහ සමස්ත ලෙස මහා සංඝයා වහන්සේට එරෙහිව සිදුකෙරෙන මාධ්‍ය අවභාවිතයන් රාශියක් අපි නිරීක්ෂණය කළෙමු. මෙහිදී, සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම සිදුකෙරෙන මාධ්‍ය අවභාවිතය බොහෝ දෙනාගේ බලවත් සිත් තැවුලට ද හේතු වී ඇත.
මේ අතර, පසුගිය කාලය පුරාම කීර්තිමත් බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මෙන්ම සමස්ත සම්බුද්ධ ශාසනයට එරෙහිව සිදුවන සමාජ මාධ්‍ය අවභාවිතය පිළිබඳ සංවේගයට පත් නායක ස්වාමීන් වහන්සේලා රාශියක් අප අමතා මෙම මාධ්‍ය අවභාවිතයන් පිළිබඳ දිගින් දිගටම පැමිණිලි කළහ.
මෙහිදී, ආසන්නතම සිද්ධිය සිදුවූයේ, අනුරාධපුර අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේට එරෙහිව සිදුකරගෙන යනු ලබන මාධ්‍ය අවභාවිතාවයි.
උන්වහන්සේ, සම්බුද්ධ ශාසනයේත් සමස්ත බෞද්ධ ජනතාවගේත් මහත් ගෞරවාදරයට ලක්වී ඇති අනුරාධපුර අටමස්ථානයන්හි අටමස්ථානාධිපති හිමිපාණන් ලෙස වැඩවාසය කරයි. මෙම මාධ්‍ය අවභාවිතා කරනු ලබන පුද්ගලයන් උන්වහන්සේ ගේ එම තනතුරු නාමයන් පවා භාවිතා කරමින් මෙම විවේචනයන් සිදු කරනු ලබනබව නිරීක්ෂණය වේ.
බෞද්ධ දර්ශනය පිළිබඳ කීර්තිමත් බුද්ධිමතකු මෙන්ම, බෞද්ධ සාහිත්‍යය පිළිබඳ ප්‍රාමාණික උගතුක ද වන උන්වහන්සේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගොඩනඟාගෙන ඇති උපයාගෙන ඇති කීර්තිනාමය අතිමහත්ය.
එවන් හිමිනමකට එරෙහිව සිදුකරන මෙම විවේචනයන්හි ස්වභාවය දෙස විමසීමේදී මෙම විවේචනයන් මගින් එම නායක හිමිපාණන් වහන්සේගේ කීර්තිනාමයට සිදුකරනු ලබන හානිය ඉතා බරපතළ සහ යළි ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සහ ප්‍රතිපූරණය කළ නොහැකි හානියක් බව ඉතා පැහැදිලිය.
මෙම පදනම් විරහිත මාධ්‍ය අවභාවිතයන් මගින් උන්වහන්සේටත් සමස්ත සම්බුද්ධ ශාසනයටත් සිදුවනුයේ බරපතළ හානියකි.
සම්බුද්ධ ශාසනයේ චිරස්තථියත්, එහි යහපැවැත්මත්, ආරක්ෂා කොට පෝෂණය කිරීමටත්, මුඛ්‍ය අරමුණක් වන්නාවූ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ජනරජයටත් රජයේ ප්‍රධානීන්ටත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට සහ තනිපුද්ගල මාධ්‍ය භාවිත කරන්නන්ටත් පහත සඳහන් කරුණු ඉතා කාරුණිකව දන්වා සිටීමට තීරණය කළෙමු.
රට තුළ ඇතිවන්නාවූ ඕනෑම අපරාධයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් නීතියේ අධිපතිත්වය ඇති කිරීමත් නීතිය මත පාලනය ස්ථාපනය කිරීමත් අප දැඩිව අපේක්ෂා කරන තත්ත්වයකි. එමෙන්ම ඕනෑම අපරාධයකට එරෙහිව පොලිසිය විසින් විධිමත් විiාත්මක විමර්ශනයක් නිසි පරිදි සිදුකිරීමත් ඒ මත ගරු අධිකරණයට කරුණු වාර්තා කිරීමත් අප විසින් අපේක්ෂා කරන තත්ත්වයකි.
අවසානයේ ගරු අධිකරණයට ඉදිරිපත්ව ඇති සාක්ෂි මත පදනම්ව, අපරාධයක ඇති බරපතළභාවය මත, අවශ්‍ය වෙතොත්, ගරු නීතිපති තුමාගේ මැදිහත්වීම හා එතුමාගේ තීරණය මත අවශ්‍ය වන්නාවූ අධිකරණයක නඩු පැවරීම ද නීතිය අනුව සිදුවිය යුතු නෛතික අවශ්‍යතාවයකි.
මෙම ප්‍රශ්නගත සිදුවීමේදී ද එම සියලු නෛතික පියවරයන් නිසි පරිදි සිදුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එමෙන්ම එම නෛතික කාර්යයන් කෙරෙහි අපි විශ්වාසය තබමු.
එමෙන්ම, නීතිය අනුව ප්‍රබල සහ කාවදින සාක්ෂි මගින් හෙළි වන්නාවූ සිදුවීම් පිළිබඳව යුක්තිය පසිඳලීමේ කාර්යාවලිය අනුව නිසි දඬුවම් ලබාදීම ද සිදු විය යුතු කරුණකි.
එමෙන්ම, සාක්ෂි මගින් කිසිසේත්ම හෙළි නොවන අහිංසක පුද්ගලයන්, අපරාධමය චෝදනාවලින් නිදහස් වීමද නෛතික ක්‍රියාවලියක සිදුවිය යුතු වැදගත්ම කටයුත්තකි.
