එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සල් සඳහා ලියාපදිංචි කිරීමේ ක්රියාවලිය නිල වශයෙන් ආරම්භ කර ඇති බව ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHIU) නිවේදනය කර තිබෙනවා.
සංගමයේ ප්රකාශක අනුර තිලකසිරි මහතා සඳහන් කළේ, දන්සල් සංවිධායකයින්ට තම ප්රදේශයේ මහජන සෞඛ්ය පරීක්ෂකවරයා (PHI) අමතා අදාළ ලියාපදිංචි කිරීමේ ක්රියාවලිය සම්පූර්ණ කළ හැකි බවයි.
ලියාපදිංචිය සඳහා දන්සල පැවැත්වෙන ස්ථානය, සංවිධායකයින්ගේ නම්, ලිපිනයන් සහ සම්බන්ධතා තොරතුරු ඇතුළු මූලික විස්තර ලබාදිය යුතු වනවා.
ලියාපදිංචියෙන් පසු මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් විසින් ආහාර සකස් කිරීමේ ක්රමවේද, සනීපාරක්ෂාව, අපද්රව්ය කළමනාකරණය සහ ආහාර සුරක්ෂිතතා ප්රමිතීන් පිළිබඳ පරීක්ෂණ සිදු කරනු ලබනවා.
ආහාර බෙදා හැරීමේදී අතින් කෙලින්ම ස්පර්ශ නොකළ යුතු බවත්, ඒ වෙනුවට අත්වැසුම් හෝ සුදුසු උපකරණ භාවිතා කළ යුතු බවත් අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම, පුවත්පත් භාවිතයෙන් ආහාර ඇසුරුම් කිරීමෙන් වැළකී සිටින ලෙස ද සෞඛ්ය අංශ ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා. මුද්රණ තීන්ත ආහාරයට මිශ්ර වීම සෞඛ්ය අවදානම් ඇති කළ හැකි බව එහිදී පෙන්වා දී තිබෙනවා.
දන්සල් ස්ථානවල පානීය ජලය ආරක්ෂිත බව සහතික කිරීමත්, ආහාර පිළියෙල කිරීමේදී භාවිතා කරන සියලු අමුද්රව්යවල කල් ඉකුත් වීමේ දිනයන් පරීක්ෂා කිරීමත් අත්යවශ්ය බව ද සෞඛ්ය අංශ අවධාරණය කර තිබෙනවා.
මෙම මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව 1980 අංක 26 දරන ආහාර පනත සහ 2011 ආහාර සුරක්ෂිතතා රෙගුලාසි යටතේ නීතිමය ක්රියාමාර්ග ගන්නා බවට අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.
මේ අතර, සෞඛ්ය අමාත්යාංශය සහ ජනමාධ්ය අමාත්යාංශය එක්ව වෙසක් දන්සල් සඳහා කරුණු නවයකින් යුත් විශේෂ ආහාර සුරක්ෂිතතා මාර්ගෝපදේශයක් ද නිකුත් කර තිබෙනවා.
එහි ප්රධාන උපදෙස් අතර, සියලු දන්සල් MOH කාර්යාලය හරහා ලියාපදිංචි කිරීම සහ ආහාර පිළියෙල කිරීම හා පරිභෝජනය අතර කාල පරතරය පැය 4 නොඉක්මවිය යුතු බව ද ඇතුළත් වනවා.