{'text': 'මද්යසාර හා මත්ද්රව්ය තොරතුරු මධ්යස්ථානය'}
{'text': '2025 වසරේ දත්තයන්ට අනුව බියර් නිෂ්පාදනය 5% කින් ඉහළ ගොස් ලීටර් මිලියන 0.77 ක් ලෙසද, මද්යසාර නිෂ්පාදනය 17%ක වර්ධනයක් පෙන්වමින් ලීටර් මිලියන 3.35 ක් දක්වාද ඉහළ ගොස් ඇතැයි මද්යසාර සහ මත්ද්රව්ය තොරතුරු මධ්යස්ථානය (ADIC) සඳහන් කරයි.'}
{'text': 'මෙම දත්ත වාර්තාවන්ට අනුව මෙරට මද්යසාර පරිභෝජන මට්ටම ඉහළ යමින් පවතින බව පැහැදිලි වී ඇති බවත්, මෙම ප්රවණතාවට බලපාන ප්රධානම හේතුව 2024 ආරම්භයේ සිට මෙතෙක් මද්යසාර මිලේ නිසි සංශෝධනයක් සිදු නොවීම බවද, එම මධ්යස්ථානයේ විධායක අධ්යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසයි.'}
{'text': 'එමෙන්ම, උද්ධමනය සහ පුද්ගල ආදායම් වර්ධනයට සාපේක්ෂව මද්යසාර මිල ස්ථාවරව පැවතීම නිසා මද්යසාර මිලදී ගැනීමේ හැකියාව ඉහළ ගොස් ඇති බවත්, මෙම තත්ත්වය මද්යසාර පරිභෝජනය ඉහළ යෑමට ඍජුවම බලපා ඇති බවත් එම මධ්යස්ථානය පවසයි. මෙම කාලය තුළ සුරාබදු ආදායම වැඩිවී තිබුණද, මෙමගින් ඇති කරන බලපෑම බදු ආදායම් වර්ධනයට වඩා සෞඛ්ය හා සාමාජීය අහිතකර ප්රතිඵල ඇති කරන බවද එම මධ්යස්ථානය කියා සිටී.'}
{'text': '2023 වසරේ මද්යසාර බදු 20%කින් වැඩි කිරීම හේතුවෙන්, 2022 වසරට සාපේක්ෂව මද්යසාර අලෙවිය ලීටර් මිලියන 8.3 කින් අඩුවී රජයේ බදු ආදායම රුපියල් බිලියන 11.6කින් වැඩිවී ඇතැයි ද එම මධ්යස්ථානය පවසයි.'}
{'text': '2024 වසර ආරම්භයේදී මද්යසාර බදු ප්රතිශතය තවදුරටත් 20%කින් (අනුපිළිවෙළින් 14% කින් සහ 6%කින් වැඩිවීම) ඉහළ නැංවීමේ ප්රතිඵලයක් ලෙස මද්යසාර අලෙවිය ලීටර් 430,000 කින් තවදුරටත් පහත වැටී රජයේ බදු ආදායම රුපියල් බිලියන 42.15ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ද එම මධ්යස්ථානය පෙන්වා දෙයි.'}
{'text': 'එමෙන්ම, ලොව පුරා සිදුවන මරණවලට ප්රධානතම හේතුව බෝ නොවන රෝග (NCDS) වන අතර, ශ්රී ලංකාවේ සිදුවන මරණවලින් 83%ක් බෝ නොවන රෝග නිසා ඇතිවන මරණ වන බවත්, බෝ නොවන රෝග සඳහා දායක වන ප්රධාන අවදානම් සාධක 4 ක් මද්යසාර භාවිතය සහ දුම්කොළ භාවිතය ප්රධාන සාධක දෙකක් ලෙස හඳුනාගෙන ඇති බවත්, මෙරට තුළ දිනකට මේ හේතුවෙන් පුද්ගල මරණ 50 ක් පමණ වාර්තා වන බවත්, එය ආසන්න වශයෙන් වාර්ෂිකව 20,000 ක් දක්වා මරණයට පත්වීමක් බවද ‘මද්යසාර සහ මත්ද්රව්ය තොරතුරු මධ්යස්ථානය’ වැඩිදුරටත් සඳහන් කරයි.'}
{'text': 'සුජීව තත්සර සහ චමින්ද සිල්වා'}