මෙහිදී ශ්‍රී ලාංකීය නීති ඉතිහාසය තුළ ඉදිරිපත් වූ නීති කෘත්‍යයක් වූ, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ‘එල්ස්ටර් පෙරේරා’ මහතා මුහුණදුන් දුෂ්කර අත්දැකීම යළි සිහිපත් කරනු කැමැත්තෙමු. එතුමා ළමා ලිංගික අපචාරයක් මත චෝදනා නඟා අත්අඩංගුවට ගැනීමක් සිදුවිය. එහිදී ගරු නීතිපතිතුමා ඔහුව මුල් අවස්ථාවේදීම සාක්ෂි නොමැතිවීමේ පදනම මත නිදහස් කරනු ලැබීය.
එහෙත් එවකට පැවති, විකල්ප මාධ්‍ය සහ ටැබ්ලොයිට් මාධ්‍යකරුවන් විසින් ඇතිකළ තෙරපුම සහ පීඩනය මත නැවත වතාවක් ඒ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. එමෙන්ම, දීර්ඝ කාලයක් තිස්සේ ඒ මහතාට එරෙහිව ප්‍රබල මාධ්‍ය අවභාවිතාවක් ද සිදුකරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙසට, එම නිලධාරිවරයා විසින් ගොඩනඟාගත් පෞද්ගලික කීර්තිනාමයත් වෘත්තීය ගරුත්වයත් තම පවුලේ යහපැවැත්මත් යන සියල්ලම ඔහුට අහිමි වී තිබුණි.
පසුව හෙළිවූ සාක්ෂි මත සහ වින්දිත දැරියම සිදුකළ ප්‍රකාශයන් මත, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අපරාධයක් සිදුනොකළ බවත් වින්දිත දැරියගේ පියාගේ අවශ්‍යතාවය මත මුදල් ලබාගැනීමේ ඊනියා අරමුණින් වින්දිත දැරිය විසින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ බවත් හෙළිවිය.
එය හෙළි වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මියගොස් තිබුණි.
මාධ්‍ය අවභාවිතය සහ ඒ මගින් නිර්දෝශී පුද්ගලයන්ට වන හානිය පිළිබඳව මෙය කදිම නිදසුනක් පෙන්නුම් කරයි.
මෙම තත්ත්වයන් සිහිපත් කරමින් අප කියා සිටිනුයේ, ප්‍රශ්නගත සිදුවීමට අදාළව නීතිය අනුව පොලිස් විමර්ශන සිදුවෙමින් තිබෙන බවත් සිදුවීමට අදාළව දැනටමත් අධිකරණයට කරුණු වාර්තා කොට ඇති බවත් අපි දනිමු. එම නිසා මෙම සිදුවීම දැනට උතුම් වූ අධිකරණයේ යුක්තිය පසිඳලීමේ කාර්යයට යටත් සිදුවීමකි.
එමෙන්ම, ගරු අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින සහ ඒ නිසාවෙන්ම, ගරු විනිසුරුතුමාගේ විමර්ශනය යටතේ පවතින නඩු කටයුත්තකට, වැරදි සහගත මැදිහත් වීමක් සිදුවුවහොත්, එය ඍජුවම අධිකරණයට අපහාස කිරීමක් බවත්, එය දැඩි දඬුවම් පැමිණවිය හැකි වරදක් සංස්ථාපනය කරන බවත් අපි අවධාරණය කර සිටිමු.
එමෙන්ම, ජාතික හා ජාත්‍යන්තර වශයෙන්, මෙන්ම සමස්ත සම්බුද්ධ ශාසනය තුළ මහත් ගෞරවයට පාත්‍රව ඇති, එමෙන්ම බෞද්ධ ජනයාගේ අප්‍රමාණ ගෞරවාදරයට ලක්ව ඇති නායක භික්ෂුන් වහන්සේ නමකට එරෙහිව සමාජ මාධ්‍ය මගින් අනිසි සහ පදනම් විරහිත ලෙස සිදුකරන විවේචනයන් නතර කරන ලෙසට අපි බලවත්ව ඉල්ලා සිටිමු.
නීතිය අනුව පාලනය වන රාජ්‍යයක් තුළ, නීතිය සහ විධානය ක්‍රියාත්මක වන අවස්ථාවකදී, සමාජ මාධ්‍යයන් අවභාවිතා කරමින් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට එරෙහිව සිදුකරන පදනම් විරහිත අවලාද නැඟීම් අපි තරයේ හෙළා දකිමු.
චතුර පමුණුව
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
මත්ද්‍රව්‍ය චෝදනාවට ඇල්ලූ කිසිදු චීවරධාරියකු මීගහවත්ත භාවනා මධ්‍යස්ථානයට සම්බන්ධ නෑ – විහාරාධිපති පූජ්‍ය කතරගම පඤ්ඤානන්ද හිමි
April 29, 2026
ශ්‍රී ලාංකික වෛද්‍ය දියණියකගෙන් නාසික ආසාත්මික රෝග සඳහා විශිෂ්ට සොයා ගැනීමක්
May 1, 2026
ගමින් ගමට ගිහින් තැන් තැන්වල අයිස් හැංගූ ක්‍රීඩා ගුරුවරයා හා රූමත් තරුණිය පොලොන්නරුවෙන් මාට්ටු
April 30, 2026
සාම පා ගමනේ සමාප්තියෙන් පසු පඤ්ඤාකර හිමි….
April 30, 2026
මහැදුරු වයි. කරුණාදාසයෝ දැයෙන් සමුගනිති
April 30, 2026