{'text': 'ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (ෘර ඵදය්පැා ඵමස“ම) මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්රයේදී ඊයේ (04දා) පෙරවරුවේ පැවැත්විණි.'}
{'text': 'මාලදිවයින සහ ශ්රී ලංකාව අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා තවදුරටත් තර කර ගැනීමත් දෙරට අතර බහුවිධ හවුල්කාරීත්වය ශක්තිමත් කර ගැනීමත් අරමුණු කර ගනිමින් මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා මෙම රාජ්ය සංචාරයේ නිරත වෙයි.'}
{'text': 'මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා සහ සජිදා මොහොමඩ් මහත්මිය පොලිස් අශ්වාරෝහක බළකාය පෙරටු කොට ගනිමින් ජනාධිපති කාර්යාල පරිශ්රය වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.'}
{'text': 'දෙරටේ ජාතික ගී වාදනයෙන් අනතුරුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා පිළිගැනීමේ නිල උත්සවය ආරම්භ කෙරිණ.'}
{'text': 'එහිදී පූර්ණ රාජ්ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර පවත්වා මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා පිළිගනු ලැබිණි. අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා විසින් ශ්රී ලංකා හමුදා ආචාර පෙළපාලියේ හරසර පිළිගනු ලැබීය. මාලදිවයින් ජනාධිපතිවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රභූ සම්මාන පිළිගැනීමෙන් අනතුරුව මාලදිවයින් – ශ්රී ලංකා රාජ්ය නියෝජිතයන් හඳුන්වා දීම සිදුවිය.'}
{'text': 'මාලදිවයින් ජනාධිපතිවරයා විශේෂ සටහනක් තබමින් රාජ්ය නායකයන්ගේ සමරු සටහන් පොතේ අත්සන් තැබීම ද මෙහිදී සිදු විය.'}
{'text': 'ශ්රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත්, කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය අනිල් ජයන්ත ප්රනාන්දු, විද්යා හා තාක්ෂණ අමාත්ය ක්රිෂාන්ත අබේසේන, නියෝජ්ය කථානායක රිස්වි සාලි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්රාමික) සම්පත් තුයියකොන්තා, විදේශ කටයුතු අමාත්යාංශයේ අතිරේක ලේකම් (යුරෝපය, උතුරු ඇමෙරිකාව, නැගෙනහිර ආසියාව සහ ඕෂනියාව, අග්නිදිග ආසියාව සහ මධ්යම ආසියාව, දකුණු ආසියාව, මැද පෙරදිග සහ නීති) එම්. ආර්. කේ. ලෙනගල සහ මාලදිවයින්හි ශ්රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන් (Mohamed Rizwi Hassen) යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.'}